Foxhill අනතුරින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට පත්වෙයි

Foxhill අනතුරින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට පත්වෙයි


Foxhill අනතුරින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට පත්වෙයි

(15.05.2024 – 22:41 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා දියතලාවේ Foxhill මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණිය (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16 ක තරුණියක්.

බදුල්ල මහා රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රථිකාර ලබමින් සිටියදී රාත්‍රි 08:30 ට පමණ මෙම තරුණිය මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ ෴


සා/පෙළ ලියා ගෙදර යන්න ආ සිසුවියක් පැහැරගනී

(15.05.2024 – 22:29 +0530 – hirunews.lk/sinhala)

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත්ව තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පෙනී සිට කුළුගම්මන ප්‍රදේශයේ එම සිසුවිය නවාතැන් ගැන සිටි නිවසට යමින් සිටියදී යටිහලගල හන්දියේදී පැහැරගෙන යාමට තැත් කර ඇති බවයි අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ‘හිරු නිව්ස්’ වෙත සඳහන් කළේ.

සිද්ධිය වූ අවස්ථාවේ ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙක් (2) පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ.

පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිසිය වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පැහැර ගැනීමට පැමිණි තරුණයින්ගෙන් එක් (1) අයෙක් අදාල සිසුවියගේ පැරණි පෙම්වතෙක් බවට අනාවරණය වී ඇති බව අලදෙණිය පොලීසිය පැවසුවා.

සැකකරුවන් හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++

+


“ලාල් කාන්ත එදා කිව්ව දේ අද ඇත්ත වෙලා” – පා.ම. වීරසිංහ

(15.05.2024 – 23:14 +0530 – hirunews.lk/sinhala)

ලාල් කාන්ත එදා පැවසූ දේ අද ගමේ සත්‍ය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසනවා.

‘සොරකම් කිරීමට සහ තමාගේ මතයට විරුද්ධ මිනිස්සු මරා දමන්න නැවත බලය ලබාදෙන බව’ ලාල් කාන්ත පැවසූ බවත් පසුගියදා එම කතාව සත්‍යක් වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

බුලත්සිංහල දී මැයි රැළියකට මාලිමා සාමාජිකයෙක් රැගෙන ගිය සමගි ජන බලවේගයේ අපේක්ෂකයකුට පහරදී රෝහල්ගත කර ඇති බව ඔහු පැවසුවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම සිදුවීමෙන් ලාල් කාන්ත කියූ ‘ගමේ අධිකරණ බලය’ පෙන්නුම් කරන බවයි.

+


සාදුබල්ලන් 3 දෙනාම බීලා හිටියේ | සිවුර ගලවලා මට පැය 3 ක් ගැහුවා | පොඩි හාමුදුරුවෝ හැඬු කඳුළින් කියපු දේ (15.05.2024)

+


රුසියානු අර්බුදය මැද ඕමාන් මිනිස් ජාවාරමකුත් හෙළි වෙයි

(16.05.2024 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ රැකියාවලට පැමිණෙන මෙරට ශ්‍රමිකයින් වීසා අලුත් කර ගැනීම සඳහා ඕමානයට පිටත් කර යැවීමේදී සිදු කෙරෙන මුදල් ජාවාරමක් පිළිබඳව තොරතුරු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා.

එලෙස ගොස් මුදල් නොමැති වීම නිසා නැවත පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 20 කට ආසන්න පිරිසක් මේ වන විට ඕමානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මෙම ජාවාරම ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු විසින් මෙහෙය වන බවට සිද්ධියට මුහුණදුන් පිරිස් පවසනවා.

මෙම ජාවාරමට හසුවූ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේ සිට ‘හිරු ප්‍රවෘත්ති අංශය’ අමතමින් කියා සිටියේ මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකුද මෙම ජාවරමට සම්බන්ධ බවටයි ෴


රුපියල් ලක්ෂ ගණනක සොර බඩුත් එක්ක බාල වයස්කරුවකු කොටු වෙයි

(16.05.2024 – 07:58 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ ගණනක් වටින සොරාගත් භාණ්ඩ සමග අවුරුදු 15 ක බාල වයස්කරුවකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන් බඩු, ජංගම දුරකථන හා පාපැදි ඇතුළු භාණ්ඩ රැසක් මොහු සතුව තිබූ බවයි ගලහ පොලිසිය පැවසුවේ.

සැකකරු නිවෙස් හා වෙළඳසැල්වලින් මේ භාණ්ඩ සොරකම් කර ඇති බවත් විවිධ භාණ්ඩවලට අමතරව මුදල් කැට සොරාගෙන තිබෙන බවද අනාවරණය වුණා.

මොහු සොරා ගත් භාණ්ඩ පොත් බෑගයේ තබාගෙන පාසලට රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.

බාල වයස්කරු මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ පසුව පරිවාස බාරයට පත්කරන් ලෙස නියෝග කෙරුණා ෴


පාසල් සිසුන් ලක්ෂ හයක් (6) උදේට හාමතේ සිටි බව හෙලිවේ

(16.05.2024 – 07:30 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති බවද එම කාරක සභාවේදීම අනාවරණය වී තිබෙනවා.

එසේම, ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ද කාරක සභාව මගින් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බවද සඳහන්.

තවද , පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද සඳහන් ෴


ලාංකිකයින්ගේ රුසියා ප්‍රශ්නය විසඳන්න මෙරට දූත පිරිසක් රුසියාවට

(16.05.2024 – 09:58 +0530 – hirunews.lk/sinhala)

රුසියානු – යුක්රේන යුද්ධයට එක් වූ මෙරට හමුදා සෙබළුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට දූත පිරිසක් රුසියාව බලා යෑමට නියමිතයි.

ඒ අනුව ජනපතිගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රුසියාවේ හිටපු තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් රුසියාවට යන බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසන්නේ ෴


විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(16.05.2024 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය නිතීවිරෝධි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි අදාල පෙත්සම සලකා බැලීමෙන් පසු දිසා විනිසුරුවරු සදුන් විතාන සදහන් කළේ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ හතරවන (4) සහ පස්වන (5) විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බවයි.

එම විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් ‘ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය’ නම්කර තිබෙන බවත් ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නා.

මේ ආකාරයෙන් පදිංචිය තහවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46/2 වගන්තිය යටතේ පැමිණිල්ලක් නිෂ්ප්‍රභා කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.

පැමිණිලිකරු සදහන් කර ඇත්තේ ඉකුත් 12 වන දා පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී තම පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ මත එම පක්ෂය හා එහි සංවිධාන මෙන්ම නිලධාරීන් කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණා.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩ බලන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා කීර්ති උඩවත්ත පක්ෂයේ නිලතල සඳහා පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා ෴


සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අතුරුදන් වූ සිසුවියන් කඩුවෙලින් හමුවෙයි

(16.05.2024 – 10:46 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු අතුරුදහන් බව පැවසූ නුවරඑළිය – අඹගමුව ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනා (2) කඩුවෙල ප්‍රදේශයේ ඥාතී නිවසක සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ මේ වන විට අදාළ සිසුවියන් දෙදෙනා (2) රැගෙන ඒම සඳහා ඔවුන්ගේ දෙමාපියන් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි.

අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේදී පෙරේදා (14) උදෑසන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඔවුන් පැමිණ තිබූ අතර පසුව ඔවුන් නිවෙස් වෙත පැමිණ තිබුණේ නැහැ.

ඒ අනුවයි ගිනිගත්හේන පොලිසිය මගින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කරනු ලැබුවේ. කෙසේ වෙතත් පසුව අනාවණය වී ඇත්තේ ඔවුන් කඩුවෙල ප්‍රදේශයේ ඥාති නිවසක රැදී සිටින බවටයි ෴


කෝවිලේ ගිණුමේ රුපියල් ලක්ෂ 27 ක් අතුරුදන්

(16.05.2024 – 11:55 +0530 – hirunews.lk/sinhala)

යාපනය කරවෙඩ්ඩි සිත්ති විනාගර් කෝවිලේ පූජකවරයකු, කරවෙඩ්ඩි සංස්කෘතික නිලධාරීවරයාගේ නිල මුද්‍රාවට සමාන මුද්‍රාවක් ව්‍යාජ ලෙස සකසා කෝවිලේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 27 ක මුදලක් වරින්වර වංචා කොට ඇති බවට මල්ලාකම් පොලීසියට ඊයේ (15) පැමිණිලි කර තිබෙනවා.

මෙම කෝවිල සතු මුදල් දායක සභාවේ අනුමැතිය මත නෙල්ලිඅඩි නගරයේ බැංකු ශාඛාවක තැන්පත් කොට ඇති අතර මුදල් ආපසු ගැනීමේදී කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීගේ නිල මුද්‍රාව සහිත අත්සන අනිවාර්යෙන්ම තිබිය යුතු බවටද යෝජනාවක් දායක සභාව විසින් සම්මත කරගෙන තිබුණා.

දායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේද එම පූජකවරයාමයි.

දායක සභාවේ ලේකම්ගේ හා භාණ්ඩාගාරිකගේ අත්සන් හොරට ගසා සංස්කෘතික නිලධාරීවරයාගේ රබර් මුද්‍රාවක් ව්‍යාජ ලෙස සකසා එම නිලධාරියාගේද අත්සන හොරට ගසා මෙම මුදල් පූජකවරයා ලබා ගෙන ඇති බවට සැක කෙරෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

දායක සභාවේ නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුමෙන් රුපියල් ලක්ෂ 27 ක මුදලක් අඩු වී ඇති බව දැනගෙන තිබෙනවා.

මල්ලාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *