වැඩ වර්ජන : ග්‍රාම නිලධාරීන්ගෙන් ජනපතිට ටෙලිමේල් දස දහසක්

වැඩ වර්ජන : ග්‍රාම නිලධාරීන්ගෙන් ජනපතිට ටෙලිමේල් දස දහසක්


වැඩ වර්ජන : ග්‍රාම නිලධාරීන්ගෙන් ජනපතිට ටෙලිමේල් දස දහසක්

(15.05.2024 – 19:40 +0530 – hirunews.lk/sinhala)

‘සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය’ පළාත් මට්ටමින් සිදු කරන වර්ජනය හෙට (16) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

අද (15) වයඹ පළාතේ සියලුම රජයේ රෝහල්වල පැය 4 ක සංකේත වැඩ වර්ජනයක් ඔවුන් දියත් කළ අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි. වයඹ පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් පත්වුණේ දැඩි අසීරුතාවකටයි. වර්ජනය හේතුවෙන් හෙද සත්කාර සේවා, පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු සත්කාරක සේවා මෙන්ම අතුරු වෛද්‍ය සේවයේ සියලු සත්කාරක සේවාවන්ද අඩපණ වුණා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ‘ඩැට්’ දීමනාව ලබාදීම මෙන්ම සෞඛ්‍ය සේවකයින් සඳහා වැඩි කිරීමට පොරොන්දු වූ රුපියල් 3,000 ක දීමනාව එක් පාර්ශ්වයකට පමණක් ලබාදීමට රජය කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් මෙම වැඩවර්ජනයට එක්වනවා.

+

මේ අතර සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද (15) සිට අතවශ්‍ය සේවාවලින් ඉවත්ව අඛන්ඩ වර්ජනයක නිරත වීමට ‘විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්’ ඊයේ (14) තීරණය කළා.

මෙම වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇතැයි පවසමින් ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය’ ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ’ සභාපතිවරයාට ලිපියක් භාර දුන්නා.

+

මේ අතර පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ‘රජයේ විධායක නිලධාරීන්’ ද අද (15) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

‘රාජ්‍ය ඉංජිනේරු සේවය, ආයුර්වේද, පශු වෛද්‍ය, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, කෘෂිකර්ම සේවය’ ඇතුළු ශ්‍රේණි 18 ක විධායක නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්ව සිටිනවා.

+

මේ අතර සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ‘ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය’ ඊයේ (14) ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අදත් (15) ක්‍රියාත්මක වුණා.

එවන් පසුබිමක තමන් මුහුණ දී ඇති ගැටලු සඳහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත විදුලි පණිවුඩ 10,000 ක් යැවීමට කටයුතු කරන බවයි ‘ග්‍රාම නිලධාරී ඒකාබද්ධ වෘත්තිය බල මණ්ඩලය’ සඳහන් කළේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන් අද (15) දිනයේදී වර්ජනයේ නිරත විම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා.

+

+


රුසියානු යුද බිමෙන් බේරි ආ තරුණයාගේ හදවත කම්පිත හෙළිදරව්ව

(15.05.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ඇවිළ යන රුසියානු යුද අර්බුදයට මැදිව ජීවිත අහිමි වූ, ආබාධිත තත්ත්වයට පත් වූ සහ විවිධ පීඩාවන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැසක් සිටින අතර එම බිහිසුණු අත්දැකීමට මුහුණ දී පැමිණි ලාංකිකයෙක් පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති අංශයට’ වාර්තා වුණා.

කුරුණෑගල කුඹුක්ගැටේ කෝම්බුවේ පදිංචිව සිටි ආර්.එම්. එරන්ද චින්තක තිලකරත්න නම් මෙම තරුණයා ගොවිපොළක රැකියාවක් සඳහා රුසියාවට ගොස් තිබුණේ පසුගියවසරේ ජනවාරි මස 18 වැනිදායි.

එම රැකියාවේ මාස 8 ක පමණ කාලයක් නිරත වූ එරන්ද, එහි තිබූ කටුක බව නිසාම වෙනත් රැකියාවක් සොයමින් සිටියා.

මිත්‍රයෙකු මාර්ගයෙන් ලැබුණු තොරතුරකට අනුව, මේ වසරේ ජනවාරි මස 10 වැනිදා එරන්ද රුසියානු හමුදාවට බැඳුණේ ඒ අනුවයි.

දින 12 ක අවි පුහුණුවකින් පසු එරන්ද ඉදිරි ආරක්ෂක වළල්ලට යොමු කර තිබුණා.

එරන්ද පිළිබඳව මාස කිහිපයකින් කිසිදු තොරතුරක් නොමැති නිසා ඔහුගේ බිරිඳ වූ ආර්.බී. දිලානි නිලංකා අබේරත්න දැඩි කම්පනයට පත්ව සිටියා.

රුසියානු හමුදාවේ සේවය කරමින් සිටි එරන්දට යුක්‍රේන ප්‍රහාරයකින් තුවාල සිදු වුණේ ඔහු රුසියානු හමුදාවට එක් වී මාස 4 යි දින 20 කට පසුවයි.

ඒ වනවිටත් එරන්ද පිළිබඳ තොරතුරක් නොමැති සොවින් සිටි එරන්දගේ බිරිඳ මෙලොව හැරගොස් තිබුණා.

ඒ, මේ වසරේ මාර්තු මස 29 වැනිදායි.

නහරයක් පුපුරා යාමෙන් එරන්දගේ බිරිඳ මියගොස් තිබූ අතර, ඇගේ අවසන් කටයුතු අප්‍රේල් මස 01 වැනිදා සිදු කෙරුණේ, එරන්දගේ සිව් (4) හැවිරිදි පුතු මිත්තණියගේ ඇකයේ තනි කරමින්.

මේ අතර, තුවාල ලැබූ එරන්ද රෝහල් කිහිපයකටම මාරු කර යැවූණු අතර, රුස්තව් හි රෝහලට යැවූ දින කෙසේ හෝ ඉන් මිදී ලංකාවට එන බව එරන්ද තීරණය කර තිබුණා.

මිත්‍රයින්ගේද උදව් ඇතිව මේ වසරේ මැයි මස 09 වැනිදා එරන්ද ලංකාවට පැමිණියා.

මේ අතර රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

කෙසේ වෙතත්, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙන්වා දෙන්නේ, නිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළහොත් රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගත හැකි බවයි.

++++++++++++

++++++++++++

+

+


සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ට උසස් පෙළ පන්ති ලබන ජූනි මස 04 වැනිදා ඇරඹේ

(15.05.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ වූ අතර එම විභාගය අදින් (15) අවසන් වුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි උනා.

විභාගයට මුහුණ දුන් සිසුන්ට අදාළ උසස් පෙළ පන්ති ලබන ජූනි මස 04 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

‘ලංකා ගුරු සංගමය’ පවසන්නේ මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීම නිසා මතුවන ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

මේ අතර පසුගියදා මතභේදයට ලක් වූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු 02 ක්ද ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

+


ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ යෝජනාව පිළිගන්න බෑ

(15.05.2024 – 22:00 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඕනෑම පාර්ශ්වයක් සමග මේ සම්බන්ධයෙන් විවාද කිරීමට තම පක්ෂය සුදානම් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

+


මීඩියා වලට ඇවිල්ල දන්නෑ කියන ගොයියො ඔක්කොම වීසා හුටපටය දැනගෙන හිටියා (14.05.2024)

+


තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

(15.05.2024 – 22:27 +0530 – hirunews.lk/sinhala)

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහ වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රියේ ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී ‘තුන් නිවුන් පිරිමි දරු උපතක්’ කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටින අතර, මීට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් (2) අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි මවක්.

මේ දරුවන්ගේ පියා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බවයි වාර්තා වෙන්නේ.

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා (3) අරගෙන සුපුරුදු වන මැද පැලට ඊයේ (14) පස්වරුවේ මොර සුරන වරුසාවේ රැගෙන විත් තිබෙනවා.

වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගැනීමට හැකිවී තිබෙනවා.

දඹුල්ලේ සිට කිලෝමීටර් 40 ක් පමණ මෙම ගමට යායුතුව ඇති බව සඳහන්.

මව පවසා සිටියේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කල බවයි.

මෙම පැටවුන් රැගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කල නිවසට විදුලිය, ජලය කිසිවක් නොමැති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *