සෞඛ්‍ය වර්ජනය හෙට (16) දකුණු පළාතේ

සෞඛ්‍ය වර්ජනය හෙට (16) දකුණු පළාතේ


සෞඛ්‍ය වර්ජනය හෙට (16) දකුණු පළාතේ

(15.05.2024 – 14:41 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන හෙට (16) දා වැඩ වර්ජනයක නිරත වනවා.

හෙට (16) උදෑසන 08 සිට 12 දක්වා පැය 4 ක් සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72 කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් ආරම්භ කළ වැඩ වර්ජනයේ 5 වන දිනය හෙට (16) වන අතර හෙට (16) වර්ජන ක්‍රියාමාර්ගය දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ සිදුකරනවා.

මේ හේතුවෙන් සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, CT, MRI පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම සහ ඖෂධ බෙදා හැරීම, එන්නත් කිරීමේ සායන ඇතුළු සියලු සේවා අඩාල වීම සිදුවනවා.

නමුත් මෙම කාලය තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ආවරණය කිරීම ස්වේච්ඡාවෙන් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ඉදිරියේදී ඌව පළාත සහ බස්නාහිර පළාත සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව 22 වෙනිදායින් පසුව දිවයින පුරා සියලු රෝහල් වර්ජනයට සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම එම නිවේදනයේ වැඩිදුරටත් පවසනවා ෴


අත්‍යාවශ්‍ය භාණ්ඩ 11 ක මිල ගැන විශේෂ දැනුම්දීමක්

(15.05.2024 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ලබන 19 වනදා දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කළ යුතු ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ නිකුත් කර තිබෙනවා.

භාණ්ඩ වර්ග 11 ක් ඊට ඇතුළත් කර ඇති අතර තිරිගු පිටි කිලෝවක් රුපියල් 179 සහ 189 අතර මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 258 ත් 175 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 288 ත් 302 ත් අතර මිලකට අළෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

සුදු බිත්තරයක් රුපියල් 41 ත් 43 ත් අතර මිලකට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ත් 47 ත් අතර මිලකට අළෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කියා සිටියා.


සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු 02 ක්

(15.05.2024 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයකට ලක් වූ 2023 සාමාන්‍ය පෙළ විද්‍යාව 1 වන ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 වන ප්‍රශ්න සඳහා නිදහස් ලකුණ (01) බැගින් ලකුණු 02 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය වුණා.

ඒ අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි ෴


වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණයෙන් නියෝගයක්

(15.05.2024 – 15:29 +0530 – hirunews.lk/sinhala)

‘බෝගහ පැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ’ සිදු කෙරෙන නීති විරෝධී වනාන්තර විනාශය වැලැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ‘වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට’ සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළා.

‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘බෝගහ පැලැස්ස රක්ෂිත වනාන්තර කලාපය’ ‘සොරගුණේ කුඩා කතරගම දේවාලයට’ අයත් බව කියමින් පිරිසක් විසින් වනාන්තර හෙලි පෙහෙළි කිරීම සහ ඉඩම් පැවරීම් සිදු කරන බව පැවසුවා.

මේ තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බැවින් එම කටයුතු වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ අධිකරණය පෙත්සම ජූලි මස 24 වනදා කැදවීමට ද නියෝග කළා ෴


යුද හමුදාපතිට අපහාස කිරීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

(15.05.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති විකුම් ලියනගේට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ දර්ශන හා ප්‍රකාශ උඩුගත කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත’ යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වෙත කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළා.

යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් යූ ටියුබ් නාලිකාවකට සහ එහි හිමිකරුට මෙම ආඥාව නිකුත් කරනු ලැබුවා.

යුද හමුදාපති විකුම් ලියනගේ විසින් ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව පනතේ’ 24 වන වගන්තිය යටතේ අධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා ෴


“අපි තව 40,000 ක් ඊශ්‍රායල් යවනවා” – අමාත්‍ය මනූෂ නානායක්කාර

(15.05.2024 – 17:17 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට 40,000 ට අධික පිරිසක් යොමුකිරීමට සැලසුම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

එමගින් සාර්ථක ව්‍යාපාරිකයින් ලෙස ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගත හැකි බවද අමත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවයි ෴


රේගුවෙන් ඇල්ලූ රුපියල් ලක්ෂ 90 ක මත්ද්‍රව්‍ය තොගය

(15.05.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල් 03 කින් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයකින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

සැක මතු වූ පාර්සල් කිහිපයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී, එම පාර්සල් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී මත්පෙති 150 ක්, කුෂ් ගංජා විශේෂය ග්‍රෑම් 466 ක් සහ කොකේන් ග්‍රෑම් 10 ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 09 කට ආසන්න වන බවයි රේගුව පවසන්නේ.

මෙම පාර්සල් කැනඩාව, එංගලන්තය සහා නෙදර්ලන්තය යන රටවල සිට දෙහිවල, වැල්ලවත්ත, වේයන්ගොඩ, අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබූ අතර ඒවා ව්‍යාජ ලිපිනයන් බවට රේගුව තහවුරු කරගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි ෴


“පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු කිරීම හදිසියේ කළ නොහැකියි” – හිටපු මැ.කො.ස.

(15.05.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය සදහා කැදවූ නාම යෝජනා අවලංගු කිරීම මේ මොහොතේ ප්‍රායෝගිකව කල නොහැකි බව ‘මැතිවරණ කොමිසමේ’ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

එවැන්නක් සිදුකල යුත්තේ පාර්ලිමේන්තු පනතකින් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින්ද පසුව බවයි ඔහු සදහන් කළේ.

පලාත් පාලන මැතිවරණයට කැදවු නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (14) සදහන් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය මේ පිළිබදව අවධානය යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය ආසන්නයේ ග්‍රාමීය මට්ටමෙන් රාජ්‍ය දේපල අවභාවිතාවක් සිදුකිරීමට රජය සුදානම් වන්නේද යන්න පිලිබද සැක මතුවන බවයි ෴

+++++++++++

+


‘ඉරාජ් – සුදා වලිය’ පේෂලගේ තබ්ලාවෙන් (15.05.2024)

+


බිහිසුණු අනතුරින් තරුණයාට දිවි අහිමි වෙයි

(15.05.2024 – 18:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් ගුරුවරියක් පදවාගෙන ගිය සුඛෝපභෝගී වාහනයක් බයික් රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් අවුරුදු 18 ක තරුණයෙක්.

ඊයේ (14) සවස 05:50 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

ගුරුවරිය පදවාගෙන පැමිණි සුඛෝපභෝගී රථය බණ්ඩාරගම දෙස පානදුර ප්‍රදේශයට ගමන් කරමින් තිබූ අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදිය හා මුහුණ ට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ගුරුවරිය අධිකරණයට ඉදිරුපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි අප කළ විමසීමක දී අලුබෝමුල්ල පොලිසිය පවසා සිටියේ ෴


මියගිය කාන්තාවකට ග්‍රාමසේවක පණ දීලා

(15.05.2024 – 18:37 +0530 – hirunews.lk/sinhala)

මියගිය කාන්තාවක් ජීවත්ව සිටින බවට සඳහන් කරමින් ලියවිල්ලක් නිකුත් කළ ග්‍රාම නිළධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52 ක් වන කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ රාජකාරි කරන ග්‍රාම නිළධාරීවරයෙක්.

අදාළ ග්‍රාම නිළධාරීවරයා වෙනත් වසමක රාජකාරි කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපිය යොදා ගනිමින් කාන්තාවක් විසින් වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බව‍යි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරයා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත්තේ ලිපිය නිකුත් කළ කාන්තාව තමා නොදන්නා අතර කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කළ බවයි ෴


‘වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ’ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන් සිද්ධියට 14 ක් අත්අඩංගුවට

(15.05.2024 – 19:40 +0530 – hirunews.lk/sinhala)

‘වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ’ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන කූඨ ලෙස යොදාගෙන ව්‍යාජ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ගල්කිස්ස පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය’ මගින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

2023.12.29 වැනිදා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ‘ගල්කිස්ස පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයට’ මෙම පැමිණිල්ල යොමුකර තිබුණා.

මේ අතර ‘දෙහිවල සෝල් බීච් ආයතනය’ ඉදිකර තිබෙන්නේ ‘වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව’ සතු ඉඩමක බව තහවුරු වී තිබුණා.

ඒ අනුව එය කඩා ඉවත් කෙරුණ ද නැවත ඉදිකරන බව වාර්තා වීම නිසා එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *