මෙරට නිෂ්පාදිත එන්නත් වර්ග 08 ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්
මෙරට නිෂ්පාදිත එන්නත් වර්ග 08 ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්
(15.05.2024 – 09:38 +0530 – hirunews.lk/sinhala)
නිර්වින්දන කටයුතු මෙන්ම මොලය ආශ්රිත රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08 ක් මාස හයක (06) සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.
‘යාඩින් ලැබොටරි පුද්ගලික සමාගම’ විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 08 ක් මාස හයක (06) සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු (2) වන ප්‍රණීතා.එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්.පී. බුද්ධරගේ යන අය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිල් ශාන්ත සිරිමාන්න මේ බව අවධාරණය කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.
පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් ඖෂධයක් වෙළඳපොළට නිකුත් කිරීමට පෙර එය මාස හයක (06) සුපරීක්ෂණ කාලයකට යටත් කළ යුතු බව ‘ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ’ සඳහන් කොට ඇති බවයි.
එහෙත් වග උත්තරකාර සමාගම විසින් නිෂ්පාදන කළ එන්නත් වර්ග අටක් (08) සඳහා මාස දෙකක් (02) වැනි කාලයක් තුළ අනුමැතිය ලබාදීමට ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ කටයුතු කර ඇති බවත්, ඒ තුළින් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ බලධාරීන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරයා චෝදනා කළා.
ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත්කර තිබෙන ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙලීමට කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කළා.
මෙහිදී ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවා දායකයින් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බව සඳහන් කළා.
රෝගීන්ට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතු වුවහොත්, ඊට අදාළව වෛද්‍යවරුන්ටද වගකීමක් පැවරෙන බවත්, එවැනි කාරණා සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරු නඩු හබවලට මුහුණ දුන් අවස්ථාද අනාවරණය වී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.
එබැවින් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පෙත්සම්කරු දරන ස්ථාවරය සමඟ තමන්ද එකඟවන බවත් ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා, ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිෂ්පාදනය කරනු ලබන යම් ඖෂධයක් සඳහා මාස හයක (06) සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ ‘එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ නම් පමණක්’ බව කියා සිටියා.
මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මස 20 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නිලුකා වෙල්ගමගේ උපදෙස් මත නීතිඥ දෙශාරා ගුණතිලක සමග නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න පෙනී සිටියා.
+
ලාදුරු රෝගය සම්බන්ධයෙන් නිවැරදි මතය සමාජගත කිරීමේ වැඩසටහනක්
(15.05.2024 – 09:21 +0530 – hirunews.lk/sinhala)
‘ලාදුරු රෝගය’ සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට ‘ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය’ සහ ‘ඒඩීටී ආයතනය’ එක්ව ‘ඒ ටූ පී’ නමින් ව්‍යාපෘතියක් ඊයේ (14) සිට ආරම්භ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ලාදුරු රෝගය ඉතා සෙමෙන් ව්‍යාප්ත වන නිසි අවධානයක් යොමු නොවූ රෝගයක් බවයි.
එම රෝගය සම්බන්ධයෙන් පවතින වැරදි මිත්‍යා මත හා රෝගීන් බවට පත්වූවන් සමාජයෙන් කොන් කිරීම අදටත් නොවිසඳුණු ගැටලුවක්ව පවතිනවා.
ශ්‍රී ලංකාව රටක් ලෙස මෙම රෝගය තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින නමුත් රෝගය හා බැඳී ඇති සාධක එම ගමනට බාධාවක් වෙමින් පවතින අතර, එය බිඳ දැමීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණයි.
එමෙන්ම, වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264 ක් අලුතින් හඳුනාගෙන ඇති බව ‘ලාදුරු මර්දන ව්‍යාපාරය’ පවසනවා.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත සඳහන් කළේ, ඉන් 24 දෙනෙකු අවුරුදු 15 ට අඩු දරුවන් බවයි ෴
CID සහ PHI නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් කළ 03 අත්අඩංගුවට
(15.05.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්’ සහ ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්’ ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු (3) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අතර සිටින 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා කොල්ලකෑම් සිදුකිරිම සදහා මාර්ගයේ ගමන් කරන වයෝවෘද්ධ පුද්ගලයන් සමග කථාබහක නිරත වන බව සදහන්.
එහිදි අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ත්‍රිරෝද රථයකින් පැමිණ ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්’ හෝ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් පුද්ගයින්ගෙන් කොල්ල කෑම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඔවුන් එලෙස කිරිදිවැළ, කිරුලපන, කටාන, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, යක්කල, පෑලියගොඩ, ආදුරුප්පු වීදිය, මරදාන, පන්නල සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ තුළ කොල්ලකෑම් සිදුකර තිබෙනවා ෴
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
(15.05.2024 – 11:16 +0530 – hirunews.lk/sinhala)
‘අල්ලස, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය’ හා පුරවැසියන්ගේ උද්ඝෝෂණයක් නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් අද (15) උදෑසන ඇතිවුණා.
‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ හා පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
එහිදී ඔවුන් උද්ඝෝෂණය සඳහා සූදානම් වීමත් සමඟින් පොලිසිය විසින් බැනරය හකුලා ඉවත් කිරීම හේතුවෙන් පොලීසිය සහ ඔවුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
අනතුරුව ඔවුන් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ වෙත සංදේශයක් බාර දෙනු ලැබුවා.
+
සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුවියන් දෙදෙනා (2) අතුරුදන්
(15.05.2024 – 13:07 +0530 – hirunews.lk/sinhala)
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටීම සඳහා ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ (2) භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.
ඊයේ (14) දින උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත ඔවුන් පැමිණ ඇති බවත්, ඉන් එක් (1) සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ගිනිගත්හේන, අග්‍රාඔය සහ නාවලපිටිය, නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා (2) මිතුරියන් බවත්, සිසුවියන් දෙදෙනා (2) එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බව විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක ඇති බවත්, ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා (2) නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවට දැනට කරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴
දෙමාපියනි වහාම දැනුවත් වන්න! අකුණු අනතුරු ගැන වෛද්‍ය උපදෙස්
(15.05.2024 – 13:27 +0530 – hirunews.lk/sinhala)
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග අකුණු අතතුරු සිදුවිම බහුල වී ඇති අතර සිදුවන මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙනවා.
මෙම අනතුරු හේතුවෙන් සිදුවන ළමා මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳව ‘හිරු නිවුස්’ අපි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ගෙන් විමසීමක් සිදු කළා.
එහි දී ඔහු සඳහන් කර සිටියේ, පවතින මෙම අයහපත් කාලගුණයත් සමග විදුලි කෙටීම හරහා ඇතිවන කම්පන තත්ත්වයක් හේතුවෙන් කුඩා දරුවන් මෙම අනතුරුවලට ලක්වන බවයි.
මෙම තත්ත්වය Lightning injury ලෙස හඳුන්වන බවයි ඔහු පැවසුවේ.
වෛද්‍යවරයා දැක් වූ අදහස් :
“පවතින වර්ෂාවත් සමග විදුලි කෙටීම සහ විදුලි සැර වැදීම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙය හදුන්වන්නේ ‘Lightning injury’ කියලා. විදුලි කෙටීම නිසා සෞඛ්‍යට හානි වෙන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෘද වස්තුවට. හෘද වස්තුවේ වේගය වැඩි වෙන්න පුළුවන්, හෘද්යබාධ ඇති වෙන්න පුළුවන්, මොළේට බලපෑම් ඇති වෙන්න පුළුවන්, සිහි නැති වීම් හා වලිප්පුව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පේෂීවලට හානි වෙන්න පුළුවන් වගේම අස්ථි බිඳන්න පුලුවන්.
මෙවැනි හානි ගණනාවක් ඇති වෙන්න පුළුවන් විදුලි කෙටීම අපේ ශරීරයට ආවොත්. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ; පුංචි දරුවන් ප්‍රවේශම් කර ගන්න ඕනේ. වහින වෙලාවට කුඩා දරුවන් නිවෙස් ඇතුළෙම තියා ගන්න එළියේ හිටියොත්, පාරේ හිටියොත් විදුලි කෙටීම හරහා හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මරණය පවා සිදු වෙන්න පුළුවන්. අද ඉඳලා මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුලුවන්. විශෙෂයෙන් දරුවන්ට සිදු වන හානිය අවම කර ගමු. දරුවන් පරිස්සම් කරගමු. ඒ වගේම අපිත් පරිස්සම් වෙමු.
මෙම තත්ත්වය යටතේ කවුරුන් හෝ විදුලි කෙටීමෙන් අනතුරකට ලක් වුණොත්, මුලින්ම එම පුද්ගලයා හුස්ම ගන්නවද කියලා බලන්න. හෘද ස්පන්දනය තියෙනවද කියලා බලන්න. අදාල පුද්ගලයාට මුව මුව තියා කෘතිම ශ්වසනය ලබා දෙන්න; නැත්තම් වම් අත පැත්ත යටට එන විදිහට තියාගෙන ළඟම තියෙන රෝහලයක් වෙත ගෙන යන්න” ෴
අනුරාධපුරයේ ව්‍යාප්ත වන චර්ම රෝගයක් ගැන අනතුරු ඇඟවීම්
(15.05.2024 – 13:39 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ‘ටීනියා නැමති චර්ම රෝගයක්’ ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා.
එම රෝගය පිළිබඳ නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් දීර්ඝ කාලීනව බලපෑම් එල්ල විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
රජරට සියලු ප්‍රදේශවල මෙම චර්ම රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ විශාල ඉහල යාමක් වාර්තා වනවා.
මින් පෙර දිනකට 1 ක් රෝගියෙකු පමණ වාර්තා වූ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනිකව රෝගීන් 25 දෙනෙකු පමණ රෝහල්ගතවන බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.
‘ටීනියා නැමති මෙම දිලීර රෝගය’ ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇත්තේ නුසුදුසු අලේපන වර්ග භාවිත කිරීම හේතුවෙන් බව ද අනාවරණ වී තිබෙනවා.
ස්පර්ශයෙන් බෝවීමේ හැකියාව පවතින මෙම රෝගී තත්ත්වය සමනය කිරීම සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
+
+
ලාංකික හමුදා සාමාජිකයින්ට රුසියාවේ රැකියා ලබා දීම ගැන විශේෂ අනාවරණයක්
(15.05.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ රැකියා සඳහා බඳවා ගන්නේ රුසියානු රජය බව, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
රුසියා – යුක්රේන රැකියා ජාවාරම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.
රුසියාවට සහ යුක්රේනයට ශ්‍රී ලාංකිකයින් යැවීම සම්බන්ධයෙන් රුසියාවේ කිසිදු ආයතනයක් සමග සබඳතා පවත්වා නොමැති බව ‘ඇවන්ඩ් ගාර්ඩ්’ සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහි දැක්වෙන්නේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති පසුබිමක පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.
තම සමාගම මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වී ඇත්නම් හෝ තම සමාගමේ කිසිවෙකු මෙම ක්‍රියාවට සම්බන්ධ බවට සාක්ෂි තිබේ නම් හෝ පාර්ලිමේන්තුවෙන් පිටතදී ඒ පිළිබඳව කරුනු ඉදිරිපත් කර සනාථ කරන ලෙසට ‘ඇවන්ඩ් ගාර්ඩ්’ සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අභියෝග කරනවා.
සාක්ෂි සහිතව එය සනාථ කළ නොහැකි නම් දයාසිරි ජයසේකර, තම වාසිය තකා නිහීන ප්‍රකාශ නොකර මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන ලෙසද එම
නිවේදනය මඟින් ‘ඇවන්ඩ් ගාර්ඩ් මැරිටයිම් පුද්ගලික සමාගම’ පවසනවා ෴
වෘත්තිය සමිති සටන් නිසා විදුල බල මණ්ඩලයට රුපියල් මිලියන 162 ක පාඩුවක්
(15.05.2024 – 14:23 +0530 – hirunews.lk/sinhala)
විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 162 ක අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බව ‘කෝප් කමිටුව’ හමුවේ අනාවරණ වුණා.
ලංකා විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී වැඩිදුරටත් අනාවරණය වුණේ එම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් උත්පාදනය කිරීමට තිබූ විදුලි ඒකක කිලෝවොට් 195,000 ක් අහිමි වී ඇති බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් ‘කෝප් කමිටුව’ ඊයේ (14) රැස් වු අතර එහිදී මේ බව අනාවරණය වුණා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴