නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය

නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය


නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය

(14.05.2024 – 19:23 +0530 – sinhala.adaderana.lk)

මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා ඔන්ලයින් වීසා නිකුත් කිරිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවට ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ’ සහ ‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ’ නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් ‘මුදල් කාරක සභාවේ’ දැඩි අප්‍රසාදය පළවතිබේ.

‘රජයේ මුදල් පිළිබද කාරක සභාව’ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.

මීට පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අද (14) දින කමිටුවට පැමිණීමට එකඟතාවක් පළකර ඇති බව සදහන් වෙයි.

කෙසේවෙතත් ඊයේ (13) සවස දැනුම්දීමක් සිදුකරමින් කමිටුව හමුවට පැමිණීමට නොහැකි බව ‘මහජන ආරක්ෂක අමාත්‍යංශය’ සහ ‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුව’ පවසා තිබේ.

අද (14) පැවැති මුදල් කාරක සභාවට නොපැමිණීම මෙම කාරක සභාවට ගරු නොකිරිමක් ලෙස සලකන බවද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය ෴

++++++++

+


දෙහිවලදී අත්අඩංගුවට ගත් 14 දෙනා රිමාන්ඩ්

(14.05.2024 – 21:18 +0530 – sinhala.adaderana.lk)

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරුවන් 14 දෙනා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියෝග කළාය.

ඉකුත් ජනවාරි මස පළමු වනදා (01) බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කිරීමට කටයුතු කරන ලද දෙහිවල වෙරළ තීරයේ ඉදිකර තිබූ හෝටලයේ තාප්පයක් ඉදිකරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ගල්කිස්ස විශේෂ විමර්ශන අපරාධ ඒකකය හා දෙහිවල පොලීසිය එක්වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි ෴


වසර ගණනකට පසුව හෙළිවූ තිදරු මවගේ අභිරහස

(14.05.2024 – 19:41 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල තවලම ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් සිව්වසරක් (4) මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව අනාවරණය කරගැනිමට ‘ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය’ සමත්විය.

එහිදී අනාවරණ වී තිබුණේ අදාළ කාන්තාවගේ අනියම් සැමියා විසින් ඇය ඝාතනය කර සිරුර වැසිකිළි වළකට දමා තිබූ බවය.

ඒ අනුව මීට වසර හතරකට (4) පෙර, ඝාතනය කෙරුණු විසිනව (29) හැවිරිදි තිදරු මවකගේ මෘතදේහය ගාල්ල තවලම හල්ලකන්ද ප්‍රදේශයේ කැලෑබද ඉඩමක වැසිකිලි වලක සඟවා තිබියදී ගොඩගෙන තිබුණි.

නිලූෂිකා සඳමාලි නම්වූ ඇය 2020 වසරේ ජූනි මස 06 වනදා සිට අතුරුදන්ව තිබූ අතර ඇයගේ මව විසින් ඒ සම්බන්ධයෙන් එවක පොලිසියට පැමිණිල්ලක්ද ගොනුකර තිබුණි.

සිය පළමු විවාහයෙන් වෙන්වූ නිලූෂිකා සිය දරුවන් දෙදෙනා (2) ද සමඟ ‘බතල ශාන්ත’ නමැත්තෙකු සමඟ දිවිගෙවමින් සිට ඇති අතර, ඔහුට දාව එක් (1) පුතෙකු ද ඇයට ලැබී තිබුණි.

මෙම තිදරු මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය එවකට විමර්ශන සිදුකළද කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකිවිය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන ගාල්ල කොට්ඨාස අපරාධ අංශය වෙත යොමුකෙරෙන්නේ එවන් පසුබිමකය.

ඒ අනුව වසර හතරක් (4) මුළුල්ලේ විමර්ශන සිදුකළ පොලීසිය අතුරුදන් කාන්තාවගේ අනියම් සැමියා වන ‘බතල ශාන්ත’ හෙවත් ‘හේනගොඩගේ ශාන්ත’ නැමැති 44 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු විසින් ඇයට පහරදී ඝාතනය කර, සිරුර නිවස අසල වැසිකිලි වළක සැඟවූ බවටය.

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට පහරදුන් ‘බතල ශාන්ත’ නමැත්තා ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට සහභාගී වී සිට ඇති අතර, එහිදී දරුවන් පැමිණ මව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඔහු දැනුම්දී ඇති බව අනාවරණ වී තිබේ.

ඒ වනවිට බීමතින් සිටි ‘බතල ශාන්ත’ නිවසට පැමිණ යළි බිරිඳට පහරදී ඇති අතර, පසුදින උදෑසන ඇයගේ සිරුර සීතල වී තිබීම හේතුවෙන් එය ඇඳ ඇතිරිල්ලක ඔතා වැසිකිලි වළකට දමා ඇතැයි පොලීසිය පවසයි.

පසුව ඔහු සැක නොසිතෙන අයුරින් බිරිඳගේ නිවසට ද ගොස් ඇය පිළිබඳව විමසා ඇති බව පොලීසිය පවසයි.

ගොඩගැනුණු මෘතදේහය නිලූශිකාගේ බවට දරුවන් හා ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

එම අවස්ථාවේදී ඇය පැළඳ සිටි කරාඹුවක්ද හමුවුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

+


‘ඉන්ෆ්ලුවෙන්සා’ පැතිරයාම ඉහළට

(14.05.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)

‘ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය’ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රිජ්වේ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ අවුරුදු 2 ට අඩු දරුවන්, ගැබිණි මව්රුන් සහ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් නිරතුරු මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි ෴


විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වර්ජනයක

(14.05.2024 – 16:14 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු සේවාවලින් ඉවත් වී හෙට (15) අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසනවා.

එමෙන්ම, ඊයේ (13) දිනයේ දී බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවකට ද පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා ෴


විමල් වීරවංශ ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

(14.05.2024 – 13:20 +0530 – lankacnews.com)

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය,’රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ දී) 2024 මැයි මස 16 වැනිදා සවස 03:00 ට සිදු කිරීමට නියමිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සඳහා ඇරයුම් ලැබ සිටිති. කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ඇත.


‘උණ්ඩියල්’ ක්‍රමයෙන් මුදල් වංචාකළ පොහොට්ටු සංවිධායකවරයා අත්අඩංගුවට

(15.05.2024 – 07:03 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී ‘උණ්ඩියල්’ ජාවාරමක නිරත වෙමින් යාපනයේ පුද්ගලයින්ගෙන් රුපියල් දස ලක්ෂ අනූදහසක (10,90,000) මුදලක් වංචාකළ ‘පොදුජන පෙරමුණේ’ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ඊයේ (14) පොලිසිය විසින් යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, යාපනය ප්‍රදේශවාසීන් විසින් පොලිසියට කරන ලද පැමිණිලිවලින් අනතුරුව ‘යාපනය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ’ නිලධාරීන් පිරිසක් පැමිණිලි සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කොට සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

විදෙස් රටවලින් එවනු ලබන මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඔහු විසින් වංචනිකව ලබාගෙන ඇති නමුත්, දැනට පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ රුපියල් දස ලක්ෂ අනූදහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

විදේශ රටවල රැකිවල නිරත ලාංකිකයින් බොහෝ දෙනෙකු බදුවලින් බේරීමට මෙම නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය හරහා මුදල් එවනු ලබන අතර, මහ බැංකුව විසින් එම ක්‍රමය නීති විරෝධී ක්‍රියාවක් බවට නම් කොට එවැනි ජාවාරම්වල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීමට ද ක්‍රියා කරනු ලබනවා ෴


සා.පෙළ විභාග මධ්‍යස්ථානයකට පැන මවක් යකා නටයි

(15.05.2024 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් (1) සිසුවෙකුගේ මවක්, එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීමට යාමෙන් ඊයේ (14) එම විභාග මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අනුරාධපුර, ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අනුයුක්ත කර ඇති අතර, එම විද්‍යාලයේ සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් (2) අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දින සිට මේ දක්වා මෙම දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව ඇති අතර, පෙරේදා (13) උදෑසන බහින්බස් වීම් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

අනතුරුව ඊයේ (14) දිනයේදී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති එක් (1) සිසුවෙකුගේ මවක්, සිසුන් කිහිපදෙනෙකුට පහරදීමට ගොස් පරුෂ වචනයෙන් බැන කලහකාරී අන්දමින් හැසිරී තිබෙනවා.

පසුව ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරිය බවයි පොලිසිය සඳහන් කළේ ෴


මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිලේ මංගල්‍ය සමය ඇරඹෙයි

(15.05.2024 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල ලෙස හැදින්වෙන මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පහන් දැල්වීමේ මංගල්ලය ඊයේ (14) ආරම්භ වුණා.

කෝවිලේ භාරකාර පූසාරීවරුන් ඉපැරණි සම්ප්‍රදායට ගරු කරමින් අලුයම මුහුදට ගොස් ‘මුහුදු ජලය ලබා ගැනීමට එදා සිටම භාවිත කරන ස්ථානයෙන්’ මුහුදු ජලය ලබා ගෙන ඒවා හේවිසි, හොරණෑ සහිත පෙරහැරකින් කෝවිල කරා රැගෙන එනු ලබනවා.

අනතුරුව, එම මුහුදු ජලය කෝවිලේ තබා ඇති විශේෂ මංජුසාවක දමා පහන් දැල්වීම පිණිස බැතිමතුන් අතර බෙදා දෙනු ලබනවා.

පොල්තෙල් වෙනුවට පුරා මාසයක කාලයක් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දෙනාම පහන් දල්වනු ලබන්නේ මුහුදු ජලය උපයෝගී කරගෙනයි.

වට්ටාපලෙයි මුහුදේ එම ස්ථානයේ ඇති ජලයේ යම් රසායන ද්‍රව්‍යයක් අඩංගු නිසා ඒවා ගිනි ඇවිලෙන ස්වභාවයකින් යුතු බව විද්‍යාත්මකව සනාථ වී ඇති අතර, හින්දු ජනතාව දෙවියන්ගේ හාස්කමක් මත මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි බවට විශ්වාස කරනු ලබනවා.


‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ගැන අනියත බියක් එපා; සෞඛ්‍ය අංශ කියයි

(15.05.2024 – 08:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය පාලනය සඳහා හඳුන්වාදුන් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පැවරූ නඩුවකදී ‘ඇස්ට්‍රාසෙනිකා’ නිෂ්පාදනය කරන සමාගම එම එන්නතේ සංකූලතා අඩු බව පිළිගත් බවත්, එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කරුණක් බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බැවින් එහි අහිතකර බලපෑමක් ඇති නොවන බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

‘ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතාන්‍යය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.

2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *