තරුණියක අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

තරුණියක අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට


තරුණියක අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

(14.05.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයෙකු, 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විමර්ශණ ආරම්භකර තිබෙනවා.

අදාළ ගුරුවරයා මේ වනවිට මාවතගම පොලිසිය භාරයේ සිටින අතර, ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි අප කළ විමසීමකදී මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන්කර සිටියේ.

පොලිස් ස්ථානය ආසන්නයේම පිහිටි මෙම උපකාරක පංති පවත්වන ස්ථානයකට ඊයේ (13) පස්වරුවේ තරුණියක පැමිණ ඇති අතර, ඒ වනවිටත් එහි ගුරුවරයෙකුත් සිට තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ සී සී ටී වී කැමරා සවි කරමින් සිටි පිරිසකට ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සෝදිසි කර ඇති අතර, අදාළ උපකාරක පංතියේ විදුලිබල්බ දල්වා නොතිබීම හේතුවෙන් එම පිරිස එම ස්ථානයට ගොස් තිබුණා.

ඒ වනවිටත් උපකාරක පංති ගුරුවරයා බව කියන පුද්ගලයා තරුණියකට අතවර කරමින් සිට ඇති අතර, මෙම පිරිස යුහුසුළුව අදාළ පුද්ගලයාගෙන් එම දැරිය මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

එම තරුණියට ‘මත්වන යමක් පානය කිරීමට සලස්වා’ මෙම පුද්ගලයා අතවර කර ඇති බවත්, එම ස්ථානයේ තිබී ‘මත්වන යමක්’ ද සොයාගෙන තිබෙනවා.

පසුව, එහි සිටි පුද්ගලයෙකු මාවතගම පොලිසියට ගොස් ඒ බව දැනුම්දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට පැමිණියා.

සංවර්ධන නිලධාරියෙකු වන මෙම උපකාරක පංති ගුරුවරයා මාවතගම අරංපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

+

තරුණියකට අතවර කිරීමේ සිද්ධියකට මෝස්තර නිරූපණ වල්ගුරා අත්අඩංගුවට

(14.05.2024 – 15:19 +0530 – sinhala.adaderana.lk)

මෝස්තර නිරූපණය පිළිබඳ පන්තියකට සහභාගී වූ 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.

ඒ, පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු දුරකථන පණිවුඩයකට අනුවය.

සිද්ධියට සම්බන්ධ සැකකරු අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මාවතගම නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන මෝස්තර නිරූපණ ශිල්පය විෂයය ඉගෙන ගැනීමට අදාළ තරුණිය ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම ඇතිවී තිබේ.

එහිදී අදාළ පන්තිය අවසන් වනවිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම තරුණිය සහ තවත් තරුණියන් තිදෙනෙකු (3) කෙටි වෙලාවක් එහි නතරවී සිට ඇත.

පසුව මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන සැකකාර ගුරුවරයා අදාළ තරුණියන් සමග මත්පැන් පානය කර තිබෙන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙකු ‘අද දෙරණ’ට පැවසීය.

පසුව අනෙක් තරුණියන් තිදෙනා (3) පිටව ගොස් ඇති අතර අදාළ තරුණිය අධික ලෙස මත්වීමෙන් එහි නතරවී ඇත.

පොලීසිය සඳහන් කළේ එහිදී මෙම අපරාධය සිදුකර ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන ගුරුවරයාව මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මාවතගම අරම්පොලවත්තේ පදිංචි 40 හැවිරිදි විවාහකයෙකි.

අතවරයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++++++++

+


විදුලි සංදේශ පනතින් මාධ්‍ය නිදහස නැති වෙනවා

(14.05.2024 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ අදහස් ප්‍රමාණවත් පරිදි නොවිමසා ‘ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත’ ඉදිරිපත් කර ඇති බවත්, මේ කෙටුම්පතේ නිදහස් මාධ්‍යකට අහිතකර යෝජනා රැසක් ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කොමිෂන් සභාව තීරණය කරන ආකාරයට වන්දි ගෙවා බලපත්‍ර ලබා ගැනීම, බලපත්‍ර අහෝසි කිරීම වැනි දෑ ඇතුළත් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

නිදහස් රටක නිදහස් මාධ්‍ය පැවතිය යුතු නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක මෙම පනතේ අහිතකර වගන්ති සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

මහජන යහපත පෙරදැරිව බලපත්‍ර ලබා දීම හෝ අහෝසි කිරීමෙන් රජය ඉවත් නොවන්නේ නම් මෙය අධිකරණය හමුවේ අභියේගයට ලක් කරන බවත්, TRC එකට මහජන යහපත කුමක්ද කියා තිරණය කිරීමට ඉඩ දුන්නොත් මාධ්‍ය නිදහස නැති වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

+


‘ව්‍යාජ අටපිරිකර ජාවාරමක්’ හසුවෙයි

(14.05.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ‘ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක’ නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු (2) ‘කතරගම පොලිසිය’ හා ‘මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ’ නිළධාරීන් විසින් ඊයේ (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කතරගම පුදබිමේ බැතිමතෙක් විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා (2) විසින් රැගෙන ආ අටපිරිකර 150 ක් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ බවට හඳුනාගැනීමෙන් පසුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් (2).

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා (2) කලක සිට කතරගම හා ඒ අවට ප්‍රදේශ වලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මුලික විමර්ශණ වලදි අනාවරණය වි තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී උන්වහන්සේලාද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා (2), අටපිරිකර 150 ක් සහ ඒවා රැගෙන ආ වෑන් රථය සමග කතරගම පොලිසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+


දිවයිනට එන විදේශ සංචාරකයින්ට කටුනායකදී ‘තේ සිහිවටනයක්’

(14.05.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම යළි සිය රට යෑමේදී මෙරට තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපලේදී ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

‘සිලෝන් ටී’ නාමය ලොව ප්‍රචලිතකිරීම මෙහි අරමුණ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ ෴


පොලිතීන්වලින් වෙසක් සැරසිළි කිරීම තහනම්

(14.05.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකි බවත්, එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් පවතින බවත්, එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගන්නා ලෙසද එම අධිකාරිය ඉල්ලීමක් කර තිබෙනවා.

අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිඑතිලින් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙන්වා දෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට තවදුරටත් දන්වා ඇත්තේ, සියලු සත්ත්වයන්ගේ සුව සෙත පිණිස ම කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන අවස්ථාවේ, මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයට හානි සිදු නොකරමින්, පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ලෙස වෙසක් උත්සව සැමරුම් කටයුතු සිදුකරන ලෙසයි ෴


‘සුවසැරිය’ ගැන රජයේ අවධානය යොමු කරවයි

(14.05.2024 – 16:23 +0530 – hirunews.lk/sinhala)

‘සුවසැරිය ගිලන් රථ සේවාවේ’ ගිලන් රථ 322 න් 56 ක් වැඩ නොකරන බවත්, ඒවායේ රියදුරන් සහ හදිසි සේවා නිලධාරින් රට හැර ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (14) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මෙම ගිලන්රථ අලුත්වැඩියාව සහ සේවකයන් යෙදවීමේදී රජයේ අවධානය අඩු වී තිබෙන බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+


‘අස්වැසුම’ දෙවන (2) අදියරේ අයදුම්පත් හාරලක්ෂ ඉක්මවයි

(14.05.2024 – 16:47 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ දෙවන (2) අදියරට අදාළව මේ වනවිටත් අයදුම්පත් 450,404 ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ ඉන් 84% ක්ම මේ වනවිට අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම, අලුතින් බඳවාගත් ග්‍රාම නිලධාරීන් 2,000 කට ආසන්න පිරිස ‘අස්වැසුම’ ලබාදීමේ කටයුතු සඳහා දායක කරගන්නා බවද ඔහු සඳහන් කළා.

‘අස්වැසුම’ සංගණන කටයුතු සඳහා දායක වන වෙනත් පාර්ශවයන් සඳහා දීමනා ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවද කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ෴


පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීම ගැන සාකච්ඡා

(14.05.2024 – 17:32 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව දැනුම් දුන්නේ අද (14) කැබිනට් සාකච්ඡාවට එක්වෙමින්.

ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එළැඹෙන වසරේදී (2025) පළාත් පාලන මැතිවරණය පැවත්වීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි ෴


මෙන්න මේ ප්‍රදේශවල ජනතාව ප්‍රවේශම් වන්න

(14.05.2024 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා පළමු (1) අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ.


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *