අඩු ආදයම්ලාභින්ට දුන් සහල් කෑ කුකුළන් 07 ක් මියයයි
(14.05.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala)
අඩු ආදායම්ලාභින්ට රජයෙන් දුන් සහල්, කුකුළන් ආහාරයට ගැනීමෙන් කුකුළන් 7 දෙනෙක් මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල මහේස්ත්‍රාත් යු.එස්.කේ.කේ. වැරුණියගොඩ සහල් සම්බන්ධව රස පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
රිදිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභින්ට ලබාදුන් සහල් පානගමුව ප්‍රදේශයේ අඩු ආදයම්ලාභියෙකු නිවසට රැගෙන ගොස් එයින් කොටසක් කුකුළන්ට ආහාරයට දමා ඇති බවත් ඒවා ආහාරයට ගත් කුකුළන් හත්දෙනා (7) සිහිසුන්ව සිට පසුව මියගිය බවටත් නිවසේ හිමියා පැමිණිලි කළ බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන්කර සිටින්නේ.
සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් හත් දෙනෙකු (7) මියයාම ගැන සෞඛ්‍ය බලධාරින් කළ පරීක්ෂණවල දී මියයාමට හේතු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර රස පරික්ෂණ වාර්තාවක් කැඳවීමට නියෝග ලබාගත් බවත් මහජන සෞඛ්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා ෴
අඩු ආදායම්ලාභීන්ට රජයෙන් බෙදාදෙන සහල් ආහාරයට ගත් කුකුළන් හත් දෙනෙක් (7) මියයාමේ සිද්ධියක් පිළිබඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (14) පාර්ලිමේන්තුවේදී රජය දැනුවත්දැයි ප්‍රශ්න කළා.
අඩු ආදායම් ලාභීන් සඳහා රජයෙන් ලබාදුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධව පසුගිය කාලය තුළ ඇතිවූ තත්වය පිළිබඳ සිහිපත් කළ මන්ත්‍රීවරයා පැවසුවේ, පානගමුව ප්‍රදේශයේ අයකුගේ කුකුළන් හත් දෙනකු (7) මෙසේ රජයෙන් දුන් සහල් කෑමෙන් පසු මිය ගොස් තිබෙන බව මාධ්‍යයේ පළවී ඇති බවයි.
කෙසේනමුත් ඊට පිළිතුරු දුන් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, එම කාරණය විෂය බාර අමාත්‍යංශයට යොමු කොට පිළිතුරක් ලබා දෙන බවත් ක්ෂණිකව පිළිතුරක් ලබා දිය නොහැකි බවත් සඳහන් කළා.
+
නකල්ස් රක්ෂිතයේ ෆේස්බුක් සාදයක් වටලයි
(14.05.2024 – 06:54 +0530 – hirunews.lk/sinhala)
නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අවුරුදු 20 – 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බවයි ඔවුන් සඳහන් කළේ.
මෙම කණ්ඩායමේ කිහිපදෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම කණ්ඩායම රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මෙසේ කූඩාරම් ගසාගෙන සිට ඇති අතර, සංරක්ෂිත රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාද පවත්වා ඇති බවත් අඩිවි වන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන්ද සිටින බවයි ඔවුන් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා ෴
අහුංගල්ලේ වෙඩි තැබීමට සහාය දුන් ‘ආදරේ’ හසුවෙයි
(14.05.2024 – 07:29 +0530 – hirunews.lk/sinhala)
අහුංගල්ල ප්‍රදේශයේදී පසුගිය මැයි 08 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වෙඩි තැබීමට වෙඩික්කරු හට ආධාර, අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙක්.
ඊයේ (13) දින කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී මෙලෙස එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1,150 ක් සහ ජංගම දුරකථනයක් ද විශේෂ බලකායේ භාරයට ගෙන ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වැනිදා රාත්‍රී 07:00 ට පමණ නිවසකට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත් වුණා.
වෙඩි වැදීමෙන් මිය ගියේ අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ‘කීර්ති ආබෲ’ වන අතර, ඔහු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අහුංගල්ලේ බබා’ හෙවත් ‘නදීශ ආබෲ’ නමැත්තාගේ පියායි.
වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් එම වෙඩි තැබීමෙන් පසු ඊට ආසන්න තවත් නිවසකට ද වෙඩි තබා තිබුණා.
එම නිවස දැනට ඩුබායි හි සිටින ‘මධුෂාන් ආබෲ’ නමැති පුද්ගලයෙකුට අයත් බව පොලිසිය පැවසුවා.
අනතුරුව පසුගිය 10 වැනිදා අහුංගල්ල, මරදාන ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් ‘ඩුබායි ළහිරු’ගේ සමීපතමයෙකුගේ පියෙකු බවටද හෙළි වී තිබෙන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මෙම වෙඩි තැබීම පසුගියදා අහුංගල්ල – ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා රාත්රියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
+
අයියා, මලෝ එක්වී අයෙකුව පරලොව යවලා
(14.05.2024 – 07:57 +0530 – hirunews.lk/sinhala)
මහඔය, සමගිපුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (13) ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 26 ක් වූ එම පුද්ගලයා මහඔය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ක සහ 23 ක සහෝදරයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහඔය පොලිසිය විසින් සිදුකරනු ලබයි ෴
ඇඟලුම් සේවකයාගේ අවම වැටුප ඉතා අඩුයි
(14.05.2024 – 08:10 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අවම වැටුප් පරිමාණය ‘ඉහළ උද්ධමනය හේතුවෙන් සේවක පවුලක අවශ්‍යතා පියවා ගැනීමට අපොහොසත් වී ඇති’ බව ‘කම්කරු සංගම් සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාත්‍යන්තර සන්ධානය’ පවසනවා.
සාමාන්‍ය ලෙස ශ්‍රී ලංකා රජය ජාතික ජීවන වැටුප 40% කින් එනම්, මසකට රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා අයවැය මඟින් සහන දීමනාවක් ලබා දුන්නද එය ප්‍රතිශත අනුව විශාල පිම්මක් වුවත්, 2024 පෙබරවාරි වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 5.9% උද්ධමනය අනුව එම මුදල තවමත් අඩු මට්ටමක පවතින බවයි එම සන්ධානය තර්ක කරන්නේ.
ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ ඉහළම විනිමය උපයන මාර්ගය වන අතර 2021 සිට 2022 දක්වා එය රටේ මුළු අපනයන ආදායමෙන් 52% ක් වන අතර ඇඟලුම් වැනි අපනයන බර අංශයක් සඳහා, කම්කරුවන් 350,000 ක් සෘජුවම සේවයේ යොදවා ඇති වැටුප් පරිමාණය ප්‍රමාණවත් නොවන බවයි එම සන්ධානට ප්‍රකාශකර සිටින්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නියෝජනය කරමින්, ‘ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ’ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස්
පවසන්නේ, රජයේ අයවැය දීමනාව සමඟින් ඇඟලුම් ක්ෂේත්රයේම එකඟ වූ අවම වැටුප රුපියල් 24,000 (ඩොලර් 80) පමණ වන බවයි ෴
සබරගමුව පළාතේ රජයේ රෝහල්වල අද (14) වර්ජනයක්
(14.05.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක ‘ඩැට්’ දීමනාවට සාපේක්ෂව සිය වෘත්තීන්ටද ප්‍රමාණවත් දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) සබරගමුව පළාතේ රෝහල්වල වර්ජනයක නිරත වනවා.
ඒ අනුව පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ.
පළාත් මට්ටමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර, ඊයේ (13) මධ්‍යම පළාතේ රජයේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වුනා.
+
වාණිජ බැංකු ණය පොලී අනුපාතිකය 10% දක්වා පහළට
(14.05.2024 – 09:09 +0530 – hirunews.lk/sinhala)
බලපත්‍රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය මේ වන විට සියයට 10 දක්වා පහත දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත් ඇතැම් බලපත්‍රලාභී වානිජ බැංකු දළ ණය පොලී අනුපාතිකය සියයට 9.92 ක් ලෙස සටහන් කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මෙරට වානිජ බැංකු කිහිපයකම ණය පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවයි මහ බැංකුවප්රකාශ කළේ ෴
පෙර පාසල් වයසේ දරුවන්ගෙන් 20% ක් පෙර පාසල් යන්නෑ
(14.05.2024 – 10:35 +0530 – hirunews.lk/sinhala)
පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20% ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
යුනිසෙෆ් වාර්තාව අනුව මේ බව තහවුරු වූ බවයි සුසිල් ප්‍රේමජයන්ත අද (14) පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
දරිද්‍රතාව හා දුර යාමේ අපහසුව නිසා මේ තත්ත්වය උදාවී තිබෙන බවද හෙළිව තිබෙනවා.
මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.
+
‘රත්තරං නෝනා’ගේ රිය ධාවනය තරුණයකුගේ දෙපා අඩපණ කරයි
(14.05.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)
මාර්ග සංඥා නොතකා යාපනයේ ස්වර්ණාභරණ වෙළඳසැළක අයිතිකාරියක් පැද වූ සූඛෝපභෝගී රථයකට යටවීමෙන් යාපනයේ තරුණයෙකු ඊයේ (13) බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තුවාලකරුගේ දෙපා මෙම අනතුරෙන් සම්පූර්ණයෙන්ම බිදී ගොස් ඇති අතර, ඔහු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ සිහි මද ගතියෙන් බවයි.
යාපනය, ඉලුප්පෙයිඅඩි හන්දියේදී ඊයේ (13) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඒ අවස්ථාවේදී කාන්තාව පැද වූ වාහනයට දකුණු දෙසින් පැමිණෙමින් තිබූ වාහන සදහා මාර්ගය විවෘතව තිබී ඇති අතර, ඒ බව හැඟවෙන විදුලි ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී කාන්තාව ඒ බව නොතකා සිය වාහනය කෙලින්ම ධාවනය කර වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි ‘හිරු වාර්තාකරු’ පැවසුවේ.
යතුරු පැදියෙන් පැමිණි තරුණයා යාපනය පලාලි මාර්ගය ඔස්සේ පැමිණ පුන්නලෙයිකඩ්ඩුවාන් ප්‍රදේශයට යාමට නියමිත මාර්ගයේ පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා ෴
වෛද්‍ය කපිල වික්‍රමනායකගේ පෙත්සමට දින දෙයි
(14.05.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඉන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ෴
සිගරට් භාවිතය පහළ යද්දී ඉහළ යන අවදානම
(14.05.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)
මේ වසරේ ගෙවීගිය මාස 03 තුළ පසුගිය වසරට වඩා සිගරට් අලෙවිය පහත වැටී ඇති බව ‘ශ්‍රී ලංකා දුම්කල සමාගම’ පවසනවා.
බදු ඉහළ දැමීම, ජනතා ආදායම් පහත වැටීම සහ ආර්ථික මන්දගාමිත්වය යන කරුණු මත ඊට හේතු වී ඇති බවද සමාගම පෙන්වා දෙනවා.
ජනවාරි සිට මාර්තු මාසය දක්වා සිගරට් අලෙවියෙන් ලද ආදායම රුපියල් බිලියන 46.93 සිට රුපියල් බිලියන 45.85 දක්වා පහත වැටී ඇති අතර, පිරිවැටුම සම්බන්ධ බදු රුපියල් බිලියන 34.2 සිට රුපියල් බිලියන 31.7 දක්වා පහත වැටී බව එහි සඳහන්.
බදු වැඩිකිරීම් හේතුවෙන් සිගරට් භාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් බීඩි භාවිතයට හුරු වී තිබෙනවා.
දුම්වැටි භාවිතය පිළිකා සහ වෙනත් රෝග වලට තුඩු දෙන නමුත් රජයට බදු නොගෙවන විකල්ප දුම් පානයකට ජනතාව හුරු වුවහොත් විවිධ රෝගවලට ගොදුරුවීම් ඉහළ යන අතර රජයට බදු නොලැබීයාමේ අවදානමක්ද පවතින බවත් දුම්කළ සමාගම වැඩිදුරටත් සඳහන් කළා ෴
සාමාන්‍ය පෙළ අවසන් වූ වහා උසස්පෙළට පන්ති අරඹන්න කැබිනට් අනුමැතිය
(14.05.2024 – 12:14 +0530 – hirunews.lk/sinhala)
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දිනෙක ප්‍රකාශකර සිටියේ.
මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමේ අරමුණ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වලක්වා ගනිමින් මෙම වසරත් සමග වසර දෙකක (2) කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්වයට ගෙන ඒම බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එම කැබිනට් තීන්දුව පහතින් :
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු එහි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට අවම වශයෙන් මාස තුනකට (3) ආසන්න කාලයක් ගතවේ. මෙම කාලය තුළ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව උසස් පෙළ හැදෑරීම සඳහා යොමුවීමේ ප්‍රවණතාවය අඩුවීමට මෙන්ම එමඟින් විවිධ සමාජ ගැටලු නිර්මාණය වීමටද හේතු වී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන සිසුන්ගේ කාලය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට සහ අපොස උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදීමට හැකිවන පරිදි 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමඟ උසස්පෙළ කටයුතු ආරම්භ කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව 2023 වර්ෂයට අදාළව 2024 මැයි මස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගය අවසන් වූ වහාම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
+
පූජා භූමි 20 ක් ගැසට් කරන්න තීරණයක්
(14.05.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)
මෙම වසරේදී පුජා භූමි 20 ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ වසරේ මේ වනවිට පූජා භූමි 09 ක් ගැසට් කර ඇති අතර, හම්බන්තොට උද්ධකන්දර රජමහා විහාරස්ථානය, කුරුණෑගල දඹදෙණිය රජමහා විහාරස්ථානය, මොනරාගල කොටසර පියංගල රජමහා විහාරස්ථානය, පුත්තලම වෙහෙරගල රජමහා විහාරස්ථානය, නුවරඑළිය බඹරකැලේ රජමහා විහාරස්ථානය, කොළඹ බටපොත ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරස්ථානය, හම්බන්තොට වාඳුරුප්ප ථේරපුත්තාභය රජමහා විහාරස්ථානය, කෑගල්ල කඩිගමුව ශ්‍රී නාගවනාරාමය සහ මාතලේ ක්ෂේත්රාරාම රජමහා විහාරස්ථානය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැයි 21 වනදා සිට මැයි 27 වනදා දක්වා මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එහිදී මාතලේ ක්ෂේත්රාරාම රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාල සන්නස් පත්‍රය ලබා එහිදී දීමට නියමිත බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒවායේ පවතින ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කර ගැටළු විසදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴