නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගිය පෙරපාසල් දියණිය ජීවිතක්ෂයට

නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගිය පෙරපාසල් දියණිය ජීවිතක්ෂයට


නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගිය පෙරපාසල් දියණිය ජීවිතක්ෂයට

(13.05.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala)

නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගොස් අද (13) පස්වරුවේ වයස අවුරුදු 5 ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මුංහේන, මග්ගොන, ලක්දිව් උද්‍යානයේ පදිංචිව සිටි දැරියක්.

‘මෙම දැරිය ඇතුළු ?’ එම පවුලේ දරුවන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් භාවිතා කරන බව කියන මෙම ජංගම දුරකථනය නිවසේ ප්ලග් එකකට සවිකර ආරෝපණය කර පසු එය ගැලවීමට යාමේදී විදුලිසැර වැදී තිබෙන බවත් මියගිය දරුවා නිවසේ සාලයේ වැටී තිබියදී වැඩිමහල් දරුවා දැක මවට පැවසීමෙන් පසු බේරුවල රෝහල වෙත යතුරුපැදියක ආධාරයෙන් රැගෙන විත් ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී දැරිය පරීක්ෂා කර වෛද්‍යවරුන් එම දැරිය මියගොස් ඇති බව සනාථ කර තිබෙනවා.

බේරුවල රෝහලේදී මියගිය දැරිය පරීක්ෂා කළ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පයාගල පොලිසිය සහ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් දැරිය පදිංචි නිවස පරීක්ෂා කිරීමට නියමිතයි.

+++++++++

+


කුලියාපිටිය තරුණයාගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා රිමාන්ඩ්

(13.05.2024 – 17:46 +0530 – hirunews.lk/sinhala)

පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයාගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18 ක් වන වස්සාවුල්ල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 වැනිදා උදෑ­සන කුලි­යා­පි­ටිය, වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවසට ගිය මොහොතේ සිට අතු­රුදන්ව සිටි ‘සුසිත් ජය­වංශ’ නමැති 31 හැවිරිදි තරු­ණ­යාගේ මළ සිරුර පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ පසු­ගිය 07 වැනිදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙන්.

මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකාර පෙම්වතියගේ ඥාති නිවෙසක ඇය සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම්දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ (12) කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර තරුණිය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, තමා අවුරුදු 15 ක වයයේ පසුවන පාසල් සිසුවියක සිටියදී ‘සුසිත්’ නමැති ඝාතනයට ලක් වූ තරුණයා තමාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්ම වරට තමාව දූෂණය කළ බවයි.

ඉන්පසුව වරින්වර තමාව දූෂණය කළ බවත්, තමන්ව මරා දමාවිය යන බියට තමා මේ බව මවුපියන්ට නොකියූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

නැවතත් වසර කිහිපයකට පසුව පසුගිය ජනවාරි මාසයේදී නිවසේ කිසිවෙකු නොමැතිව සිටි අවස්ථාවක පිහියක් පෙන්වා මරන බවට තර්ජනය කර බලහත්කාරයෙන් දූෂණය කළ බවත්, ඉන්පසුවද තමාව අවස්ථා ගණනාවකදී දූෂණය කළ බවත් මේ වනවිට 18 හැවිරිදි වියේ පසුවන එම සැකකාර පෙම්වතිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව තමා ගැබ්ගෙන ඇති බව පෙනී ගිය නිසා මේ බව ඔහුට දැනුම්දුන් පසු ඔහු තමාට බෙහෙත් පෙති වර්ග 05 ක් ලබා දී ඒවා පානය කළ යුතු ආකාරය ගැන පැවසූ බවත්, ඒ අනුව එම පෙති පානය කිරීමෙන් පසු ගබ්සා වූ බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ ‘සුසිත් ජයවංශ’ නැමැත්තා තවත් තරුණියක සමගද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයද ගැබිනියක වී ඇති බව දැනගත් පසුව ඇයගේ දරු ගැබ ද මෙලෙස ගබ්සාවකට ලක් කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

එමෙන්ම, මෙලෙස ඝාතනයට ලක්වූ ‘සුසිත් ජයවංශ’ නමැත්තා මීට පෙර විවාහකව සිට බිරිඳගෙන් වෙන් වී සිටි අයෙක් ෴

කුලියාපිටියේ සුසිත් ජයවංශ නැමති තරුණයා ඝාතනය කිරීමට සිය නිවසට ගෙන්වා ගෙන ඇත්තේ ඔහුගේ පෙම්වතිය විසින් බව අධිකරණයේදී අද (13) අනාවරණය වුණා.

ඒ ඇයව සිද්ධියේ 9 වන සැකකාරිය ලෙස නම් කළ විට මහේස්ත්‍රත්වරයා නැගූ ප්‍රශ්නයකට පොලිසිය ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේදීයි.

අදාළ තරුණිය, සිද්ධිය වූ බව කියන දිනයේ දුරකතන ඇමතුමක් ලබා දී තරුණියගේ නිවසට කැදවා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී 18 හැවිරිදි තරුණිය සහ ඇගේ පියා වන ‘සිඟිති’ නැමැත්තා ඇතුළු සෙසු සැකකරුවන් අට දෙනා (8) ද ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත්ගේ නියෝග කරනු ලැබුවේ.

අදාළ තරුණිය මීගමුව ප්‍රදේශයේ ඥාති නිවසක සැගව සිට දින 20 කට පසුව පොලිසියට භාර වීමෙන් පසු ඊයේ (12) අත්අඩංගුවට ගැණුනා.

වයස අවුරුදු 15 සිට ඔහු අවස්ථා රැසකදී තමන්ව බියගන්වා දූෂණයට ලක්කළ බවයි ඇය එහිදී පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා ෴

+++++++++

+


පුතාගේ පෙම්වතියට නොමනා දඬුවමක් දුන් මවට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

(13.05.2024 – 18:11 +0530 – hirunews.lk/sinhala)

තමාගේ පුතා සමග නිවසේ ලිංගිකව හැසිරෙමින් සිටි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇයගේ දෙමව්පියන්ට පෙන්වා බියවැද්දීම ඇතුළු චෝදනා 03 කට වරද පිළිගත් කාන්තාවකට කුරුණෑගල අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම නියම කර තිබෙනවා.

අවුරුදු විස්සක් (20) වයසැති තරුණයෙක් එම වයසේම සිය පෙම්වතිය සමග තරුණයාගේ නිවස තුලදී ලිංගිකව හැසිරී ඇති අවස්ථාවකදී එය දුටු තරුණයාගේ මව විසින්, තරුණයාව එම ස්ථානයෙන් ඉවත්කර තරුණියගේ පමණක් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඇයගේ දෙමව්පියන්ට පෙන්වා ඇති අතර ඉන් කම්පනයට පත් වූ එම දැරිය විශාදය නැමති මානසික රෝගයට ගොදුරු වී තිබුණා.

පසුව කුරුණෑගල පොලිසියේ කාන්තා කාර්යාංශය විසින් චෝදනා තුනක් (3) යටතේ, අදාල කාන්තාවට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනුකර තිබුණා.

ඒ අයුතු ලෙස සිරකර තබා ගැනීම, අයුතු ඡායාරූප ලබා ගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම, ඇයට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා ත්‍රිත්වයට අදාලවයි.

ඒ අනුව විභාග වූ නඩුවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් අදාළ කාන්තාවට මාස 23 ක සිර දඬුවමක් වසර 10 කට අත්හිටුවා නියම කර ඇති අතර පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් 20,000 ක දඩයක්ද, තෙවන චෝදනාවට රුපියල් 1,500 ක දඩ මුදලක්ද මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවා.

එමෙන්ම, වින්දිත තරුණියට රුපියල් ලක්ෂයක (100,000) වන්දියක් ගෙවන ලෙස අදාල කාන්තාවට නියම කරමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කර ඇත්තේ, තවත් අයකුට මෙවැනි දෙයක් සිදු නොවීමට සමාජයට ආදර්ශයක් ලෙසත්, කාන්තාවක් විසින් සිදු නොකළ යුත්තක් සිදුකර ඇති බවත්, නමුත් මුල් අවස්ථාවේම වරද පිළිගත් බැවින් එම අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම නියම කරන බවයි.

+


මාතරදී දුම්රියේ ගැටී මියගියේ ව්‍යාපාරිකයෙක්

(13.05.2024 – 18:44 +0530 – hirunews.lk/sinhala)

මාතර වෙලේගොඩ දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවූ ව්‍යාපාරිකයෙක්.

දුම්රියක් පැමිණෙන බවට ආලෝක සංඥා හා සීනුව නාද වෙමින් තිබියදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙලෙස එම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴


ගුරුවරු 69 ක් නැගෙනහිර පළාතට බඳවා ගන්නවා

(13.05.2024 – 19:12 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේදී දකුණු පළාතෙන් ගුරුවරු ලෙස බඳවාගත් 69 දෙනකු ගුරුසේවා ව්‍යවස්ථාව යටතේ නැගෙනහිර පළාතට බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින්.

යුද සමයේදී දකුණු පළාතෙන් ගුරුවරු ලෙස බඳවාගත් 69 දෙනකු අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කරන බවත් ඔවුන් තාමත් සිවිල් ආරක්ෂක බලකාය යටතේ කටයුතු කරන බවත් වීරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔවුන් පළාත් සභාව යටතේ ගුරු සේවයට බඳවා ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් කළ ඉල්ලීමකට පිළතුරු ලබා දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මේ බව පැවසුවා ෴


පඩි වැඩිකරන්න බෑ කිව්ව වතු සමාගම්වලට ‘ජීවන්’ගෙන් රතු එළි

(13.05.2024 – 19:52 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසනවා.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700 ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200 කින් ඉහළ දැමීමට වතු සමාගම් කටයුතු කළ බවත් ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් වලට ඇතිබව බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ෴


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා රටට අවාසි සහගතයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

(13.05.2024 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත ණය හිමියන් සමඟ ඇති කරගත් එකඟතා රටට අවාසි සහගත බැවින් එම ගිවිසුමට කිසිලෙසකින් අත්සන් නොතබන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (13) ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

මේ අතර වෙසක් සතියට පෙර විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව අද (13) රැස්වූ නමුත් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කළ මන්ත්‍රීවරුන් රැසක් අද (13) පැමිණ සිටියේ නැහැ ෴


ජපානයෙන් නව රැකියා

(13.05.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරිමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් ලබන ජූලි මාසයේදී මෙරටට හදුන්වා දෙන බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව මෑතකදී අලුතින් එක් කරන ලද ඉදිකිරීම්, ගුවන් තොටුපළ බිම් හැසිරවීම සහ නවාතැන් කර්මාන්තය යන ක්ෂේත්‍ර සමඟින්, ගොඩනැගිලි පිරිසිදු කිරීම් ඇතුලු ක්ෂේත්‍ර හතක (7) කුසලතා පරීක්ෂණ සඳහා ජුනි මස පස්වනදා සිට 12 වනදා දක්වා අයදුම් කළ හැකි බවයි එම කාර්යාලය සඳහන් කළේ.

ජපානය විසින් දැනට මෙරට ශ්‍රමිකයින් 37,000 කට රැකියා අවස්ථා ලබා දී තිබෙනවා ෴


රුසියා රැකියා ජාවාරම මඩලන්න විපක්ෂ නායක රජයට කළ යෝජනාව

(13.05.2024 – 21:44 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ වෙනත් සිවිල් පුරවැසියන් රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියාවේ හමුදා සේවයට යොමු කරන ජාවාරමක් පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා රැසකදී අනාවරණ කළා.

කෙසේවෙතත් එලෙස රුසියානු හමුදාවට බඳවාගත් ශ්‍රී ලාංකිකයින් පිරිස කොතෙක්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර බොහෝ පිරිසකගේ ජීවිත යුදබිමේදී අහිමි වී ඇති බවටත් තොරතුරු වාර්තා වුණා.

අද (13) පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳ අවදානය යොමු වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රජයට යෝජනාවක් කරනු ලැබුවා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ විදේශ අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා රුසියාව වෙත යවා මෙම ගැටලුව සොයාබලා නිසි විසඳුමක් ලබාදිය යුතු බවට රජයට යෝජනා කරන බවයි ෴

+++++++

+++++++

රුසියානු යුද්ධයට ලාංකිකයන් විකුණන මහ මොලකරු උදයංග වීරතුංග ද?

(14.05.2024 – 03:12 +0530 – lankacnews.com)

ලාංකිකයන් රුසියානු යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස අලෙවි කරන ජාවාරමේ මහා මොලකරු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

රුසියානු යුද්ධයට යවා ඇති ලාංකිකයන් නිදහස් කරගැනීම ඉතා කෙටි කලත් තුළ තමන්ට හැකි බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම සැකය මතුවී ඇතැයි ද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *