‘මාතෘ සහේළි’ වැඩසටහන : දරු ප්‍රසූතියේදී ගැබිණි මවට ‘කාන්තා ප්‍රසූත සහායිකාවක්’

‘මාතෘ සහේළි’ වැඩසටහන : දරු ප්‍රසූතියේදී ගැබිණි මවට ‘කාන්තා ප්‍රසූත සහායිකාවක්’


‘මාතෘ සහේළි’ වැඩසටහන : දරු ප්‍රසූතියේදී ගැබිණි මවට ‘කාන්තා ප්‍රසූත සහායිකාවක්’

(13.05.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ලෝක මව්වරුන්ගේ දිනයට සමගාමීව ‘මාතෘ සහේළි’ නමින් නව වැඩසටහනක් හඳුන්වාදීම කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණා.

සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භණී මවගේ සහයට ‘කාන්තා ප්‍රසූති සහයිකාවක’ට ඇය අසල රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

‘ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ’ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ‘මාතෘ සහේළි’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භණී මවකගේ සහයට කාන්තා ප්‍රසූති සහයිකාවකට ඇය අසල රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මෙහිදී කළුබෝවිල ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය මගින් ක්‍රියාත්මක කරන පූර්ව ප්‍රසව සායනය සඳහා QR කේතය භාවිතයෙන් ලියාපදිංචි වීමේ ONLINE ක්‍රමවේදයක් ද හඳුන්වා දුන්නා.

මේ වනවිට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේද, දරු ප්‍රසූතිය සිදුකරන කාන්තාවගේ සැමියාට ඇය අසල රැඳිසිටීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා.

+


සාමාන්‍ය රැකියාවකට රුසියාවට ගිය අයෙක්ව රුසියානු හමුදා සේවයට යොදවලා

(13.05.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය රැකියාවක් අපේක්ෂාවෙන් රුසියාවට ගිය මෙරට විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු රුසියානු හමුදාවේ සේවයට යොදවා ඇතැයි මාවනැල්ලේ පදිංචි ඔහුගේ ඥාතීන් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඔහුව රුසියානු යුද්ධයට බිලි වීමට පෙර යළි මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් මධ්‍යයේ මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ වෙනත් සිවිල් පුරවැසියන් රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියාවේ හමුදා සේවය සඳහා යොමු කිරීම පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා කිහිපයකදී අනාවරණ කළා.

එවැනි තවත් පුවතක් අපට වාර්තා වුණේ මාවනැල්ල – හෙම්මාතගම – වඩුවාවල ගම්මානයෙන්.

වසර 20 ක පමණ කාලයක් මෙරට ආරක්ෂක අංශයේ සේවය කළ 42 හැවිරිදි එස්.ඒ. ලලිත් රෝහණ බණ්ඩාර නමැති විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා මීට මාස තුනකට (3) පමණ පෙර රුසියාවට ගොස් තිබුණේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සේවා නියුක්ති කාර්යාංශය ද දැනුවත් කර තිබුණා.

රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් ගිය ලාංකිකයින් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, ඒ අනුව 011 244 1146 දුරකථන අංකය අමතා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

මේ අතර රුසියා – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මාවනැල්ලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතන හිමිකරු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

+


තාවකාලික පදිංචිකරුවන් 178,600 ගේ තොරතුරු පොලිසිය අතේ

(13.05.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් කුලී නිවාස හෝ කාමරවල රැදී සිටිමින් නීතිවිරෝධී කටයුතුවල යෙදෙන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කළ මෙහෙයුමකදී දිවයින පුරා තාවකාලික පදිංචිකරුවන් 178,600 ගේ තොරතුරු පොලිසිය සොයාගෙන තිබෙනවා.

මේ අනූව දිවයින පුරා කුලී හා බදු පදනම මත පවුල් 37,183 ක පුද්ගලයින් 112,963 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කුලී කාමරවල පවුල් 10,755 කට අයත් පුද්ගලයින් 34,133 ක් සිටින බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර නිවාස, ආයතනවල මුරකරුවන්, ගෘහ සේවක, සාත්තු සේවිකාවන්, ලෙස තාවකාලිකව පදිංචි පුද්ගලයින් 31,517 ක ඇතුළු පුද්ගලයින් 178,600 කට අධික පිරිසකගේ තොරතුරු රැස්කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පසුගිය 11 සහ 12 වැනිදා මෙම තොරතුරු රැස්කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළා.

එක් එක් ග්‍රාම නිළධාරි වසම්වල තාවකාලික පදිංචිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම හා පරීක්ෂා කිරීමේ සිදුකළේ පොලිස් ආඥා පනතේ 76 වගන්තිය යටතේ බවයි පොලිසිය පවසන්නේ ෴


නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙකුට තුවාලයි

(13.05.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, නෙළුම් කුළුණේ ‘බේස් පැනීමේ’ ඉසව්වට (Base Jump) සහභාගි වූ විදේශිකයෙකු ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

එහිදී මෙම ඉසව්වට සහභාගි වූ විදේශිකයා ඉන් ඇද වැටෙන අවස්ථාවේදී පැරෂුටය විවෘත වීම ප්‍රමාද බැවින් ඔහු වහලය මතට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ විදේශිකයා වහා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම ‘බේස් පැනීමේ’ ඉසව්ව (Base Jump) නෙළුම් කුළුණේ දී ඊයේ (12) ආරම්භ වූ අතර එය හෙට (14) දිනයේත් ක්‍රියාත්මකයි ෴

+++++++++++

+


විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

(13.05.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ වැඩබලන මහ ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට පක්ෂයේ කටයුතු කර ගෙන යාමට බාධා කිරීම වළක්වාලමින් කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය අද (13) වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුලු විධායක කාරක සභිකයන් 20 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ නඩුවකට අදාළව තීන්දුව ලබා දෙමින්.

පක්ෂයේ විධායක කාරක සභිකයින් දෙදෙනෙකු (2) වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා විසින් මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහ ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත ඊයේ (12) පත් කර ගැනුණේ කොළඹ පැවති නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදීයි.

කෙසේ වෙතත් තනතුරු රැසකට වාරණ නියෝග පනවා ඇති පසුබිමක කැඳවූ මෙම රැස්වීමේදී ගනු ලැබූ තීරණවලට නීතිය ඉදිරියේ කිසිදු වලංගුභාවයක් නොමැති බව පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන අතර පසුව වැඩබලන සභාපති ලෙස පත්කරගත් අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව ද වාරණ නියෝගයක් කෙරුණා. එමෙන්ම එම පාර්ශ්වයේ වැඩබලන මහලේකම් ලෙස පත්කෙරුණු දුෂ්මන්ත මිත්‍රපාලට ද කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයන් නිකුත් කර තිබෙනවා.

එවන් පසුබිමකයි කඩුවෙල දිසා අධිකරණය විසින් නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ වැඩබලන මහ ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට පක්ෂයේ කටයුතු කර ගෙන යාමට බාධා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ.

එසේම අදාළ නියෝගය මගින් නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයටද පක්ෂයේ කටයුතු සිදු කර ගෙන යාමට බාධා කිරීම ද වළක්වා තිබෙනවා.

+


ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්‍ය ගැටලු‍වක් නෑ – අධ්‍යාපන ඇමති

(13.05.2024 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලු‍කාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍ය ව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩ ව නිසි කලට ලබා දීම මෙන් ම පාසල් වසා තැබීම නිසා අතපසු ව පැවති අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැප වීමෙන් ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමග ම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බව ද සුසිල් ප්‍රේමජයන්ත මෙහි දී සිහිපත් කර තිබුණා.

ඒ අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් ද අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බවයි අමාත්‍යවරයා පේනවා දෙන්නේ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේ දී අභියෝග භාරගත නොහැකි පුද්ගලයන්ට රට භාර නොදෙන ලෙසයි ෴


විදුලිබල පනත් කෙටුම්පතේ නීත්‍යනුකූලභාවය අධිකරණයේ තීරණය රහසේ කතානයකට

(13.05.2024 – 15:57 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නීත්‍යානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

පුරා දින තුනක් (3) තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද (13) දින අවසන් කෙරුණු අතර අදාල පනත් කෙටුම් පතේ නීත්‍යානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානයකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

ලංකා විදුලි සේවක සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව 14 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා

අදාල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරුවෝ පවසනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴


ත්‍රිවිධ හමුදාවේ සෙබළු 13,939 ක් සේවයෙන් ඉවතට

(13.05.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරෂක අමාත්‍යංශය විසින් ලබාදුන් පොදුසමා කාළය තුළදී හිටපු යුද, ගුවන් හා නාවික සෙබළු 13,939 ක් බාරවී තිබෙනවා.

මේ අනූව යුද හමුදාවේ 12,066 ක් නාවික හමුදාවේ 1,101 ක් හා ගුවන් හමුදාවේ 772 ක් වශයෙන් ඉවත්කළ බවයි ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු ‘හිරු නිවුස්’ වෙත පැවසුවේ.

මෙම පොදුසමා කාලය ලබන 20 වැනිදා අවසන් කෙරෙන බවත් යළි කිසිසේත්ම දීර්ඝ නොකරන බවද යුද හමුදාව පවසනවා.

මේ අතර 2019 වසරේ සිට මේ වසරේ මැයි 11 දක්වා 25,000 ක පමණ පිරිසක් යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වී තිබෙන බව යුද හමුදාව පැවසුවා ෴


සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෝෂ සහගත ප්‍රශ්නවලට ‘නිදහස් ලකුණු’

(13.05.2024 – 17:29 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ, දෝෂ සහිත ප්‍රශ්න සඳහා පමණක් නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ප්‍රශ්ණ කොපමණ ප්‍රමාණයකට නිදහස් ලකුණු ලබා දෙනවාද යන්න
තවමත් සාකච්ඡා මටටමේ පවතින බවයි.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය වුණා.

අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ‘අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්’ට බාහිරව සකස් කර ඇති බවටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *