නිදි ඇඳේ දී සැමියා ඝාතනය කර මලසිරුර වැවට දමලා

නිදි ඇඳේ දී සැමියා ඝාතනය කර මලසිරුර වැවට දමලා


නිදි ඇඳේ දී සැමියා ඝාතනය කර මලසිරුර වැවට දමලා

(13.05.2024 – 07:20 +0530 – hirunews.lk/sinhala)

නිවසේ නිදාගෙන සිටි සිය සැමියා ඝාතනය කර එම සිරුර රාත්‍රියේම කර මත තබාගෙන ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිඳක්ව සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉහළ ගිරිබාව, හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නමැති තිස් දෙහැවිරිදි (32) දෙදරු පියෙක්.

සැකකාර කාන්තාව විසින් සැමියාගේ ගෙල සිරිකර අනතුරුව එම දේහය කර මත තබාගෙන මීටර් 150 ක පමණ දුර ගොස් තිබෙන බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ ෴


අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් (1) අත්අඩංගුවට

(13.05.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ දී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීමදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT) කිලෝ 03, ග්‍රෑම් 145 ක්, RPG උණ්ඩ කොටස් 08 ක් සහ 60mm මෝටාර් උණ්ඩ කොටස් 12 ක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 05 වන කොට්ඨාසය, මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 40 පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තවද මෙම පුපුරණ ද්‍රව්‍ය මෙම පුද්ගලයා හට කුමන ආකාරයකින් ලැබුනේද, යන්න සහ කුමන අරමුණක් සදහා සදහා සන්තකයේ තබාගෙන සිටියේද, යන්න පිළිබද විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කයිට්ස් පොලිසියේ නිලධාරීන් විමර්ශන සිදුකරන බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴


අනුරාධපුරයේ SPA වැඩිවෙලා

(13.05.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ මාස කිහිපයක් තුළ SPA නමින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන වැඩි වී තිබෙනවා.

එම ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ පාසල් දරුවන් ද ගොදුරු කර ගැනීමට එම මධ්‍යස්ථානවල හිමිකරුවන් මාන බාලමින් සිටින බවයි.

නිසි නියාමනයක් සිදු නොකිරීම හේතුවෙන් මෙම මධ්‍යස්ථාන ගම්වලට ගමන් කරන අතුරු මාර්ගවලට ද පවත්වාගෙන යන බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශවාසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ නියාමනය කිරීමට නිසි නීතියක් ක්‍රියාත්මක කරන තුරු මේ තත්ත්වය වර්ධනය විය හැකි බවයි ෴


“සාමාන්‍ය පෙළ විභාගය ගැන අනියත බියක් ඇති කරගන්න එපා” විභාග කොමසාරිස් කියයි

(13.05.2024 – 08:50 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ අද (13) පැවැත්වෙන ගණිත ප්‍රශ්න පත්‍රය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනිකුත් විෂයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළව පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය 09 වනදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය whatsapp සමාජ මාධ්‍ය හරහා සංසරණය මස මේ සම්බන්ධයෙන් මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනවලට අදාළ විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් වූ ගුරුවරියක්ද ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධියට අදාළව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු ද ඊයේ (12) උදෑසන මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත්වී ඇති අතර මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනා එල්ල වුණා ෴


මළ ගෙදරදී විදුලි සැර වැදී අයෙක් මරුට

(13.05.2024 – 08:58 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී කලගෙඩිහේන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී එම ස්ථානයේ සිටි පස් දෙනෙකුට (5) පමණ විදුලි සැර වැදී ඇති අතර, එයින් එක් (1) අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

විදුලි සැර වැදීමෙන් අනතුරට ලක් වූ අනෙක් සිව් දෙනා (4) වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් කරුණානායක නැමැත්තෙක් ෴


මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 14 ක් අල්ලයි

(13.05.2024 – 09:35 +0530 – hirunews.lk/sinhala)

පන්නිපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මුදල් ඔට්ටුවට අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්වල පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

මහරගම – හයිලෙවල් මාර්ගය අසල අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනය කරන බව මහරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකළ වැටලීමේදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොවුන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගෙන පසුව විවිධ ප්‍රදේශවල සිට මෙම යතුරුපැදි ධාවන තරග පවත්වන බවටයි ෴


අඩු ආදායම්ලාභීන්ට සහල් ලබාදීමේ දෙවන (2) අදියර මේ මස අගදී

(13.05.2024 – 10:06 +0530 – hirunews.lk/sinhala)

අඩු අදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා සහල් ලබා දීමේ දෙවන (2) අදියර මේ මස අගදී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබාදීමට නියමිතයි.

නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනේ පළමු (1) අදියර පසුගිය මාසයේදී ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 176,000 ක් නැවත සකස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් වූ සහල් මෝලක් ඊයේ (12) වැටලීමට අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පියවර ගත්තා ෴


රුසියාවට යැවූ ශ්‍රී ලාංකිකයන් ගැන පැමිණිලි ඉහළට

(13.05.2024 – 10:24 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ප්‍රවෘත්ති’ මගින් පළමුවරට අනාවරණ කළ රුසියා – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, ඒ අනුව 011 244 1146 දුරකථන අංකය අමතා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

මේ අතර රුසියා – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මාවනැල්ලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබූ රැකියා නියෝජිතායතන හිමිකරු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස රුසියාවේ යුද පෙරමුණට යවා ඇති ශ්‍රී ලාංකිකයින් අතරින් 300 කට අධික පිරිසක් තවමත් යුද පෙරමුණේ සිටින බවත් 200 කට ආසන්න පිරිසක් කඳවුරක පුහුණුව ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පසුගියදා සඳහන් කළා.

එමෙන්ම රුසියා – යුක්‍රේන යුද සේවය සඳහා මෙරටින් පිටත්වා ගිය ශ‍‍්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴


මධ්‍යම පළාතේ රෝහල්වල අද (13) සෞඛ්‍ය වර්ජනයක්

(13.05.2024 – 10:27 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් අද (13) වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින්.

වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව ඉහළ නැංවු අයුරින් තම දීමනා ද වැඩිකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 09 වනදා උදෑසන 8 සිට පැය 4 ක වර්ජනයක් දියත් කළා.

ඒ හේතුවෙන් එම පළාතේ රෝහල් රැසකට පැමිණි රෝගින් අපහසුතාවයට පත්කර, වර්ජනය නිසා රෝහල් කටයුතුවලටද බාධා එල්ල වී තිබුණා ෴

+++++++++

+


ආර්ථික අමාරුකම් නිසා වසරකට හික්ෂූන් 2000 ක් සිවුරු හැරලා

(13.05.2024 – 10:55 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අපහසුතාවන් හේතුකොට ගෙන වසරකට උපසම්පදා භික්ෂූන් 2000 කට අධික සංඛ්‍යාවක් උපැවිදි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා මානෙල්වත්ත නාගානන්ද විහාරස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින්.

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ෴


ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්‍යාලවලින් පමණයි

(13.05.2024 – 11:13 +0530 – hirunews.lk/sinhala)

පාසල්වලට ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීම විද්‍යාපීඨවලින් සිදුකරන බවත් නොඑසේ නම් ගුරු විද්‍යාල හෝ උපාධිධාරී සුදුසුකම් ලත් අයගෙන් පමණක් බඳවාගන්නා බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (13) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඇය විමසා සිටියේ ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් බඳවාගෙන තිබූ 3000 ක පමණ පිරිසක් ස්ථීර කිරීමට වැඩ පිළිවෙලක් නොමැතිකම සම්බන්ධයෙන්.

එම බඳවාගෙන ඇති පිරිස අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ පිරිසක් බවද ඔවුන්ට ඉහත කී සුදුසුකම් සපුරා නැතැයිද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා ෴


සා.පෙළ විභාග පැවැත්වෙන නුගේගොඩ පාසල් ඉදිරිපිට විරෝධතා තහනම්

(13.05.2024 – 11:35 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ සහ ඒ අවට විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මිරිහාන මූලස්ථාන පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව අනුලා විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය සහ සුජාතා බාලිකා විද්‍යාලය යන පාසල් ඉදිරිපිටයි මෙලෙස විරෝධතා තහනම් කර ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අනධ්‍යයන කාර්ය මණ්ඩල හා සමග ඒකාබද්ධව එම විශ්වවිද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කෙරෙන විරෝධතා පා ගමන නුගේගොඩ නගර මධ්‍යය දක්වා පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ. එහිදී උද්ඝෝෂකයන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන අතර, වීථි නාට්‍ය ආදිය රඟ දැක්වීමේ සූදානමක් පවතින බවද අධිකරණය හමුවේ වාර්තාකර තිබුණා.

ඒ අනුව අදාළ පාසල්වල විභාග මධ්‍යස්ථාන තුළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දැඩි අහසුතවකට පත්විය හැකි බැවින් මෙම නියෝගය නිකුත් කරන බවයි නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ සඳහන් කළේ.

මේ අතර, දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු දීමේ පටිපාටිය සකස් කිරීමේදී ප්‍රශ්ණ පත්‍රය සකස් කර පිරිස් තීරණයක් ගනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඒ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයේ ගැටලු‍ සහගත තත්ත්වය සම්බන්ධයෙන් රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්ණ කළ අවස්ථාවේදියි ෴

+++++++++

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවට ජල ප්‍රහාර‍යක්

(13.05.2024 – 12:28 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල පොල්දූව හන්දිය අසල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පිරිසක් විරෝධතාවක නිරත වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

+


දේවගැති ජෙරොම් ගැන සිදුකළ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණය ඉල්ලයි

(13.05.2024 – 11:45 +0530 – hirunews.lk/sinhala)

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක (2) තුළ ගොණු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(13) නීතිපතිවරයාට නියම කළා.

ඒ බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *