ලාල්කාන්තට අමතක වූ ජ.වි.පෙ. අනන්‍යතාවය – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින්

ලාල්කාන්තට අමතක වූ ජ.වි.පෙ. අනන්‍යතාවය – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින්


ලාල්කාන්තට අමතක වූ ජ.වි.පෙ. අනන්‍යතාවය – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින්

(13.05.2024 – lankaleader.com)

මැයි දින වේදිකාව මත සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක අන්තර්ගතය විකෘති කරමින් මේ දිනවල විවිධ දේශපාලන සංවාද මණ්ඩප ගොඩනැගෙන ආකාරය දැක ගත හැක. ඒ තුළ ඊට පෙර තවත් ජවිපෙ ප්‍රබලයකු වූ නලින් හේවගේ මහතා රූපවාහිනී සංවාදයකදී සිදු කළ ප්‍රකාශයකටද විවිධ අර්ථකථනයන් ලබාදෙන ආකාරය දැකගත හැක. නමුත් නලින් හේවගේ වැනි 1989 වකවානුවේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු පුද්ගලික අත්දැකීම් අඩු අයෙකුගේ ප්‍රකාශයක් සහ ලාල්කාන්ත වැනි යම් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සමාන තලයක තබා කියවා ගැනීම වරදක් බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව නලින් හේවගේ මහතාගේ ප්‍රකාශය විවාදයකදී බුරාගෙන පනින ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා එල්ල කරනු ලැබූ වාග් වෙඩි ප්‍රහාරයක් සේ සලකා බැහැර කළ නොහැක. ඔහුට අනුව එදා ජවිපෙ විසින් ‘කැන්ගරු උසාවි’ මගින් නඩු අසා ස්ත්‍රී දූෂකයන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ට මරණ දඬුවම නියම කර ඇත. ඒ අනුව ලාල්කාන්තගේ ‘ගමට අධිකරණ බලය ලබාදීම’ නැමැති සංකල්පය එම සන්දර්භය මත තබා විග්‍රහ කිරීමේදී අනාගතයේදී ගම්වල ජ.වි.පෙ. සාමාජිකයින් නලින් හේවගේගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ඉඩ ඇතැයි භීතියක් මැවීමට ඉඩක් විවර වේ. කෙසේ වෙතත් ජ.වි.පෙ. අතීතයට සාධාරණය ඉටු කිරීම සඳහා, ‘ජාතික ජන බලවේගය’ට එම අතීතය ප්‍රශ්නයක් වුවද, යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමේ වගකීමක් මෙම ලියුම්කරුට ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා විදේශීය රටකදී 89 සිදුවීම් පිළිබඳව සැබවින්ම කණගාටුව ප්‍රකාශ කළා නම් එහි වරදක් නැති බව පළමුවෙන්ම කිව යුතුය. එම වකවානුවේදී සිදුවූ ඝාතන රැල්ල පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට ඊට අදාළ කණගාටුවක් ඇති නොවන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැක. නමුත් ඔහු විසින් ඊට අදාළව සමාව ඉල්ලා සිටියා නම් එය බලවත් වරදකි. කණගාටුව ප්‍රකාශ කිරීමේ දිගුවක් ලෙස සමාව ඉල්ලා සිටීමට පොදු බලපෑමක් ඇත්නම් ඊට පෙර තම මාමා විසින් ආරම්භ කළ සහ තමා විසින් උච්ච ස්ථානයකට ඔසවා තැබූ ‘ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය’ පිළිබඳව පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාව ඉල්ලා සිටිය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් ‘බටලන්ද සිදුවීම්’ පිළිබඳ සොයා බැලීම සඳහා 1995 දී පත් කළ ‘ජනාධිපති කොමිසමේ’ වාර්තාව අනුව ‘බටලන්ද වධකාගාරය’ ආශ්‍රිතව සිදුවූ අපරාධ ‘මිනිස් සංහතියට එරෙහිව සිදුවූ අපරාධ’ ලෙස සලකා නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුය.

එදා 1987 ජුලි 28 දින ‘ඉන්දු ලංකා ගිවිසුම’ට එරෙහිව පිටකොටුවෙන් ආරම්භ කළ විරෝධය මර්ධනය කිරීම සඳහා එදින අහිංසක නිරායුද පුද්ගලයින් 140 දෙනෙකු ඝාතනය කෙරුණි. එම ඝාතනවලට පොලිසියට අමතරව බාහිර මැර පිරිස් ද යොදාගත් බවට චෝදනා එල්ල විය. ඊට පෙර 1983 සිට බොරු චෝදනා එල්ල කරමින් ජවිපෙ තහනම් කර මර්ධනයට යටත් කළද ඊට පිළිතුරු ලෙස හෙවත් මර්ධනයට ප්‍රති අවියක් ලෙස හෝ ජවිපෙ විසින් ප්‍රචණ්ඩත්වය හෝ ඝාතන යොදාගත්තේ නැත. ‘ඉන්දු ලංකා ගිවිසුම’ අනුව ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා පිහිටුවීම මගින් රට බෙදීමට එරෙහිව දියත් කළ දේශපාලන ව්‍යාපාරයට ජ.වි.පෙ. විසින් ප්‍රචණ්ඩත්වය යම් මාත්‍රාවකට එකතු කරන්නේ දේශපාලන අවියක් ලෙසය.

දේශපාලන ජයග්‍රහණ සඳහා ප්‍රචණ්ඩත්වය සුළු මාත්‍රාවකින් යොදාගැනීම පිළිබඳව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. එවැනි උත්සාහයන් සාර්ථක වීම පිළිබඳව කෙසේ වෙතත් මහා ඛේදවාචක බවට පත්වීම පිළිබඳව බොහෝ උදාහරණ ඇත. එල්සැල්වදෝරයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ දේ ඊට වසර කිහිපයකට පෙර ඒ ආකාරයටම සිදු වූ ආකාරය පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සුප්‍රසිද්ධ Witness to War by Dr. Charles Clements නම් වූ ග්‍රන්ථය මගින් ඉදිරිපත් කර ඇත. ඊට අනුව ‘වාමාංශික ව්‍යාපාරය’ විසින් ‘රාජ්‍ය ප්‍රචණ්ඩත්වය’ට එරෙහිව මහජනයා විසින් ප්‍රචණ්ඩත්වය ප්‍රති අවියක් ලෙස කුමන මාත්‍රාවකින් යොදා ගත්තද එම ක්‍රියාවලිය චක්‍රීයව වර්ධනය වන විශම චක්‍රයක් බවට පත්වේ. එම ක්‍රියාවලිය තුළ ‘රාජ්‍ය ත්‍රස්තවාදය’ සාධාරණිකරණය කෙරෙන අතර විවිධ සමාජ විරෝධී බලවේගවලටද පවතින තත්වය යොදාගනිමින් තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට අවකාශය නිර්මාණය වේ.

කෙසේ වෙතත් එවැනි ඛේදවාචකයක් පිළිබඳව ප්‍රත්‍යාවලෝකනය කිරීමේදී වරදක් සිදුවී ඇති බව පිළිගැනීම මූලික කොන්දේසියකි. දෙවැන්න දැනුම්වත්ව ඊට දායක වූ ප්‍රමාණය සහ යම් තත්ත්වයන් වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කුමක්ද යන්න පිළිබඳ විමසා බැලීමයි. මෙම ලියුම්කරු 1983 සිට 2008 දක්වා ඉතා සමීපව සහ 2008 සිට මරණය තෙක් දුරස්ව සෝමවංශ අමරසිංහ සහෝදරයා දේශපාලන වශයෙන් මෙන්ම පුද්ගලිකවද ඇසුරු කර ඇත. එසේම රෝහණ විජේවීර සහෝදරයා 1984 සිට 1989 දී අත්අඩංගුවට පත්වීමට මාස කිහිපයකට පෙර කාලය දක්වා ඉතා සමීපව ඇසුරු කර ඇත. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන සහ පුද්ගලික මනෝභාවයන් පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයකින් යුක්තව සහ වගකීමෙන් යුක්තව සඳහන් කළ හැක්කේ ඔවුන් දෙපළ නායකයින් ලෙස එදා රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බලවත් සිත් වේදනාවකින් සහ කම්පනයකින් යුක්තව ක්‍රියාකළ බවය. යම් විශේෂිත සිදුවීම් පිළිබඳව ඔවුන් පුද්ගලිකව දුකට පත්වූ ආකාරය පිළිබඳව අත්දැකීම් රාශියක් මෙම ලියුම්කරුට ඉදිරිපත් කළ හැක.

ඊට අදාලව හොඳම උදාහරණය සපයන්නේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් වගකීම බාරගත් ‘කටුනායක ගුවන් හමුදා කඳවුර’ට එල්ල කළ ප්‍රහාරයේදී ගුවන් හමුදා බටයකු මරණයට පත්වීමේ සිදුවීමය. එම සිදුවීම පිළිබඳව ඔවුන් පුද්ගලිකවද කම්පාවට පත්වූ අතර ප්‍රසිද්ධියේ මහජනයාට කණගාටුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ මගින් අභ්‍යන්තරවද ප්‍රවේසම් විය යුතු ආකාරය පිළිබඳව මානසික බලපෑමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත් එල්සැල්වදෝරයේ ඛේදවාචකය ශ්‍රී ලංකාවේ ඛේදවාචකය සමඟ සංසන්දනය කිරීමේදී ජාතියක් ලෙස අප විසින් ගෙවා ඇති වන්දියට සාපේක්ෂව ලැබී ඇති ප්‍රතිලාභය සැලකිල්ලට ගත යුතුය. නමුත් බොහෝ අඳබාල දේශපාලඥයින් ප්‍රකාශ කරන්නේ රෝහණ විජේවීර තම ජීවිතය සහ සාමාජිකයන් 60,000 කගේ ජීවිත පූජාකර ලබා ගත් ප්‍රතිලාභය කුමක්ද යනුවෙනි. ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සාකච්ඡාවට ගත යුත්තේ ඊට අදාළ සංදර්භය තුළය.

එදා 1987 දී ‘ඉන්දු ලංකා ගිවිසුම’ අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවන්නේ අවසානයේදී ‘රට බෙදා වෙන් කිරීමේ අරමුණු සහිතව’ බව මේ වන විට එදාටත් වඩා හොඳින් පැහැදිලි වී ඇත. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නීති උපදෙස් ලබාගත් එච්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර වැනි විද්වතුන් මෙන්ම හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා පසුකාලීනව එළිදරව් කළ ආකාරයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස්වන්නේ ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක්’ නිර්මාණය කිරීම සඳහාය. එය ‘බෙදුම්වාදී මාර්ග සිතියමේ’ පළමු (1) පියවර වන අතර ජාත්‍යන්තරය ද මැදිහත් වන ගැටුම් යොදා ගනිමින් ‘ෆෙඩරල් රාජ්‍යය’ ‘වෙනම රාජ්‍යයක්’ බවට පත් කිරීමේ ක්‍රියාවලිය දෙවන (2) පියවර ලෙස සැලකේ. ලාල්කාන්ත සහෝදරයා මැයි දින වේදිකාවේදී සුමන්දිරන් මහත්මයලා සතුටු කිරීම සඳහා ‘ව්‍යවස්ථාදායක බලය’ සහ ‘විධායකය බලය’ පමණක් නොව ‘අධිකරණ බලය’ ද ඇතුළත් වන ආකාරයට බලය බෙදීම තමාගේ ප්‍රතිපත්තිය බව සඳහන් කිරීම මගින් අදහස් වන්නේ කුමක්ද? ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනී සිටින්නේ ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක’ ආකාරයට බලය බෙදීම සඳහා බව ඉතා පැහැදිලිය.

ඒ ආකාරයට ‘පරමාධිපත්‍යයේ බලය බෙදීම’ යනු ‘ජාත්‍යන්තර නීතිය’ට අනුව රටක් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළ ‘ජාත්‍යන්තර අධිකරණය’ විසින් සැලකිල්ලට ගන්නා මූලික කොන්දේසියකි. දෙවන ලෝක යුද්ධයට පසුව ජාත්‍යන්තර මැදිහත්වීම මත බෙදාවෙන්කර ඇති රටවල් 26 ක් අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ පළමු (1) පියවර ලෙස ‘එම රටේ ව්‍යවස්ථාව’ මගින් හෝ ‘ජාත්‍යන්තර ගිවිසුමක්’ මගින් ‘පරමාධිපත්‍යයේ බලය බෙදීයන ආකාරයට ෆෙඩරල් ලක්ෂණ සහිත පාලන බල ප්‍රදේශයක සීමා ලකුණු කිරීම’ය. ශ්‍රී ලංකාවේදී ’13 වන සංශෝධනය’ මගින් උත්සාහ කළ දේ සුඩානයේ දී සිදු කරන්නේ ‘ජාත්‍යන්තර ගිවිසුමක් තුළින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීම’ මගිනි. ශ්‍රී ලංකාවේදී 2002 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රමවේද දෙකම (2) දෙමුහුන් කිරීම මගින් බෙදුම්වාදීන්ගේ මනදොල සැපරීමට උත්සාහ කළ බවද අමතක නොකළ යුතුය.

ඒ ආකාරයට 1987 ජුලි මාසයේදී රජීව් ගාන්ධි විසින් ප්‍රභාකරන්ට පොරොන්දු වන්නේ ‘අනාගත ඊළම නිර්මාණය කිරීම සඳහා ෆෙඩරල් පාලනයක් ලබා දෙන බව’ට ය. ඔහු ආයුධ බිම තැබීමට එකඟ වන්නේ ඊට අනුවය. නමුත් නොවැම්බර් මාසය වන විට ජවිපෙ විසින් එම ක්‍රියාවලියට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතාවයන් නිසා ’13 වැනි සංශෝධනය’ සඳහා ඉන්දියාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල බරපතල වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවිය. ඊට හේතු වූයේ ‘පූර්ණ පෙඩරල් පාලනයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක්’ සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වීමය. එම ප්‍රචණ්ඩ විරෝධය තුළ ජනමත විචාරණය පරාජය වීමේ ප්‍රබල හැකියාවක් තිබුණු අතර එසේ වූවා නම් සමස්ත බෙදුම්වාදී මාර්ග සිතියම හකුලා ගැනීමට සිදුවේ. ඊට අමතරව මධ්‍යගත ප්‍රබල ධනේෂ්වර රාජ්‍යයක ඒකාධිපතියා වීමට සිහින දකිමින් සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට බලය බෙදීමට අදාළව පුද්ගලිකව එඟකතාවයක් නොතිබුණු බව ඉහත සඳහන් කළ විද්වතුන් විසින් එළිදරව් කරන්නට යෙදුණි.

ඒ අනුව ජවිපෙ විරෝධය තුළ ඉන්දියාවට ‘අතරමැදි සමාදානය’කට එකඟවීමට සිදුවූ අතර ‘පූර්ණ ෆෙඩරල් පාලනය බිහිකිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පැනවීම සඳහා එකඟතාවය පළකිරීමට’ සිදුවිය. ඒ අනුව සමගාමී ලැයිස්තුව ඇතුල් කිරීම, මුදල් සහ ඉඩම් බලය සීමා කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල සහ ජාතික ප්‍රතිපත්ති වලට අදාළ බලය මධ්‍යයම ආණ්ඩුව සතුවීම ආදී වශයෙන් එවැනි බාධක 5 ක් හඳුනාගත හැක. එහිදී ඉන්දියාව අඩියක් පිටුපසට තැබූ බව පෙනුණත් ඔවුන්ගේ වෙනස් වූ උපායමාර්ගික ප්‍රවේශයට අනුව ’13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම’ හෙවත් ‘පූර්ණ ෆෙඩරල් පාලනයක් බිහි කිරීම’ ද්විතීක අවස්ථාවක් බවට පත් කෙරිනි. පසුගිය කාලයේදී ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බාධක ඉවත් කිරීම හරහා ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන්ම බලත්ම කිරීම හෝ පරිපාලන වශයෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීම මගින් 13 බලාත්මක කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් එල්ලවන්නේ එම ද්විතීක උපාය මාර්ගයට අනුවය.

එසේ වුවත් ප්‍රභාකරන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඔහු නැවත ආයුධ අතට ගැනීම සාධාරණීකරණය විය. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේදී එම ආයුධ බලය කේවල් කිරීමේ අවියක් ලෙස යොදා ගැනීමට අවකාශය ලැබුණි. එහිදී පසුකාලීනව ‘ප්‍රභාකරන් නැති ඊළමක්’ බිහි කිරීම දක්වා ඉන්දියාවේ උපායමාර්ගය තුළ වෙනස්කම් සිදුවුවද බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ මූලික උපාය මාර්ගික ප්‍රවේශය වෙනස් වූයේ නැත. අද වන විට එහි අවසාන අරමුණ එනම්, ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීම’ සහ ඉන් පසුව ‘ඊළම නිර්මාණය කර ඈදා ගැනීම මගින් 30 වැනි ප්‍රාන්තය නිර්මාණය කිරීම’ට අදාල ක්‍රියාවලියේ හැඩතල පැහැදිලිව හඳුනාගත හැක.

ඒ සමස්ත පැහැදිලි කිරීම මගින් ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් දියත් කළ ප්‍රචණ්ඩ විරෝධය සහ ඒ සමග බැඳුණු ජීවිත පරිත්‍යාගය නිසා එදා 1987 දී ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම’ තුළින් ‘බෙදුම්වාදී මාර්ග සිතියම’ තීරණාත්මක පසුබෑමකට ලක්වූ බව තේරුම් ගත හැක. එසේ නොමැති තත්ත්වයක් යටතේ මේ වන විට එසේ නිර්මාණය කිරීමට නියමිත වූ ‘පූර්ණ ෆෙඩරල් රාජය්‍ය’ බෙදී වෙන් වී අප ජාතියක් ලෙස එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය වේ. එසේ වුවානම් එදා සිදු කළ පරිත්‍යාගයට වඩා මහා විනාශයකින් වන්දි ගෙවීමට සිදුවන බව ඉතා පැහැදිලිය. අද සුඩානයට අත් වූ ඉරණම දෙස බැලීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ. සුඩානයට අත් වූ ඉරණම එනම් 2002 දී අප රටේ නළලේ කෙටීමට උත්සාහ කළ ඉරණම දෙස බැලීමේදී ද එදා ජවිපෙ 1988-89 කාලයේදී සිදු කළ පරිත්‍යාග වල වැදගත්කම තවදුරටත් අවධාරණයවේ.

එදා ඒ මහා විනාශයට පසුව ‘ෆීනික්ස් පක්ෂියා’ සේ 1994 දී ජවිපෙ නැවත නැගීසිටීමෙන් පසුව බෙදුම්වාදයට අදාළ රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් හිස් මුදුනේ තබාගෙන කටයුතු කරන්නේ අතීතයේ සිදු කළ පරිත්‍යාගයන්ගේ බරපතළකම සහ වැදගත්කම නිසාය. එම වන්දියේ තරම අනුව එම පක්ෂයට බෙදුම්වාදයට අදාළ ස්ථාවරය වෙනස් කිරීමේ හැකියාවක් නැත. ඒ අකාරයට ජවිපෙ 2002 දී රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් සහ පරිත්‍යාග හිස මත තබාගෙන කටයුතු කළ නිසා ඔවුන්ට සුඩානයට සිදු කළ විපත එනම් ‘ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය’ පරාජයට පත් කිරීමට හැකි විය. එසේ නොකළා නම් අද සූඩානයේ වැසියන් ගෙවන ආකාරයට අප රටේ වැසියන්ට ගෙවීමට සිදුවන වන්දිය 1988-89 කාලයේදී ගෙවූ වන්දියට වඩා සිය දහස් ගුණයකින් බරපතල වන බවට කිසිදු සැකයක් නැත. අප රටේ වසර 2000 කට අධික කාලයක් ආක්‍රමණ 20 ක් පරාජය කර ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා රට වැසියන් ලක්ෂ ගණනක් සිය ජීවිත පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ භූ දේශපාලන පිහිටීම අනුව, ගෝලීය බලතුලනයේ මහා වෙනසක් සිදු නොවන්නේනම්, එම තත්වය ඉදිරියටත් එසේම පවතිනු ඇත.

ඒ අනුව දැන් සුමන්තිරන්ලා කිසි දිනක ලබා නොදෙන ඡන්ද කුට්ටියක් දෙස බලාගෙන ලාල්කාන්තලා තම ඓතිහාසික දේශපාලන න්‍යායාත්මක ස්ථාවරය දියාරු කිරීම මගින් රටක් ලෙස අප ගෙවා ඇති වන්දිය සහ පරිත්‍යාග සියල්ල අවතක්සේරු වේ. ඊට අමතරව ඔහු විසින් 60,000 ක් වූ තම අතීත සඟයින් පමණක් නොව ඉහත සඳහන් කළ පරම්පරා ගණනාවක මුතුන් මිත්තන් ද ඉතා ගුණමකු ලෙස පාවාදෙන බව පැහැදිළිය. ඒ සියල්ල මගින් ‘ජාතික ජනබලවේගයේ’ යම් නායකයින් සහ ‘අධිරාජ්‍යවාදී බලවේග’ බලවත් සතුටට පත්විය හැකි වුවත් අප රටේ ජනතාව දුකට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බව ඉතිහාසයට සාධාරණය ඉටු කිරීම සඳහා ඉතා කණගාටුවෙන් යුතුව මෙසේ ලියා තබමි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

++++++++++++

අනුරලා හංගගෙන ඉන්න කතාව ලාල්කාන්තගේ කටින් එළියට පැන්නා | ලාල්කාන්තගේ කතාවට විමල් දුන් සුපිරි පිළිතුර (13.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *