ජීවය දුන් වෙදදුරු බලන්න වසර 15 කට පසු පැමිණි යාපනයේ දෙමළ පුතා – වෛද්‍යවරයා කියන පුදුම හිතෙන කතාව

ජීවය දුන් වෙදදුරු බලන්න වසර 15 කට පසු පැමිණි යාපනයේ දෙමළ පුතා – වෛද්‍යවරයා කියන පුදුම හිතෙන කතාව


ජීවය දුන් වෙදදුරු බලන්න වසර 15 කට පසු පැමිණි යාපනයේ දෙමළ පුතා – වෛද්‍යවරයා කියන පුදුම හිතෙන කතාව

(12.05.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ශල්‍යකර්මයකට භාජනය කළ රෝගියෙක් වසර 15 කට පසු එම ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා මුණ ගැසීමට පැමිණි පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේහි ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය චන්දිම සූරියආරච්චි නම් වෛද්‍යවරයා මෙසේ මුණ ගැසීමට පැමිණ ඇත්තේ වර්තමානයේ යාපනයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ඉගෙන ගන්නා සිසුවෙක්.

මෙම දරුවා එම බිහිසුණු අත්දැකීමට මුහුණ දෙද්දී දින 07 ක කුඩා දරුවෙක්.

එදවස 2009 ජනවාර්ගික යුද්ධයේ අවසන් අදියරේදී මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්වයික්කාල් ප්‍රදේශයේ යුද මුක්ත කලාපයේ කොටු වූ දෙමළ සිවිල් වැසියන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමක් ආරම්භ කරමින් පැවතියා.

එහි දී ‘තරුණ එල්ටීටීඊ දෙමළ යුවළක්’ වූ මෙම දරුවන්ගේ දෙමාපියන් තම අලුත උපන් බිළිඳා සමඟ පැන යාමට තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේම එල්ටීටීඊ සටන්කාමීන් ඔවුන්ට අනුකම්පා විරහිතව වෙඩි තැබූ අතර මවට සහ ඇගේ දින 7 ක් වයසැති මෙම අලුත උපන් බිළිඳාට තුවාල කර ඔවුන් වෙන් කර තිබෙනවා.

මවගේ හිසට වෙඩි වැදී ඇති අතර තුවක්කුවකින් එල්ල වූ පහරක් හේතුවෙන් ඇගේ නාසය සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා.

දරුවා ගුවන් මගින් රැගෙන ගොස් රිජ්වේ ආර්යා ළමා රෝහලේහි මෙම වෛද්‍යවරයාගේ වාට්ටුවට ඇතුලත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ සිදුවීම පිළිබඳව එම වෛද්‍යවරයා සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසින් :

“ඒ අවස්ථාවේ දරුවාගේ හිසට සහ උදරයට බරපතළ තුවාල සිදුවෙලා තිබුණා. එක් උණ්ඩයක් ඉදිරියෙන් ඇතුළු වී මුත්‍රාශය හරහා ගොස් පිටුපසින් පිටකොන්ද අසලින් පිටව ගොස් තිබූ අතර බබාට ලේ ගොඩක් ගලා ගොස් තිබූ නිසා ඔහුගේ දිවි ගලවා ගැනීමට හැකිවේ යැයි අපි හිතුවේ නෑ. ඉදිරි මාස තුනක (3) කාලය තුළ මම ඔහුට සැත්කම් කිහිපයක් කළ අතර ඔහු නැවත යථා තත්ත්වයට පත් වුණා. මගේ කාර්ය මණ්ඩලය ඔහුව ඉතා හොඳින් රැකබලා ගත් අතර, ඒ වන විට මගේ කනිෂ්ඨ වෛද්‍යවරියක් ඇයට අලුත උපන් බිළිඳෙකු සිටි බැවින් මෙම රෝගී දරුවාට මව්කිරි දීමට ඇය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. භාරකරුවෙකු නොමැතිව තනි යහනක තනිව සිටි ඉතා හුරතල් මනරම් ළදරුවෙකු වූ බැවින් රෝගියා බැලීමට පැමිණෙන වේලාවන්හිදී විශේෂයෙන් ඔහුව නිරීක්ෂණය කිරීමට කාර්ය මණ්ඩලයක් වෙන් කිරීමට මට සිදු වුණා. පොලිසියට දෙමාපියන් සොයා ගැනීමට නොහැකි වූ අතර මිය ගොස් ඇතැයි අනුමාන කරා. මාස හයකට (6) පසු, යුද්ධයේ අවසාන අදියරේදී යුද කලාපයෙන් මාරු කර යවා ඇති, අසල පිහිටි ජාතික රෝහලේදී කෝමා සහ සංකීර්ණ ප්ලාස්ටික් සැත්කම්වලින් පසු සුවය ලබන මවක් අපට දැන ගැනීමට ලැබුණා.

අතුරුදන් වූ බිළිඳුන් සිටින තවත් දෙමළ මව්වරුන් දෙදෙනකු (2) ද ඉදිරිපත් වී මෙම දරුවා තමන්ගේම යැයි ප්‍රකාශ කිරීම නිසා සැබෑ ජීව විද්‍යාත්මක මව හඳුනාගෙන ‘මාතෘ DNA පරීක්‍ෂණයක්’ කිරීමට අධිකරණයෙන් නීති උපදෙස් ලබා ගැනීමට අපට සිදු වුණා. අද අම්මයි පුතයි මාව බලන්න ආපු එක පුදුමයක්. පුතා යාපනයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක හොඳින් ඉගෙනුම ලබනවා” ෴


දිනන දියණියන්ට පාර තනමින් අද වෙහෙසෙන ‘මකුල්ඇල්ලේ අම්මා’

(12.05.2024 – 19:48 +0530 – hirunews.lk/sinhala)

අම්මාවරුන් ගැන කතා කරන අද සිය දරුවන් වෙනුවෙන් දිවියම කැප කළ මවක් ගැන බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය 45 හැවිරිදි සන්ධ්‍යා පුෂ්පකුමාරි නම් වනවා.

සැමියා මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන පසුබිමක ගැහැණු දරුවන් දෙදෙනකු (2) පෝෂණය කිරීම සඳහා ඇය දිවා රෑ නොබලා වෙහෙසුණා.

දරුවන්ට හෙටක් හදන්නට ඇය කළ වෙහෙස මල්ඵල ගන්වමින් එක් දියණියක් මේ වනවිට විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා.

අනෙක් දියණිය මේ වන විට 10 වැනි වසරේ ඉගෙනුම ලබන අතර, ඇය වෙහෙසෙන්නේ තමන්ට අහිමිවූ සුන්දර ජීවිතය දියණියට ලබා දීමටයි.

ඔවුන් මේ දැනට පදිංචිව සිටින නිවස උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් 2015 වසරේ හානියට පත්ව තිබුණා.

ඔවුන්ට එම නිවසින් ඉවත්වන ලෙසට දැනුම් දෙමින් වන්දි මුදලක් ලැබුණද, නිවස හිමි ඉඩමේ ඔප්පුව ඇගේ නැන්දණියකට අයත් එකක් බැවින් වන්දියෙන් වැඩි මුදලක් ලැබි තිබුණේ ඇගේ නැන්දණියටයි.

මේ අතර ඇයට ලැබුණු මුදල එන්නතක් වැරදීමෙන් ආසාදනය වු වැඩිමහල් දියණියගේ පාදයක් සුව කිරීම සඳහා වැය කිරීමට සිදුව තිබුණා.

එහෙත් සිය උත්සහාය අත් නොහළ ඇය නිවසක් සාදා ගැනීම සඳහා දුක් මහන්සියෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය රැසකර ගත්තද නිවසක් සාදා ගැනීමට ඉඩමක් නොමැතිව ජීවිත අවදානමද නොතකමින් සිය බාල දියණිය සමඟ වාසය කරනවා.

දරුවන් දෙපයින් නගාසිටුවීමට වෙහෙස දරන මෙවැනි අම්මාවරුන්ට අද වන විට අත්ව ඇති ඉරණම ගැන මව්වරුන්ගේ දිනයේදි සමාජ වගකීම් දරන පිරිස් අවධානය යොමුකළ යුතු කරුණක්.

ඉරණම වෙනස් වුවත් දිවා රෑ නොබලමින් සිය දිවියම කැප කළ මෙවැනි මවුවරුන් දහස් ගණනක් මේ වන විට වැඩිහිටි නිවාසවල සහ මහලු මඩම්වලත් දිවි ගෙවනවා.

ඔවුන්ගෙන් බහුතරයක්, වියළුණු දෑසින් තවමත් මහමඟ බලමින් සිටින්නේ තම දරුවන් අද හෝ හෙට පැමිණෙතැයි යන අපරිමිත වූ බලාපොරොත්තු ඇතිවයි.

+


මාරක අනතුර, ජීවිත දෙකක් (2) උඳුරා ගනී

(12.05.2024 – 19:43 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබී පුද්ගලික බස් රථයක් හා දඹුල්ල සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති අතර, බස් රථයේ ගැටුණු යතුරු පැදිය බස් රථයේ යට සිරවී මීටර් 20 ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබූ අතර එහිදී යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා (2) බරපතළ තුවාල ලැබූ බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථය ද ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල් යායකට පෙරැළී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේදී මගීන් 40 ක් පමණ සිට ඇති අතර අනතුරින් එම කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව සඳහන්.

එලෙස අනතුරට ලක්වූ ලොරි රථයේ රියදුරු හා තවත් පුද්ගලයකු ගමන් කර ඇති ඇතර ඔවුන්ට ද අනතුරින් කිසිදු හානියක් සිදුව නැතත් එම ලොරි රථයට සැලකිය යුතු හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා (2) ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයකින් දඹුල්ල මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතුකර තිබුණා.

එලෙස ඔවුන් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී කිසිවකුත් කරන ලද දැනුම් දීමක් අනුව 1990 ගිලන්රථ සේවාවට අයත් ගිලන් රථයක් ද පැමිණ තිබුණ අතර පසුව ත්‍රීරෝද රථයෙන් රෝහලට රැගෙන යමින් සිටි අනතුරට පත්ව බරපතල තත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා බුලාගල ප්‍රදේශයේ දී 1990 ගිලන් රථයට මාරැ කිරීමට කටයුතු කර තිබෙනවා.

බරපතල තත්ත්වයේ සිටි එක් අයෙකු (1) මිය ගොස් ඇති බව පවසා ගිලන්රථයේ සේවක පිරිස විසින් එම පුද්ගලයා මහමග දමා ගොස් ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකව ඇති මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයා සිය නිල රථය එම ස්ථානයට පිටත් කර යවා එම පුද්ගලයාද කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනාම (2) රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑවල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයකු හා මහනුවර හතරලියද්දි ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය අයෙගෙන් එක් අයෙකු විවාහක දෙදරු පියෙකු වන බවත් ඒ අතර මාසයක් වයසැති දරුවෙකු සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු තලාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු අද (12) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අඹගහවත්ත වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී සැකකාර රියදුරු ලබන 20 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.

අනතුරින් මිය ගිය දෙදෙනාගේ (2) සිරුර දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (13) දිනයේ දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් පැවැත් වීමට නියමිතව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව මඩාටුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.


වෙළඳසැල් හිමියාගේ බිරිඳට පහර දී අබලි යකඩ කඩේ මංකොල්ලකාලා

(12.05.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව සම්පූර්ණයෙන් ම මුහුණු ආවරණය වූ යතුරු පැදි හිස් වැසුම් පැළද පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

අතෙහි ඇගිලිවලට බරපතල කැපුම් තුවාල සිදු වූ එම යකඩ බඩු අලෙවි සැලෙහි හිමිකරුගේ බිරිද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි වාර්තා වන්නේ.

අදාළ වෙළදසැලෙහි දෛනික කටයුතු අවසන් කිරීමට ටික වේලාවක පෙර රාත්‍රි 07:00 ට පමණ කුඩා යතුරු පැදියක නැගී මෙම කොල්ලකරුවන් තිදෙනා (3) පැමිණ ඇති බවත් ඔවුන් සතුව කඩු දෙකක් (2) සහ දිගැති මන්නයක් වැනි ආයුධයක් ද තිබී ඇති බවත් වෙළදසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී හදුනා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ වෙළදසැලෙහි හිමිකරුගේ බිරිද පැළද සිටි රන් ආභරණ සහ වෙළදසැලෙහි මුදල් ලාච්චුවේ තිබූ මුදල් සැකකරුවන් විසින් කොල්ල කා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

+


කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට; වෙනස්ම කතාවක් එළියට එයි

(13.05.2024 – 06:52 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22 වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18 ක් වන වස්සාවුල්ල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 වැනිදා උදෑ­සන කුලි­යා­පි­ටිය, වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවසට ගිය මොහොතේ සිට අතු­රුදන්ව සිටි ‘සුසිත් ජය­වංශ’ නමැති 31 හැවිරිදි තරු­ණ­යාගේ මළ සිරුර පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ පසු­ගිය 07 වැනිදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙන්.

මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකරා පෙම්වතියගේ ඥාති නිවෙසක ඇය සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම්දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ (12) කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර තරුණිය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, තමා අවුරුදු 15 ක වයයේ පසුවන පාසල් සිසුවියක සිටියදී ‘සුසිත්’ නමැති ‘ඝාතනයට ලක් වූ තරුණයා’ තමාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්ම වරට තමාව දූෂණය කළ බවයි.

ඉන්පසුව වරින්වර තමාව දූෂණය කළ බවත්, තමන්ව මරා දමාවිය යන බියට තමා මේ බව මවුපියන්ට නොකියූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

නැවතත් වසර කිහිපයකට පසුව පසුගිය ජනවාරි මාසයේදී නිවසේ කිසිවෙකු නොමැතිව සිටි අවස්ථාවක පිහියක් පෙන්වා මරන බවට තර්ජනය කර බලහත්කාරයෙන් දූෂණය කළ බවත්, ඉන්පසුවද තමාව අවස්ථා ගණනාවකදී දූෂණය කළ බවත් මේ වනවිට 18 හැවිරිදි වියේ පසුවන එම සැකකාර පෙම්වතිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව තමා ගැබ්ගෙන ඇති බ්ව පෙනී ගිය නිසා මේ බව ඔහුට දැනුම්දුන් පසු ඔහු තමාට බෙහෙත් පෙති වර්ග 05 ක් ලබා දී ඒවා පානය කළ යුතු ආකාරය ගැන පැවසූ බවත්, ඒ අනුව එම පෙති පානය කිරීමෙන් පසු ගබ්සා වූ බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ ‘සුසිත් ජයවංශ’ නැමැත්තා තවත් තරුණියක සමගද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයද ගැබිනියක වී ඇති බව දැනගත් පසුව ඇයගේ දරු ගැබද මෙලෙස ගබ්සාවකට ලක් කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම, මෙලෙස ඝාතනයට ලක්වූ ‘සුසිත් ජයවංශ’ නමැත්තා මීට පෙර විවාහකව සිට බිරිඳගෙන් වෙන් වී සිටි අයෙක්.

මේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට කුලි­යා­පි­ටිය පොලි­සිය සැක­ක­රු­වන් 9 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා ෴


යාපනයේ දී අකුණු සැර වැදි එක් (1) අයෙකු රෝහලේ

(13.05.2024 – 07:14 +0530 – hirunews.lk/sinhala)

යාපනයට පැවති දැඩි රශ්මිය හමාර කරමින් මහ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණු අධික වාර්ෂාවෙන් අකුණු සැර වැදීම හේතුවෙන් එක් (1) පුද්ගලයෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම අකුණු සැර වැදීම නිසා තුවාල ලබා ඇත්තේ යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අකුණු සැර වැදීම නිසා පොල් ගස ගිණි ගන්නට පටන්ගෙන ඇති අතර, මහා වැස්ස නිසා ස්වල්ප වේලාවකට පසුව ගින්න නිවී ගොස් ඇති බවයි.

එමෙන්ම, මෙම වර්ෂාව හේතුවෙන් දින 53 ක් පමණ එක දිගටම පැවති අධික රශ්මිය පහව ගොස් තිබෙනවා.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ වර්ෂාව නිසා යාපනයේ මංමාවත් ජලයෙන් යට වී ඇති අතර, පළාත් කිහිපයක කුඹුරු ද වර්ෂා ජලයෙන් යට වී ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *