රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමුකල මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ්

රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමුකල මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ්


රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමුකල මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ්

(11.05.2024 – 21:00 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මාවනැල්ලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතන හිමිකරු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර නීති විරෝධී ලෙස රුසියාවේ යුද පෙරමුණට යවා ඇති ශ්‍රී ලාංකිකයින් අතරින් 300 කට අධික පිරිසක් තවමත් යුද පෙරමුණේ සිටින බවත් 200 කට ආසන්න පිරිසක් පුහුණු කඳවුරක පුහුණුව ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කළා.

රුසියා – යුක්‍රේන යුද සේවය සඳහා මෙරටින් පිටත්ව ගිය ශ‍‍්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළේ ෴


දරුවන්ට මාරාන්තික විය හැකි සෙල්ලම් බඩු ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

(11.05.2024 – 21:46 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොලේ ඇති බැටරි මගින් ක්‍රියාකරවන සෙල්ලම්බඩුවලින් දරුවන්ගේ ජීවිතවලට හානි සිදුවිය හැකි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

එම බැටරිවල හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බැවින් දරුවන් ඒවා ගිල දැමුවහොත් විද්‍යුත් රසායනික ක්‍රියාකාරකම් හරහා දරුවාට මාරාන්තික විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

විදෙස් රටවලින් ආනයනය කෙරෙන කුඩා දරුවන්ගේ සිත් ඇද ගන්නා සෙල්ලම්බඩු වර්ග රැසක් වෙළඳපොළ තුළ අලෙවි වන අතර බැටරි මගින් ක්‍රියාකරවන සෙල්ලම්බඩු වර්ග ද ඒ අතර පවතිනවා.

එවැනි සෙල්ලම් බඩු භාවිතයේදී දරුවන් එම බැටරි ගිල දැමුවහොත් දරුවන්ගේ ජීවිතවලට හානි සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

+


අක්මීමනදී සිදුවූ ඝාතනයක සැකකරුවන් රත්මලානෙන් අල්ලයි

(11.05.2024 – 23:01 +0530 – hirunews.lk/sinhala)

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අද (11) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

අක්මීමන, කුරුන්දකන්ද, ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කුමාර නමැති 42 හැවිරිදි පුද්ගලයෙක් ඉකුත් 09 දා රාත්‍රියේ කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටියදී, මෙම සැකකරුවන් දෙදෙනා (2) සහ තවත් පුද්ගලයෙකු (1) විසින් කැත්තකින් සහ කඩුවකින් ගෙලට කරනුලැබූ පහරදීමකින් ඝාතනයවී තිබෙනවා.

පසුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාද ඝාතනය කිරීමට උත්සාහ දැරීමේදී එය ව්‍යාර්ථ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව එක් (1) සැකකරුවකුගේ ඥාති සොහොයුරියක පදිංචි රත්මලාන ප්‍රදේශයට පැමිණ ඇයගේ ලැගුම්හලෙහි මෙම සැකකරුවන් දෙදෙනා (2) සැඟව සිට තිබෙනවා.

එහිදී මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා (2) රත්මලාන ප්‍රදේශයේ එම ලැඟුම්හල තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


රටින් පනින්න ගිය දෙදෙනෙක් (2) කටුනායකදී කොටුවෙති

(11.05.2024 – 22:18 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කර කටුනායක ගුවන් තොටුපොළින් කැනඩාව බලා යෑමට උත්සාහ කළ පුද්ගලයින් දෙනෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් ය.

සැකකරුවන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දුන් යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

+


ඩයනා ගමගේ ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි

(10.05.2024 – lankadeepa.lk)

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සැලසුම්කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ඩේලි මිරර්’ පුවත්පතට ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානි පුරවැසියෙකු වීම නිසා ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූවාය. ඩයනා ගමගේ මහත්මිය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇති බවත් මෙරට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පවත්වාගෙන යාමට ඇය අපොහොසත් වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය. ඒ හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

පෙත්සමේ තීන්දුවත් සමග ශ්‍රී ලාංකික නොවන ඇය කිසිදු වලංගු ලියවිල්ලක් නොමැතිව මෙරට ජීවත් වූයේ කෙසේද යන ප්‍රශ්නය මතු වූවේය. ඇය ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ ලේඛනයක් භාවිත කර මෙරට ජීවත් වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බලන්නේද යන්න පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවයි ෴

+++++++++

+++++++++

+++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රීකම විතරක් නෙවෙයි ඩයනාගේ කසාදෙත් බොරුවක් (11.05.2024)

+


පොලිසියෙන් කට්ටි පනින්න ගිය යතුරුපැදිකරු අනතුරින් මරුට

(11.05.2024 – lankadeepa.lk)

යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී සැක යතුරු පැදියක් පිටුපස පොලිසිය ලුහුබදිමින් ගිය අවස්ථාවේ පොලිසිය මඟහැර යාමට උත්සහ කළ යතුරුපැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව අසල වූ විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් ඔහු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරත් සමග ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් කාරීව හැසිරෙන අයුරුද දක්නට ලැබිණි.

පලාලි පොලිස් මුරපොලේ රාජකාරි වල නිරතවූ පොලිස් නිලධාරින් අදාළ යතුරු පැදිය නැවැත්වීමට උත්සාහ කිරීමේදී එය නොනවත්වා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරින් එම යතුරුපැදිය පසුපස ලුහුබැද ඇති අතර එහිදී පලාගිය යතුරුපැදිය පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටි ඇතැයි කියයි ෴


පොලිසියේ එකෙක්, යුද හමුදාවේ දෙකෙක් කුඩු ගහද්දී මාට්ටු

(12.05.2024 – lankadeepa.lk)

හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් අසල ‘අයිස්’ මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි පොලිස් කොස්තාපලයෙකු (1) සහ යුධ හමුදා සෙබළුන් දෙදෙනකු (2) අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ නිළධාරීන් පිරිසක් ගොස් සිදු කළ සෝදිසියේදී එම සැකකරුවන් ළඟ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 60 බැගින් හමු වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපලයා (1) පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සහය තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා උසස්වීම් ලැබූවකු බවත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනා (2) ශ්‍රි ලංකා යුද හමුදා පොදු සේවා බළකායට අයත් පනාගොඩ කදවුරෙහි සේවය කරන අය බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරුවන් මොරටුව ලක්ෂපතිය, අඹකොටේ මැටියාපොත සහ නිකවැරටිය ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ ෴


ළඳරු කිරි බෝතලෙන් පුපුරණ ද්‍රව්‍ය, උණ්ඩ මතුවේ

(12.05.2024 – lankadeepa.lk)

ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් (2) සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු වැලිපැන්න සිරිසඳ, කොලැහැකඩ, නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ මෙවා සොයාගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් (2), ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක්, බෝර 12 පතුරම් 02 ක් සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත ෴


පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට

(12.05.2024 – lankadeepa.lk)

පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

සූරියවැව වැවේගම ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

අධික ලෙස බීමත්ව සිටි පියා බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන පුතාගේ නිවස අසලට පැමිණ පුතාට බැණවැදී ඇති අතර නිවෙස තුල දහවල් කෑම කමින් සිටි පුතා බැණ වැදීමට හේතුව විමසීමට නිවෙසින් එලියට පැමිණීමේදී වෙඩිතැබීම සිදු කර තිබේ.

වෙඩි තැබූ පියා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. වෙඩි පහර තුවාල කරුගේ වම් කකුලේ දණහිසට ඉහලින් කලවා ප්‍රදේශයට වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි ෴


පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි

(12.05.2024 – lankadeepa.lk)

පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

සොරා ගෙන යමින් සිටි බවට සැක කරන ගවයින් දෙදෙනකු (2) සහ ජීව අත් බෝම්බයක් ඇතුළු දේපල සමඟ එම ලොරිය සිය බාරයට ගත් බව මීරිගම පොලීසිය කියයි.

රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් කණ්ඩායමක් මිරිගම ගනේගොඩ මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නතර කිරීමට සංඥා කර ඇති අතර , පොලිසියේ නියෝගය නොතකා ගමන් ගත් ලොරි රථය ඉදි වෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට පියවර ගෙන තිබේ.

ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් රථය මාර්ගයේ දමා පලා ගොස් ඇත. ලොරි රථය පරික්ෂා කිරිමේදි වස්සකු හා එළ දෙනෙක ලොරි රථයේ සිට ඇති අතර රියැදුරු අසුන යට තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා ජංගම දුරකථනයක් පොලිස් නිලධාරීන්ට හමු වී ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *