ලංගම බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් : 9 ක් රෝහලේ

ලංගම බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් : 9 ක් රෝහලේ


ලංගම බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් : 9 ක් රෝහලේ

(11.05.2024 – 16:16 +0530 – hirunews.lk/sinhala)

හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් නවදෙනෙකු (9) තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට හා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තරද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ නමුත් මෙම අනතුර සිදු වීමට හේතුව අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

+++++++++

+


‘යුක්තියෙන්’ ඇල්ලූ සැකකරුවන් ලක්ෂය පන්නයි

(11.05.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)

“යුක්තිය” මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 4,472 ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ සිටින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මෙම මෙහෙයුම යටතේ හෙරොයින් කිලෝග්‍රෑම් 41 ක්, ‘අයිස්’ කිලෝග්‍රෑම් 43 ක්, මත්පෙති ලක්ෂ 3 ක් සහ රුපියල් මිලියන 1,500 ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


මහ පාන්දර අකුරේගොඩදී මෝටර් රථයක් ගිනිගෙන අළු වෙයි

(11.05.2024 – 15:35 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේ ධාවනය කළ මෝටර් රථයක් ගිනි ඇවිලීමකට ලක් වී තිබෙනවා.

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේදී කඩුවෙල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක් වී ඇති අතර, ගිනි ගැනීමෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබෙනවා.

මහා මාර්ගයේදී ගිනි ගැනීමට ලක්වූ එම මෝටර් රථය, අනතුරුව ඉදිරියට ඇදී ගොස් අසල තිබූ තාප්පයක ගැටී නතර වී තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේදී එම මෝටර් රථය තුල පුද්ගලයින් තිදෙනෙකු (3) ගමන්කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මකව ඔවුන් වාහනයෙන් ඉවත් වූ බැවින් එම ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

මෝටර් රථය ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණ ඇති අතර, මෝටර් රථයේ ගින්න සහ අවට පැතිරීමේ අවදානම සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.

ගින්නට හේතුව එම මෝටර් රථයේ විදුලි කාන්දුවක් බවට‍යි සැක කෙරෙන්නේ.

+


බිහි කළ දරුවාව රෝහලේ දමා, පාසල් සිසුවිය පැන ගිහින්

(11.05.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala)

දරුවෙකු ප්‍රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් යාපනය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙනවා.

අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර ඊයේ (10) සවස ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව මෙම සිසුවිය විසින් දරුවෙකු ප්‍රසූත කර ඇති අතර එම දරුවාව රෝහලේ දමා ඇය පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහලේ බල්ධාරීන් විසින් යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් ෴


හෑරුවේ මඤ්ඤොක්කා වළක්; හම්බවුණේ අත් බෝම්බයක්

(11.05.2024 – 17:39 +0530 – hirunews.lk/sinhala)

හොරණ, කුඹුක, ගෝනපොල ප්‍රදේශයේ ඉඩමක මඤ්ඤොක්කා වගාවක් සඳහා බිම් සකස්කරමින් සිටි පුද්ගලයකුට ජීව අත්බෝම්බයක් හමු වී තිබෙනවා.

මේ පිළිබඳව මොරගහහේන පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය සහ පොලිස් වි‍ශේෂකාර්ය බලකායේ නිළධාරීන් පැමිණ එය නිෂ්ක්‍රීය කිරිමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ජීව අත් බෝම්බය මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

+


ඇඟලුම් සේවිකාවකට ආයතන හිමිකාරිය පහරදුන් බවට පැමිණිල්ලක්

(11.05.2024 – 18:33 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය – මරඳගහමුල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇඟලුම් ආයතනයක හිමිකාරියක විසින් එහි සේවිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිය හිඟ වැටුප් හා සේවයෙන් ඉවත් විමේ සහතිකය ලබා ගැනීමට අද (11) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ ඇති වූ බහින්බස් විමකදී අදාළ කාන්තාව පහරදුන් බවටයි ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එහිදී අදාළ කාන්තාවගේ 4 හැවිරිදි දියණියට ද පහර වැදී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වනවා ෴


බලංගොඩදී සිදුවූ රිය අනතුරකින් සා.පෙළ සිසුවියකට බරපතළ තුවාල

(11.05.2024 – 18:48 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ, වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී ඇති අතර, එම ටිපර් රථයේ පටවා තිබූ GI වර්ගයේ බට කිහිපයක් බස් රථය තුළට විසිවී එම බස් රථයේ ගමන් කරමින් සිටි අදාල සිසුවියගේ ගැටීමෙන් ඇයගේ ගෙල සහ මුහුණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.

අනතුරුව තුවාල ලැබූ ඇය බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහල වෙත මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා (2) බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++++++

+


‘හිරු ස්ටාර්’ වේදිකාවෙන් බිහි වූ ‘විජය ලෝෂන්’ ඉන්දියාවත් සනසයි

(11.05.2024 – 20:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට ටෙලිවිෂනයේ රියැලිටිය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ ‘හිරු ස්ටාර්’ වේදිකාවෙන් බිහි කළ ශ්‍රී ලාංකේය තරුවක් ජාත්‍යන්තර රියැලිටි වේදිකාවේත් තම දක්ෂතා පෙන්නුම් කරමින් සිටිනවා.

‘හිරු ස්ටාර් සීසන් 3’ තරුවක් වූ ‘විජය ලෝෂන්’ මෙලෙස ජාත්‍යන්තරයට යන්නේ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය රියැලිටි ජාත්‍යන්තර වැඩසටහනක් වන ‘සරිගමපා’ වැඩසටහන හරහායි.

මහපොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන සියයට සියයක්ම සජීවී ගැයුම් ප්‍රකාශනයක් වූ ‘හිරුස්ටාර්’ මේ වන විට මෙරට ටෙලිවිෂනයේ අංක එකේ රියැලිටි වැඩසටහන ලෙස සුවහසක් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වී අවසන්.

‘හිරු ස්ටාර්’, නව සංකල්ප මතින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශකතාව ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තබන ‘හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා’ගේ තවත් නිර්මාණාත්මක සංකල්පයක්.

උත්තරීතර ජනතා පරමාධිපත්‍යය සියයට සියයක් තහවුරු කරමින් දක්ෂයින් අතරින් අති දක්ෂයින් සොයා යන ‘හිරු ස්ටාර්’ සජීවි ගැයුම් උන්මාදය සමග වත්තල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ‘විජය ලෝෂන්’ එක්වන්නේ නොසිතූ ලෙසයි.

‘හිරු ටීවී’ හී විකාශය වුණු ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ‘රයිසින් ස්ටාර්’ තරගයේ තරගකරුවෙකු ලෙස රංගනයෙන් දායක්වය දැක්වීමට පැමිණි ඔහුගේ හඬ පෞරුෂය හඳුනා ගනු ලබන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී ‘නිරෝෂා විරාජිනී’ විසින්.

ඒ අනුව ඔහුගේ රියැලිටි ගායන සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් ‘විජය ලෝෂන්’ ‘හිරු ස්ටාර් සීසන් 3’ වේදිකාවට පැමිණීමට මංපෙත් විවර වනවා.

ගායනයෙන් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ‘විජය’ ‘හිරු ස්ටාර්’ වේදිකාවේ අවසන් තරගකරුවන් 15 දෙනාගේ වටය දක්වාම පැමිණීමට අවස්ථාව උදා කරගත්තා.

‘හිරු ස්ටාර්’ වේදිකාවෙන් එලෙස ලද පන්නරය මත ‘විජය ලෝෂන්’ ඉන්දියාවේ ජාත්‍යන්තර රියැලිටි වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයේ පවතින ‘සරිගමපා’ රියැලිටි වැඩසටහනට එක්වුණා.

මාස ගණනක් පැවති සුදුසුකම් ලැබීමේ වටවලදී සාර්ථකවූ ඔහු මීට දින කිහිපයකට පෙර ‘සරිගමපා සීසන් 4’ රියැලිටි වේදිකාවේ තරග කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

මෙහි විශේෂත්වය වන්නේ ‘විජය’ ගායනා කළ ඇතැම් ගීතවලදී එම ගීතවල මුල්හිමිකරුවන්ද ඔහු සමග ගායනයට එක්වීමයි.

දක්ෂතාවයම විජයග්‍රහණය කරවන, ඉහළම ප්‍රෙක්ෂක ආදරය දිනා ගනිමින් ප්‍රමිතිකරණයෙන් අංක එක බවට පත්ව ඇති ‘හිරු ස්ටාර්’ වේදිකාවේ තරුවක් එලෙස ජාත්‍යන්තර වේදිකාවද වර්ණවත් කිරීමේ සතුට මෙරට සුවහසක් සංගීත ලෝලීන් සමග එක්වී අප සමරන්නේ ඊට මං පෙත් උදා කරදීමේ නිහතමානී ආඩම්බරයෙන්.

+


බණ්ඩාරනායක මැතිණියගේ පාර්ශ්වයත් සජබය සමග එක්වන බවට සජිත්ගෙන් ඉඟියක්

(11.05.2024 – 20:31 +0530 – hirunews.lk/sinhala)

දේශිය සම්පත් ගැන පම්පෝරි ගසන මාක්ස්වාදීන්, බහුජාතික සමාගම්වලට රට විකුණා ඇතත් තමා කිසිම අවස්ථාවක රට පාවා නොදෙන බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) අම්පාරේ පැවති සමගි ගොවි සමුළුව අමතමින්.

කිරි නිෂ්පාදනය කරන කිරි ගොවියන්ටත්, පශු සම්පත් මණ්ඩල ඉඩම්වල සේවය කරන අයටත් කියන්න ඇත්තේ සෙසු විකල්ප යැයි කියා ගන්නා පක්ෂ මෙන් සජිත් ප්‍රේමදාස වන තමා රටවල්වලට බහුජාතික සමාගම්වලට වෙන්දේසි නොවන බවත් මහලොකුවට දේශීය සම්පත් ගැන පම්පෝරි ගහපු මහාලොකු කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තවාදීන් තම ප්‍රතිපත්ති පාවා දී රට මුදලට විකුණා ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම, රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ මිල ඉහළ ගොස් ඇති නිසා බීජ නිෂ්පාදනය කරන සැලසුමක් ද රටට අවශ්‍ය බවත්, රටේ භූමි භාගයෙන් හෙක්ටයාර් මිලියන 2.4 ක් එනම් රටෙන් 1/3 ක් භෝග වගාවට වෙන්වන බවත්, ශ්‍රම බලකායෙන් 25% ක් මේ කෘෂිකර්මාන්තයේ නියැලෙන අප රටට අනගිභවනීය වාරි පද්ධතියක් ඇති නිසා සමගි ජන බලවේග රජයක් තුළ ඉඩම්, ඉඩම් සංවර්ධන, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග, මහවැලි ආදී අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනවිත් ජාතික කාෂිකර්මන ප්‍රතිපත්තියක් නිර්මාණය කර මෙරට ගොවියා සැබවින්ම රටේ රජවරුන් බවට පත් කරන බවත් රටට බත සපයන ගොවියා දෙවියන් ලෙස සලකන බවත් ඔහු පැවසුවා.

තවද ඩී.එස්. සේනානායක, සේනානායක සමුද්‍රය වම් ඉවුර දකුණු ඉවුර හරහා දැවැන්ත වාරි ශිෂ්ඨාචාරයක් නිර්මාණය කළ බවත් ඉන් පසුව ‘බත්දුන් පියා’ ඩඩ්ලි සේනානායක, ‘එග්ගල්ඔය වාරිශිෂ්ඨාචාරය’ නිර්මාණය කළ බවත් සිරිමාවෝ මැතිණියගේ කාලයේ ‘නාමල්ඔය ව්‍යාපාරය’ නිර්මාණය කළ බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීමට බණ්ඩාරනායක මැතිනියගේ පාර්ශ්වයත් ‘සමගි ජන බලවේගය’ හා එක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *