ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට


ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට

(11.05.2024 – 08:03 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා (09) පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පංති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, ඔවුන්ගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඔහු කියා සිටියේ.

එසේම මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පෙරේදා (09) ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතරතුර විභාගයට පෙනී සිටි සිසුන් කිහිපදෙනෙකු පිළිතුරු හුවමාරු කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙලෙස ප්‍රශ්න පත්‍රය සංසරණය කර ඇති බවයි.

කොළඹ, කොටහේන සහ හසලක යන ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වුණා.

පසුව ඒ සම්බන්ධයෙන් අදාළ පොලිසි වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට විභාග දෙපාර්තමේතුව කටයුතු කළා ෴


බදුල්ල – මහියංගණ මාර්ගයේ සිදු වූ අනතුරකින් අඹු සැමි යුවලක් මරුට

(11.05.2024 – 08:27 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මහියංගණ මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස්‍ රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන් බදුල්ල මැදපතන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය සැමියා 79 හැවිරිදි වියේත් බිරිඳ 76 හැවිරිදි වියේ පසුවනවා.

මෙම අනතුරෙන් තවත් 3 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර වන අවස්ථාවේදී බස්රථය දෙහිඅත්තකණ්ඩිය – සිරිපුර ප්‍රදේශයේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් පැවති අතර ත්‍රීරෝද රථය බදුල්ල හා රිදීපන අතර මගීන් ප්‍රවාහනය කරන ‘පනහෙ කෑලි’ නම් වන ත්‍රීරෝද රථයක් බවටද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴


නීතිවිරෝධී ලෙස ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කළ ලාංකිකයින් 5 ක් අත්අඩංගුවට

(11.05.2024 – 08:49 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස රටේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගත් බව ලැට්වියාවේ රාජ්‍ය දේශසීමා ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශසීමා ආරක්ෂකයින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් පදවන ලද Peugeot 307 මෝටර් රථයක් පරීක්ෂා කර බැලීමේ දී වීසා බලපත්‍ර හෝ පදිංචි බලපත්‍ර නොමැති ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු (6) එහි සිට අත්අඩංගුවට ගත් බවයි.

එසේම Augšdaugava නගරසභාවේදී, නීතිවිරෝධී ලෙස දේශසීමාව තරණය කරන පුද්ගලයින්ට සහය දුන් බවට සැකපිට Volkswagen Polo රථයකින් ගමන් කරමින් සිටි තවත් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු (3) දේශසීමා ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නීතිවිරෝධී ලෙස ලැට්වියාවේ පදිංචි වීමට දැනුවත්ව පුද්ගලයෙකුට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දඬුවමට වසර දෙකත් අටත් (2-8) අතර සිරදඬුවමක් ඇතුළත් විය හැකි බවද සඳහන් ෴


මැදවච්චියේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

(11.05.2024 – 09:54 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය – මහදිවුල්වැව ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේදී සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඉන් තුවාල ලැබූ 44 හැවිරිදි කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා ෴


ජාතික ඩෙංගු මර්දන සතියක්

(11.05.2024 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා (01) දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාස 71 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ වන විට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා ෴


දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටම්

(11.05.2024 – 10:56 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබා දීමට ‘ලංකා සතොස’ තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයන්හි සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ලඟම ඇති ‘ලංකා සතොස’ ශාඛාව වෙත ලබා දීමට කටයුතු කරන මෙන් සියලු මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමි ෴


හරි පාර කියලා දෙන්න කෙනෙක් නැහැ |ඉන්දීය බලපෑමෙන් රටටත් කලාවටත් සමාජයටත් වෙන විනාශය ‘පිංපොං’ රටට කියයි (11.05.2024)

+


ලොරි රථයක් සහ කැබ් රථයක් ගැටී කාන්තාවක් මරුට – 09කට තුවාල

(11.05.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala)

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් හා ලොරි රථයක් දඹුල්ල – දිගම්පතහ අතරමැදි කදවුර ආසන්නයේදී අනතුරට ලක් වී කාන්තාවක් (01) මිය ගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

බරපතළ තුවාල ලැබූ අවුරුදු 03 ක් පමණ වයසැති කුඩා දැරියෙකු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

හබරණ දෙස සිට දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සහ කැබ් රථක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සියලු දෙනා කැබ් රථයේ ගමන් කළ අය වනවා ෴


ද්විත්ව පුරවැසිකම තියෙන තවත් මන්ත්‍රීවරු 10 ක් පාර්ලිමේන්තුවේ

(11.05.2024 – 12:05 +0530 – hirunews.lk/sinhala)

ද්විත්ව පුරවැසිකම වැනි අයතා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් (10) පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බව සෝභිත හිමියන් සඳහන් කරනවා.

ඩයනා ගමගේ මහත්මිය හා සමානවම මන්ත්‍රී පදවියට හිමිකම් දැරිය නොහැකි ද්විත්ව පුරවැසිකම් දරන තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් (10) පමණ සිටින බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය රැකගෙන මන්ත්‍රී පදවිවලින් ඉල්ලා අස්විය යුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

සෝභිත හිමියන් මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක් :
“අධිකරණයට යන්න කාලය හා ධනය වැය කරන්න අවශ්‍ය නැහැ තවදුරටත්. මේක හොඳම ආදර්ශය. ඒ නිසා ද්විත්ව පුරවැසිකම් ලබාගෙන මන්ත්‍රී පදවි හොබවන සියලුම දෙනා අපි කියනවා ගෞරවය ඇතිව නම්බු ඇතිව දැන් ඔය තනතුරුවලින් ඉවත් වෙන්න. පක්ෂ නායකයින්ට අපි අවධාරණයෙන් මතක් කරන්න කැමතියි තමන්ගේ පක්ෂවල නියෝජිතයන් හැටියට තෝරනකොට මෙවන් නීතිගරුක නොවන, අවනීතික පුද්ගලයන් තෝරගන්න එපා කියලා.”

+


අහුංගල්ලේ වෙඩි තැබීම පළිගැනීමක් බවට හෙළිවෙයි

(11.05.2024 – 12:45 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ල – මරදාන ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රී සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ අවුරුදු 54 වයසැති දෙදරු පියෙක්.

ඊයේ (10) රාත්‍රියේ නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) එහි හිමිකරුට නිවසින් පිටතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

පසුව ඔහුගේ බිරිඳ නිවසේ ප්‍රධාන දොර විවෘත කර ඇති අතර ඇයගේ පසු පසින් පැමිණි සැමියාට මොවුන් වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම වෙඩි තැබීම පසුගියදා අහුංගල්ල – බෝගහපිටිය ප්‍රදේශයේදී පසුගිය 08 වනදා රාත්‍රියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අහුංගල්ලේ බබා’ගේ පියා මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම ඝාතනය ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඩුබායි ලහිරු’ගේ පාර්ශ්වයෙන් සිදු කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ.

ඊට පළිගැනීමක් ලෙස ඊයේ (10) වෙඩි තබා ඝාතනය කෙරුණේ ‘ඩුබායි ළහිරු’ගේ සමීපතමයෙකුගේ පියෙකු බවටද හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතන 2 ම එකම ආකාරයට සිදුව තිබෙනවා ෴


රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයින් 300 ක් තවමත් යුද පෙරමුණේ : 200 ක් පුහුණු කඳවුරුවල

(11.05.2024 – 12:59 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස රුසියාවේ යුද පෙරමුණට යැවූ ශ්‍රී ලාංකිකයින් අතරින් 300 කට අධික පිරිසක් තවමත් යුද පෙරමුණේ සිටින බවත් 200 කට ආසන්න පිරිසක් කඳවුරක පුහුණුව ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කළා.

රුසියාවට සහ යුක්‍රේනයට 800 කට අධික පිරිසක් යවා ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරට වගකිව යුතු නිලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවයි කොළඹ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

රුසියා – යුක්‍රේන යුද සේවය සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කළා.

එහි විමර්ශන නිලධාරියෙකු කියා සිටියේ මීට පෙර ද 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් රුසියානු යුද හමුදාවේ රැකියා සඳහා යොමු කරවන කුරුණෑගල ප්‍රදේශයේ කණ්ඩායමක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ රට හමුවේ පසුගිය පෙබරවාරි මස 02 වනදා අනාවරණ කළා.

කෙසේ වෙතත් එම ජාවාරම්කරුවන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නොතිබීම විමතියට කරුණක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *