රුසියානු – යුක්රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි
(10.05.2024 – 20:53 +0530 – hirunews.lk/sinhala)
රුසියානු – යුක්රේන යුද්ධයට ගිය තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය’ පවසනවා.
මේ අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් ඒජන්සිකරුවෙක් අද (10) මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් අතර, රුසියාවේ යුද්ධයට ගොස් තුවාල ලබා සිටින මෙරට විශ්‍රාමික හමුදා සෙබළෙක්ද එහි සිට ‘හිරු ප්රවෘත්ති’ වෙත විශේෂ අනාවරණයක් සිදුකළා.
මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් පුරවැසියන් රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියාවේ සහ යුක්රේනයේ කුලී හමුදා වෙත යැවීමේ ජාවාරම් සම්බන්ධයෙන් ‘හිරු ප්රවෘත්ති’ අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා.
එලෙස ගිය විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගෙන් අට දෙනෙක් (8) මියගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබූ අතර අද (10) වාර්තා වුණේ එලෙස මියගිය පිරිස තවත් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙක් රුසියානු යුද බිමේදී මියගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකයේ’ විමර්ශන නිලධාරියෙකු හිරු ප්රවෘත්ති සමග සඳහන් කළා.
එම ජාවාරමට සම්බන්ධ තවත් ඒජන්සිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (10) මාවනැල්ලේදී අත්අඩංගුවට ගන්නේ එවැනි පසුබිමකයි.
එම ජාවාරමට හසුවූ අයගේ ඥාතීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ සැකකරු විශ්‍රාමික හමුදා සෙබළුන් 9 දෙනෙක් රුසියාවේ සිටින ‘චතුරංග’ නමැත්තා වෙත යවා ඇති බවයි.
ඒ සඳහා එක් (1) පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 16 ක මුදලක් ලබා ගෙන ඇති බවත් හමුදාවේ සේවයේ යෙදී සිටි බව වසන් කරමින් ගුවන් තොටුපලින් පිටවීම සඳහා ගුවන් තොටුපලේ නිලධාරියෙකු වෙත රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවත්, පැමිණිලිකරුවන් පැවසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා සඳහන් කළා.
මේ අතර, රුසියාවේ යුද්ධයට ගොස් තුවාල වී සිටින මෙරට විශ්‍රාමික හමුදා සෙබළෙක් එහි සිට අප හා සම්බන්ධ වුණා.
එවැනි පසුබිමක මෙරට පුරවැසියන් නීති විරෝධීව රුසියා – යුක්රේන යුද්ධය සඳහා යෙදවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.
විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් පිටත්ව ගිය දින, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාළ සියලු තොරතුරු 011 244 1146 යන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංකය වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.
එසේම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව සම්බන්ධ තොරතුරු තිබේනම් එම විස්තර ද අදාළ දුරකථන අංකය වෙත ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දන්වා සිටිනවා.
+
‘ගොනාකෝවිලේ රොහා’ගේ මරණයට පොලීසියේ සම්බන්ධයක් ?
(10.05.2024 – 21:06 +0530 – sinhala.adaderana.lk)
පාතාල කල්ලි නායක ‘හැරල්ඩ් රෝහණ ද සිල්වා’ නොහොත් ‘ගොනාකෝවිලේ රොහා’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, ‘රොහා’ගේ ප්‍රතිවාදියෙකු වන ‘කුඩු අංජු’ නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350 ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මඟිනි.
2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පාතාල කල්ලි නායක ‘හැරල්ඩ් රෝහණ ද සිල්වා’ නොහොත් ‘ගොනාකෝවිලේ රොහා’ ජීවිතක්ෂයට පත්වුණි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණේ ‘පද්මලාල්’ නමැති පොලිස් පරීක්ෂකවරයාගෙන් ලද තොරතුරකට අනුවය.
එවන් පසුබිමක එම ‘පද්මලාල්’ නමැති පොලිස් පරීක්ෂකවරයා සහ මියගිය ‘රොහා’ගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන ‘ඇල්ටෝ ධර්මේ’ නමැත්තා අතර සිදු වූ බව කියන දුරකථ න සංවාදයක් ‘අද දෙරණ’ වෙත ලැබුණි.
‘රොහා’ අත්අඩංගුවට ගැනීමට පෙර ගිනිඅවි දෙකක් (2) ‘පද්මලාල්’ නමැති පොලිස් නිලධාරියාගේ සමීපතමයෙකු වෙත ‘ඇල්ටෝ ධර්මේ’ නමැත්තා ලබාදී ඇතැයි යන කරුණක් සම්බන්ධයෙන් මෙහි තොරතුරු හුවමාරු වී තිබේ.
මේ අතර, ‘ගොනාකෝවිලේ රොහා’ පොලිස් වෙඩි පහරින් මියයාමෙන් පසු පොලිස් පරීක්ෂක ‘පද්මලාල්’ බවට පැවසෙන පුද්ගලයා, ‘ඇල්ටෝ ධර්මේ’ගෙන් රුපියල් ලක්ෂ 350 ක් ලබාගත් බවට පැවසෙන දුරකථන සංවාදයක් ද අපට හමුවුණි.
පොලිස් පරීක්ෂක ‘පද්මලාල්’ නැමැත්තා හා ‘රොහා’ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ‘කුඩු අංජු’ නැමැත්තා අතර ද සිදුවූ බව කියන දුරකථන සංවාදයක් අතරතුර ‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්’ගේ නම ද කියැවෙන අයුරු තවත් හඬ පටයකින් හමුවුණි.
කුඩු අංජු : “සර් මම අංජු. හෙලෝ”
පොලිස් පරීක්ෂක පද්මලාල් බව පවසන පුද්ගලයා : “ඔව් අංජු මල්ලි.. ඔව් මල්ලි.. කියපන්.. ඇහෙනවා.. මේ මල්ලි.. දැන් බස්නාහිර පළාත් SDIG මගේ ඥාතී.. හරිද? දේශබන්දු තෙන්නකෝන් මහත්තයා.. උඹට මම කෙලින්ම සම්බන්ධ කරලා දෙන්නම් මහත්තයාව. උඹලගේ ඔය ගෙනියලා ඉන්න අනිත් එවුන්වත් මිරිහානේ අරහේ මෙහෙ මම කතා කරලා මම ඒක දෙනවා. (?)”
මෙම දුරකථන සංවාදවලදී තමන්ගේ නම භාවිත කරමින් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් මුදල් ලබාගන්නා ‘පද්මලාල්’ නැමැති පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය’ට ලිඛිතව පැමිණිලි කර තිබේ.
ඒ අනුව සිදුකළ විමර්ශන සඳහා අදාළ පොලිස් පරීක්ෂකවරයාට අවස්ථා දෙකකදී (2) කට හඬ පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණෙන ලෙස අධිකරණය මඟින් දැනුම් දුන්නද ඔහු ඒ සඳහා ගොස් නැහැ.
එවන් පසුබිමක ඔහු අද (10) ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කළේය.
එහිදී අධිකරණය නියෝග කළේ පොලිස් පරීක්ෂක ‘පද්මලාල්’ එළැඹෙන 16 වනදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් හඬ පරීක්ෂාව සඳහා ඉදිරිපත් විය යුතු බවය.
+
මහ දවාලේ හෝමාගම ටවුමේ සිදුකළ රන් භාණ්ඩ කොල්ලය
(10.05.2024 – 16:21 +0530 – sinhala.adaderana.lk)
හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝලයක් අතැතිව ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගොස් තිබේ.
අද (10) පෙරවරු 11:45 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී යතුරුපැදි දෙකකින් (2) පැමිණි සිව්දෙනෙකු (4) අතරින් දෙදෙනෙක් (2) අලෙවි සැලට ඇතුළු වන අයුරු එහි තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබිණි.
ඔවුන් දෙදෙනා (2) රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මඳ වේලාවක් එහි රැඳී සිටින අතර, පසුව එක් අයෙක් (1) අලෙවිසැලේ සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකයි.
මුදලින් රුපියල් ලක්ෂ 3 ක්, මුදු 36 ක් හා පෙන්ඩන්ට් 48 ක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බව ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවකයින් පවසයි.
කොල්ලකරුවන් පිටව යාමත් සමඟ අලෙවිසැලේ සේවකයෙක් (1) හදිසි අසනීප තත්ත්වයකට ලක්වන ආකාරයත් CCTV කැමරාවේ සටහන්ව තිබිණි.
කොල්ලකරුවන් රැගෙන ගිය රන් මුදු හා පෙන්ඩන්ට් පාරේ වැටී තිබියදී ඒ අසලින් ගමන් ගත් පිරිස් ඒවා යළි අලෙවිසැල වෙත ගෙනැවිත් දෙන අයුරුද එම CCTV දර්ශනවල දක්නට ලැබේ.
හෝමාගම පොලිසියේ නිලධාරීන් වහාම එහි පැමිණ විමර්ශන ආරම්භ කළ අතර කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිවල අංක තහඩු ව්‍යාජ බව හෙළි වී තිබේ.
++++++++
+
හැඬූ කඳුළින් පොලිසියට ආපු ප්‍රංශ ජාතික යුවළ | ලංකාවේ හොඳ නම බේරපූ රත්තරන් මිනිස්සු
+
පොලිස්පති කාර්යාලයේ සිට ඩයනා පොලිස් නිලධාරීන්ට තග දාලා..
(11.05.2024 – 00:02 +0530 – lankacnews.com)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු ඩයනා ගමගේ විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසයි.
ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් පොලිස්පතිගේ නිල කාර්යාලය වෙත ගෙන්වා ගනිමින් ඇය මෙලෙස බැණ වැදී ඇතැයිද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇත.
ඩයනා ගමගේ ගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම ඉදිරිපත් කලේ ඕෂල හේරත් ය.
+++++++++++
+
+
නිදා සිටි පොලිස් කොස්තාපලියකට අතවර කරන්න ගිය පොලිස් කොස්තාපලයා මාට්ටු
(11.05.2024 – 07:26 +0530 – hirunews.lk/sinhala)
පොලිස් කාන්තා භට නිවාසයට හොරෙන් ඇතුළු වී නිදා සිටි පොලිස් කොස්තාපලියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කොස්තාපලයා කොළඹ වෙරළබඩ පොලිස් කාන්තා භට නිවාසයට මෙසේ ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපලයෙක්.
අදාළ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය නැංවීම කෙරෙහි ජනපතිගේ අවධානය
(11.05.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා ආර්ථික අර්බුද පැනනැඟීමට පෙර වාර්ෂිකව 15% ක පමණ පොලී ප්‍රතිශතයක් තිබුණද මේ වන විට එය තනි ඉලක්කමේ ප්‍රතිශතයක් බවට පත්ව ඇති බවයි.
ඒ අනුව පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවන්ට පත්ව ඇති බවද සඳහන්.
මෙම කාරණය පිළිබඳව ඔවුන් විසින් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම දැනුවත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴