පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්

පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්


පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්

(09.05.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk)

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දින 4 ක සිට අතුරුදන්වී ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ පන්නිපිටිය, ඇරැව්වල, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ‘කලණ මිහිරංග’ නම් පිරිමි දරුවෙකි.

මීට වසරකට පෙර හටගත් හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් මව මියයෑමෙන් පසුව කලණ මෙම නිවසේ වාසය කර තිබුණේ සිය පියා සහ නැගණිය සමගය.

කලණ ඔටිසම් රෝගයෙන් පෙළුණු අතර කලණගේ පියාද රෝගී තත්ත්වයකින් කලක සිට පීඩා විඳිමින් සිටින අයෙකි.

මෙවන් පසුබිමක, ඉකුත් 05 වනදා රාත්‍රියේ කලණගේ පියාගේ රෝග තත්ත්වය උත්සන්න වී තිබේ.

එහිදී කලණගේ නැගණිය පියා රෝහල්ගත කිරීම සඳහා අසල්වාසී කාන්තාවක් සමග ගොස් ඇති අතර, නිවසේ සිට තිබුණේ කලණ පමණය.

පියා රෝහල්ගත කිරීමෙන් පසුව ඔවුන් යළි නිවස වෙත පැමිණෙද්දී කලණ නිවසේ නොසිටි බැවින් ඥාතීන් සහ අසල්වාසීන් එක්වී ඔහු පිළිබඳ සොයාබලා තිබුණත් කිසිදු තොරතුරුක් ලැබී තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව පොලීසිය දරුවා සොයා විමර්ශනයක් ආරම්භ කර තිබේ ෴


විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු විසඳන යෝජනා සඳුදා (13) කැබිනට්ටුවට

(10.05.2024 – 09:18 +0530 – sinhala.adaderana.lk)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා (13) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ‘අද දෙරණ’ කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 08 වන දිනටත් ක්‍රියාත්මක කෙරේ.

සිය ගැටලු සඳහා එළඹෙන සඳුදා (13) දිනය වනවිට නිශ්චිත විසඳුමක් ලබානොදුන හොත් වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කරමින් අත්‍යවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී. රිච්මන්ඩ් මහතා පැවසීය ෴


ග්‍රාම නිලධාරීන්ගෙන් යළි ‘රතු එළියක්’

(10.05.2024 – 14:37 +0530 – hirunews.lk/sinhala)

සිය ගැටළු සඳහා තවදුරටත් බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ‘ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය’ පවසනවා.

එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ, ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

ගැටලුවලට විසදුම් ඉල්ලා ඉදිරි දිනවල විරෝධතා සංවිධානය කර ඇතැයිද ඔහු සඳහන් කළා ෴


ඩයනාගේ පෙත්සම 28 වැනිදා කැඳවයි

(10.05.2024 – 15:00 +0530 – hirunews.lk/sinhala)

තමන්ව ‘සමගි ජන බලවේගයෙන්’ නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ‘ඩයනා ගමගේ’ විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාල පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කර තිබෙනවා.

මෙහි වග උත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් බද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇති බවද සඳහන්.

මේ අතර ඩයනා ගමගේ සිය රාජ්‍ය අමාත්‍යධුරයේ වරප්‍රසාද භුක්ති විඳිමින් රටට කළ පාඩුවට එරෙහිවද නෛතික ක්‍රියාමාර්ග ගන්නාබව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු ටීවී ඔස්සේ ඊයේ (09) රාත්‍රියේ විකාශය වූ බලය සංවාදාත්මක දේශපාලනික වැඩසටහනට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස ඩයනා ගමගේ නඩත්තු කිරීමට ගිය මුදල නැවත රජයට අයකරගත යුතු බව පෙත්සම ගොනු කළ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් පවසනවා. ඔහු මේ බව සදහන් කළේ, කොළඹ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීයි.

++++++++

+


ලංකා ගමනාගමන මණ්ඩලයේ අක්‍රමිකතා ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි

(10.05.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා ගමනාගමන මණ්ඩලයේ’ ප්‍රධාන කාර්යාලයේ පවා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් ක්‍රියාත්මක නොවීමෙන් සේවක වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවීමට සිදුව ඇති බව අනාවරණ වනවා.

මෙම කරුණු හෙළිදරව් වූයේ ‘ලංකා ගමනාගමන මණ්ඩලය’ ‘කෝප් කමිටුව’ට කැඳවු අවස්ථාවේදීයි.

+


කේරළ ගංජා කිලෝ 32 ක් සමග හසු වූ තරුණයෝ

(10.05.2024 – 15:45 +0530 – hirunews.lk/sinhala)

යාපනය පොලීසිය විසින් මරදන්කේණී වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ නිවෙස් සෝදීසි කිරීමේ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 32 ක් සමග තරුණයින් දෙදෙනෙකු (2) ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කේරළ ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ විසි හතරක් (24) පමණ වන බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාව (2) යාපනය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සදහා මරදකේණී පොලීසිය වෙත බාර දී තිබෙනවා.

මෙම තරුණයින් දෙදෙනා (2) ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මීට පෙර එම තරුණයින් දෙදෙනාටම (2) යාපනය අධිකරණයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනා මත නඩු තුනකට (3) වරදකරුවන් වී දඩ මුදල් ගෙවා ඇති බවයි.

වයස අවුරුදු 35 ක සහ 36 ක වයස්වල පසුවන මෙම තරුණයින් දෙදෙනාගේ (2) බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගිණුම් වල විශාල මුදල් ප්‍රමාණයක් තැන්පත් කොට ඇති බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.

සැකකරුවන් පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මරදන්කේණී පොලීසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


‘මන්නා රමේෂ්’ දින 90 ක් රඳවාගෙන විමර්ශන කිරීමට අවසර

(10.05.2024 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ‘අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක’ හෙවත් ‘මන්නා රමේෂ්’ නැමැත්තා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

පසුගිය 07 වැනිදා ඔහු මෙරටට ගෙන ඒමෙන් අනතුරුව පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ලබාගත් නියෝගයෙන් අනතුරුව ඔහුව අද (10) අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ෴


රන් මිල තවත් ඉහළට

(10.05.2024 – 16:52 +0530 – hirunews.lk/sinhala)

දේශීය රත්තරන් වෙළඳපොළ තුළ රන් මිල අද (10) තවත් ඉහළ ගොස් තිබෙනවා.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 179,400 යි.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 195,650 යි ෴


අකුණු සැර වැදී හදිසි ප්‍රතිකාර ඒකකය සම්පූර්ණයෙන්ම විනාශයි

(10.05.2024 – 16:52 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාවත් සමග ඇති වූ අධික අකුණු සැර හමුවේ වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (10) පස්වරුවේ අකුණු සැර වැදීමෙන් මෙලෙස එම ඒකකය විනාශයට පත් වී ඇති බවයි.

අකුණු සැර වදින අවස්ථාවේ එහි රෝගීන් සිව් දෙනෙකු (4) ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, ඔවුන් කඩිනමින් ඉන් ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අකුණු සැර වැදීමෙන් එම ඒකකයේ තිබූ උපකරණ සියල්ල මුළුමනින්ම විනාශ වී ඇති බවයි.

රෝහල් ආරංචි මාර්ග පවසන අන්දමට විනාශ වූ දේපළවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි ෴


සබරගමුව විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා ගැන සී.අයි.ඩී. පරීක්ෂණ

(10.05.2024 – 17:19 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට භාරදීමට නියමිතව තිබෙනවා.

ඉකුත් 08 වැනිදා ‘කෝප් කමිටුවේ’දී අනාවරණය වූ කරුණු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලබාදෙන වාර්තාවෙන් පසුව විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

2007 වර්ෂයේදී පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට රු. 1,494,543 ක් මූලික වියදම් ලෙස දරා තිබුණ ද, එම ඉදිකිරීම් ආරම්භ නොකිරීම පිළිබඳවද ‘කෝප් කමිටුවේ’ අවධානය යොමුකොට තිබුණා.

එසේම නව වෛද්‍ය පීඨවල වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ කමිටුවේ අවධානය යොමු කළ බවද නිවේදනයේ සඳහන් වනවා.

පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලු හා විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව’ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්තාවේදී මේ බව අනාවරාණය වූ බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන් ෴


අහුංගල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා ජීවිතක්ෂයට

(10.05.2024 – 21:45 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ල ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මරදාන, අහුංගල්ල ප්‍රදේශයේයි.

එහිදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අහුංගල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අහුංගල්ල ප්‍රදේශයේ මීට දින දෙකකට (2) පෙරද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *