සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි

සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි


සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි

(10.05.2024 – 13:15 +0530 – hirunews.lk/sinhala)

සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී අදාළ තරුණිය මෙසේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වට්ස්ඇප් ඔස්සේ එම ව්‍යාපාරිකයා පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇති අතර සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසට ඔහු කළ දැනුම්දීමක් අනුව එම තරුණිය ඇගේ සැමියා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගොස් තිබෙනවා.

පසුව ඇගේ සැමියාව පහළ මාලයේ රඳවා තරුණ විවාහක කාන්තාව උඩුමහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ෴


පබ්බතාරාම පැරණි විහාර සංකීර්ණයක් නාඋල බඹරගහවත්තෙන් හමුවෙයි

(10.05.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 1900 ක් ‘පැරණි පබ්බතාරාම සංකල්පය’ට සැකසූ ඉපැරණි විහාර සංකීර්ණයක නටඹුන් ‘නාඋල බඹරගහවත්ත ප්‍රදේශයෙන්’ සොයාගෙන තිබෙනවා.

වසර 1900 ක ඉතිහාසයකට නැකම් මේ ඉපැරණි විහාර සංකීර්ණය තුළ වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටඹුන් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාල නිලධාරින් හා කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක ඇතුළු කණ්ඩායමක් විසින් ඊයේ (09) මෙම අනාවරණය සිදුකළා ෴


විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට

(10.05.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)

වසර 28 කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) පැවති ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

‘ජාතික සයිබර් ආරක්ෂණ පනත’ මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, සුහුරු පන්ති කාමර 1000 ක් ලබාදීමට කටයුතු කර ඇති අතර, මෙම වසර අවසානයට පෙර තවත් පාසැල් 500 ක් සඳහා සුහුරු පන්ති කාමර ලබාදීමට කටයුතු කරන බවත් තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන් සහ NVQ 4 සුදුසුකම්ලාභීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පවසනවා ෴


‘ක්‍රිප්ටෝ මුදල්’ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

(10.05.2024 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතයෙන් ගනුදෙනු කිරීම නීත්‍යනුකූල නොවන බව ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ’ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ හරහා මුදල් ආයෝජනය කිරීම තුළින් පුද්ගලයින් වංචාවලට හසුව ඇති අතර මුදල් අහිමි වී පාඩු සිදුවී ඇති බවයි.

එමෙන්ම තවමත් ‘ක්‍රිප්ටෝ මුදල් ඒකකය’ ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් භාවිත වන බවක් දක්නට නොලැබෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ‘ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය’ සම්බන්ධයෙන් මේ වන විට මහ බැංකුවේ අදාළ අංශ අධ්‍යයනය කරමින් සිටින බවයි ෴


කූඩුවේ හිටපු සැකකරු එක්ක ගංජා උරපු පොලිසියේ 5 කගේ වැඩ තහනම්

(10.05.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ගංජා ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඛෙලිඅත්ත පොලිස් සිරමැදිරියේ රඳවා සිටි පුද්ගලයකුගෙන් ගංජා ලබාගෙන පානය කළැයි කියන පොලිස් සැරයන්ලා තිදෙනකුගේ (3) සහ පොලිස් කොස්තාපලයන් දෙදෙනකුගේ (2) වැඩ පෙරේදා (08) සිට වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය ‘හිරු නිවුස්’ වෙත ප්‍රකාශ කාළා.

තංගල්ල සහකාර පොලිස් අධිකාරි (I) ට ලැබුණු තොරතුරක් මත මූලික විමර්ශනයක් පවත්වා අනාවරණය කරගත් තොරතුරු අනූව තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් මෙම පොලිස් නිලධාරීන් පස්දෙනාගේ (5) වැඩ තහනම් කළ බවයි පොලිසිය පවසන්නේ.

ගංජා ග්‍රෑම් පහක් (5) ළඟ තබාගෙන සිටියේ යැයි කියමින් අත්අඩංගුවට ගත් සකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බෙලිඅත්ත පොලිස් සිර මැදිරියේ රඳවා සිටිය දී ඔහුට එක් පොලිස් නිලධාරියකු පිටතින් ගංජා ගෙනැවිත් ලබාදී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා.

එමෙන්ම සිර මැදිරියේ සිටි සැකකරු ලවා ගංජා සුරුට්ටු ඔතවාගෙන පානය කර තිබෙන බවට ද තොරතුරු ලැබුණු බව පොලිසිය පවසනවා.

මේ අතර පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු ද ගංජා පානය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මේ අනූව පොලිස් සිර මැදිරිය තුළ තිබී ගංජා මිලි ග්‍රෑම් 280 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිදුකළ ප්‍රකාශය ගැන කඩිනම් විමර්ශන

(10.05.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දුන් ප්‍රකාශය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදුකර අපරාධමය වරදක් කර ඇත්නම් සුදුසු පියවර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ප්‍රකාශය සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (10) යළි කැඳ වූ අවස්ථාවෙදියි.

නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ‘කාවින්ද ජයවර්ධන’ සහ ‘ජන අරගල ව්‍යාපාරයේ පුරවැසියෝ’ යන අය ගොනු කර ඇති පැමිණිලි සම්බන්ධව ද මීට සමඟාමීව විමර්ශණය කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වෙනුවෙන් නීතිඥ රජිත ලක්මාල් කරුණු දක්වමින් පැවසූවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාගය අවසානයේ මෛත්‍රීපාල සිරිසේන වරදකරු වී ඇති බවත් මේ වන විටත් ඔහු එම පෙත්සම්කරුවන්ට වන්දි ගෙවමින් සිටින අයෙක් බවයි.

මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ප්‍රකාශය සත්‍ය ද අසත්‍ය ද හා වැඩිමනත් කරුණු අධිකරණයට නොපවසා සඟවාගෙන සිටින්නේ නම් ඒ සම්බන්ධව ද කඩිනම් විමර්ශන කලයුතු බවත් නීතිඥවරයා කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නඩුව ජුනි 26 යළි කැඳවීමට නියමිතයි ෴


සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පැමිණිලි

(10.05.2024 – 08:48 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක (2) සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් ය.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගත කර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර තිබෙන බව පැවසෙයි.

අදාළ අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර ඇති බවද ‘අද දෙරණ’ කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

+++++++++

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිළිබඳ ආන්දෝලනයක් – “මේක බරපතළ තත්ත්වයක්” (10.05.2024)

+


යුද හමුදා මූලස්ථානයෙන් නාමලේඛනයක් උස්සලා

(10.05.2024 – 11:12 +0530 – sinhala.adaderana.lk)

රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ බව කියන මේජර් ජෙනරාලයෙකු සහ සැරයනයෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

විශ්‍රාමික මේජර් ජෙනරාලයෙකු වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබේ.

එලෙස සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ‘විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය’ යුද හමුදා මූලස්ථානයෙන් ලබාගනු ලැබුවේ ඔහු විසින් බවය.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරයි ෴


ගිනිතබා විනාශ කළ යතුරුපැදියක් හමුවෙයි

(10.05.2024 – 10:50 +0530 – sinhala.adaderana.lk)

ගිනිතබා විනාශ කරන ලද යතුරුපැදියක් පෞද්ගලික කුරුඳු ඉඩමක තිබී සොයාගෙන ඇත.

ඒ, කොස්ගොඩ , සුදුවැලිපොත ප්‍රදේශයේදීය.

මෙම යතුරුපැදිය පසුගියදා අහුන්ගල්ලේ වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදිය බවට පොලීසිය සැක කරයි.

අද (10) පෙරවරුවේ කුරුඳු කැපීමට ගිය අදාළ ඉඩමේ හිමිකරු පිළිස්සුණු යතුරුපැදිය දැක කොස්ගොඩ පොලීසියට දැනුම්දී තිබේ.

කොස්ගොඩ පොලීසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපාරාධ අංශයේ නිලධාරින් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

පෙරේදා (08) දිනයේදී අහුංගල්ලේ දී සිදුකළ වෙඩිතැබීමෙන් 54 හැවිරිදි කුරුඳු කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් මියගොස් තිබුණි.

අහුංගල්ලේ, ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකට එදින රාත්‍රී 07:40 ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තවත් පුද්ගලයෙක් සමග පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

මෙහිදී ඝාතනය කර තිබුණේ ‘කීර්තිසේන ආබෲ’ නමැත්තෙකි.

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා දකුණේ සිදුකළ ඝාතන සහ අපරාධ කිහිපයක සැකකරුවෙක් ලෙස සැලකෙන ‘බබා’ නමැත්තාගේ පියා බවය.

දකුණේ පාතාල කල්ලි දෙකක් වන ‘කොස්ගොඩ සුජී’ සහ ‘රත්ගම විදුර’ පාර්ශ්ව අතර පවතින ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.

දියවැඩියාව රෝගයෙන් පීඩාවිඳි මරණකරු අසනීප තත්ත්වය උත්සන්නවී වමනය දමමින් සිටියදී වෙඩික්කරු ඔහුට නිවසින් පිටතට කැඳවා වෙඩිතැබීම සිදුකරන අයුරු CCTV වීඩියෝවක දැක්වෙයි.

කුරුඳු කම්කරුවකු වන ඔහුට කිසිදූ අපරාධමය චෝදනාවක් නොමැතිවූවත් මේ වනවිට ඩුබායිහී සැඟව සිටින ඔහුගේ පුත්‍රයා වන ‘නදීෂ් කුමාර’ නොහොත් ‘අහුංගල්ලේ බබා’ නමැත්තා දකුණේ සිදුවූ ඝාතන කිහිපයකට චෝදනා එල්ල වූවෙක් බව පොලීසිය සඳහන් කරයි ෴


මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(10.05.2024 – 10:18 +0530 – sinhala.adaderana.lk)

රාගම පොලීසියට ලද තොරතුරක් අනුව මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ඒ රාගම වල්පොල බටලන්ද ප්‍රදේශයේදීය.

එහිදී මෝටර් රථය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 102 යි මිලිග්‍රෑම් 940 ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු රාගම කැන්දලියැද්ද ප්‍රදේශයේ පදිංචි ‘බාස් රොෂාන්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික බවද පොලීසිය සඳහන් කරයි.

අදාළ සැකකරු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවද හෙළිවී ඇත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *