රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්


රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

(10.05.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala)

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරිමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා.

ඒ අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් ‘ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල්’ නැමති පුද්ගලික සමාගම ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ (09) නිෂ්ප්‍රභ කරමින්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය සහිතව විනිසුරු ශෂී මහේන්ද්‍රන් මෙම තීන්දුව ලබා දුන්නා.

අදාළ ‘මෝටර් රථ ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බදු වංචාවක්’ සිදුවී ඇතැ‍යි සදහන් කරමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම්කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එහිදී පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බැවින් මෝටර් රථයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කිරීමටයි රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත්, අදාළ සමාගම ඊට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම මෝටර් රථ ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මානු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් නව විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ ෴


දරුවන්ට මරු කැඳවන සෙල්ලම් බඩු

(10.05.2024 – 07:26 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළෙන් මිලදී ගන්නා බැටරියෙන් ක්‍රියාත්මක කරවන සෙල්ලම් බඩු දරුවන්ට අහිතකර බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

මෙම සෙල්ලම් බඩුවල ලිතියම්, සිල්වර් ඔක්සයිඩ් සහ ඇල්කලයින් වර්ගයේ බොත්තම් බැටරි (Button batteries) ඇති බැවින් ඒවා දරුවන් ගිලින්න, කනේ හෝ නාසයේ දමා ගැනීමට හැකි බවයි එම වෛද්‍යවරයා පැවසුවේ.

ඔහු සඳහන් කර සිටියේ දරුවන් විසින් මෙම බැටරි ගිල දැමුවහොත් එහි ඇති විද්‍යුත් රසායනික ක්‍රියාකාරීත්වය හරහා එය දරුවාට මාරාන්තික විය හැකි බවයි.

ආහාර මාර්ගයේ මුල්ම කොටස (ගලනාලය) ස්වාභාවිකවම පටු නිසා මේවා ගිලුණු විට හානිය (සිදුරුවීම) උපරිමයෙන් සිදුවිය හැකි අතර ගිලුණු බැටරිය ආමාශය දක්වා ගමන්කොට අධික හානියක් සිදුවිය හැකි බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ.

එමෙන්ම මේ හරහා ආමාශයට පවා මාරාන්තික හානි සිදුවිය හැකි අතර ස්වසන මාර්ගයේ සිරවීමෙන් ජීවිත හානි පවා සිදු වීමට හැකි බවද සඳහන්.

එමෙන්ම වෛද්‍යවරයා පැවසුවේ මෙවැනි අනතුරකට කුඩා දරුවකු ලක් වූ වහාම දරුවා රෝහලකට ගෙන ආ යුතු අතර ඒ වන තෙක් ප්‍රථමාධාරය වශයෙන් පිරිසිදු මී පැණි තේ හැදි 2 ක් බැගින් සෑම විනාඩි 10 කට වරක් ලබා දිය යුතු බවයි ෴


සාපෙළ සිසුවෙකුට පහරදුන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(10.05.2024 – 08:01 +0530 – hirunews.lk/sinhala)

රත්ගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විභාග මධ්‍යස්ථානයකට ඇතුලු වී සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම – ගම්මැද්දගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 හා 17 වියේ පසුවන එම පාසලේම උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් (2).

පෙරේදා (08) දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑ සිසුවාගේ හිසට තුවාල සිදුවුවත් ඔහු විභාගයට පෙනි සිටි බවයි පොලීසිය පැවසුවේ.

පසුව සිද්ධියට සම්බන්ධ සිසුන් දෙදෙනා (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා ෴


8,400 කට ස්ථිර පත්වීම්

(10.05.2024 – 08:25 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල සේවය කරනු ලබන අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සේවකයින් 8,400 ක් මේ මාසය ඇතුළත ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

ඒ ‘හිරු ටීවී’ ඔස්සේ ඊයේ (09) රාත්‍රීයේ විකාශය වූ ‘බලය දේශපාලන වැඩසටහන’ට එක් වෙමින් ෴


යාල කැළයේ ජාන සොරකමක් : ජීවීන් 400 ක් සමග ඉතාලි පිය – පුතු අත්අඩංගුවට

(10.05.2024 – 08:28 +0530 – hirunews.lk/sinhala)

යාල රක්ෂිතයේ සිදුකරගෙන ගිය ජාන සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ජීවීන් 400 ක් සමග මෙම ජාන සොරකමට සම්බන්ධ ඉතාලි ජාතික පිය – පුතු යුවලක් අත්අඩංගුවට ගත් බවයි යාල ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

සාෆාරි රියදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව සොදිසි මෙහෙයුමක් දියත් කළ වන ජීවී නිලධාරීන්, රක්ෂිතය මැද මෝටර් රථයක් නවතා සමනලුන් ඇතුලු කෘමීන් අල්ලමින් සිටි මෙම ඉතාලි ජාතික පිය – පුතු යුවල හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක අතර මොවුන්ට උපකාර කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් ෴


තවත් විදෙස් රැකියා 30,000 ක්

(10.05.2024 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ තවත් රැකියා අවස්ථා 30,000 ක් පමණ මේ වසර (2024) තුළ ලැබීමට නියමිත බව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පවසනවා.

කාර්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ, ඇතැම් රැකියා අවස්ථා, ‘පිළිගත් බලපත්‍ර ලාභී නියෝජිත ආයතන’ වෙත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

මීට අමතරව සයිප්‍රස් ඇතුලු මැදපෙරදිග රටවල නව රැකියා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස 2 ක තුළ ආරම්භ කරන බව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ වැඩිදුරටත් සඳහන් කළා ෴


බිරිද ඝාතනය කළ සැමියා වසර 12 කට පසු පන්සලකින් හමුවෙයි

(10.05.2024 – 08:56 +0530 – hirunews.lk/sinhala)

තම බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කිරිමේ චෝදනාවට මරණ දඩුවම නියම වී වසර 12 ක කාලයක් පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු මාතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකරු වැලිගම, හේන්වල ප්‍රදේශයේ විහාරස්ථානයක රැදී සිටියදීයි.

අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා 2012 වසරේ දී තම 37 හැවිරිදි බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කර තිබුණා.

පසුව මීටියාගොඩ පොලීසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර තිබුණේ.

වසරකින් පසු ඇප ලැබීමෙන් අනතුරුව ඔහු අතුරුදන්ව තිබූ අතර විත්තිකරු නොමැතිව බලපිටිය මහාධිකරණයේ විභාග වු නඩුවේ දී ඔහුට මරණ දඩුවම නියම කෙරුණා.

කෙසේ වෙතත් දඩුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ, පොලිසියට ඔහුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ඔහු වැලිගම විහාරස්ථානයක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්‌ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණා.

එහිදී සැකකාර පුද්ගලයා පලා ගොස් ඇති අතර පොලීසිය කිලෝ මීටරයක් පමණ දුරක් ලු‍හුබැඳ ගොසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ෴


අධික උෂ්ණත්වය හේතුවෙන් තවත් මරණයක්

(10.05.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

යාපනය – පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු (1) අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිවඥානම් ජයකුමාර් (45) නැමති මොහු දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට නිවසට පැමිණ සිටියදී මිදුලේ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සිහිසුන්ව සිටි නිසා වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කොට ස්වල්ප වේලාවකදී ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය අයගේ මෘත ශරීරය යාපනය ශීක්ෂණ රෝහලට යවා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අධික රශ්මිය නිසා ඔහු ‘විජලනයෙන් මියගොස්’ ඇති බවයි.

මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස තෙලිප්පලෙයි පොලිසිය විසින් පවුලේ ඥාතීන් වෙත බාර දී තිබෙනවා.

මේ වන විට යාපනයේ පුද්ගලයින් හය දෙනෙකු (6) අධික රශ්මිය හේතුවෙන් මියගොස් ඇති බවද සඳහන්.

යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ මේ වන විට ඉන්දියවේ අධික රශ්මිය නිසා මියගොස් ඇත්තේ පුද්ගලයින් 6 දෙනෙකු පමණක් වූවත් ජනගහනය අනුව සලකා බලන විට යාපනයෙන් මියගිය සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් බවයි ෴


වැවිලි සමාගම් හිමිකරුවන් මැරයන් යොදාගෙන වතුකරයේ ජනතාවට හිංසා කරන බවට මනෝ ගනේෂන්ගෙන් හෙළිදරව්වක්

(10.05.2024 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වැවිලි සමාගම්, විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සහ ප්‍රාදේශීය මැරයන්ගෙන් යොදා ගනිමින් වතුකරයේ ජනතාවට හිංසා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා.

ඔහු පැවසුවේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතුකරයේ මෙවැනි ක්‍රියා නිරන්තරයෙන් සිදු වන බවයි.

මෙම මැරයන් විසින් වතුකරයේ ජනතාවගේ ගෙවල් විනාශ කරන බවත්, කම්කරුවන් කෑමට වගා කරන ගහකොළ විනාශ කරන බවත් දුප්පත් කම්කරුවන්ගේ ගස් කපා ඉවත් කරන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මීට දින දෙකකට (2) ඉහතදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්ගිරිය දුම්බර වත්තේ කම්කරුවන්ගේ ලයින් කාමරවලට පැමිණ ඇති මෙම කුලී මැරයින් පුද්ගලයින් රැකියාවට නොපැමිණීම හේතුවෙන් සේවක කාන්තාවකට පහර දී තිබෙනවා.

මේ හේතුවෙන් සේවක සේවිකාවන් රෝහල්ගත කර ඇති බවද සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසන්නේ මෙය වහල්භාවයේ ලක්ෂණයක් වන බවයි.

+


‘මුජිබර් රහුමාන්’ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

(10.05.2024 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘මුජිබර් රහුමාන්’ අද (10) දිවුරුම් දී තිබෙනවා.

පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිෂම ඊයේ (09) පස්වරුවේ ගැසට් නිවේදනය නිකුත් කළා.

ඒ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය අදාළ පුරප්පාඩුව පිළිබඳ කළ දැනුවත් කිරීම අනුවයි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ සමගි ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහායි මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූයේ.

+


කට උත්තරයක් ගැනීමට පෙර හේතු කියන්න චක්‍රලේඛයක්

(10.05.2024 – 10:13 +0530 – hirunews.lk/sinhala)

කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශවය දැනුවත් කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් කෙටුම්පත් කර ඇති බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන විදුල රැළපනාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (09) සලකා බැලූ අවස්ථාවේදීයි.

සමාජ මාධ්‍යයේ පළ කරන ලද තොරතුරක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය විසින් කළ දැනුම්දීමකට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබුණා.

අදාළ පෙත්සම ජුනි මස 24 වනදා යළි කැඳවීමට නියමිතයි ෴


සංචාරක පැමිණීම 800,000 ඉක්මවයි

(10.05.2024 – 10:47 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින්ගේ පැමිණීම් 800,000 ඉක්මවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සැලකිය යුතු සන්ධිස්ථානයට පත්ව තිබෙනවා.

මැයි මස මුල් සතිය තුළ පමණක් ශ්‍රී ලංකාව සංචාරකයින් 28,525 ක් පැමිණ ඇති අතර ඒ අනුව මුළු සංචාරකයින් සංඛ්‍යාව 813,176 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සංචාරකයින් 5,600 ක් කරමින් ඉන්දියාවෙන් ද, සංචාරකයින් 3,170 ක් මාලදිවයිනෙන් සහ සංචාරකයින් 1,888 ක් එක්සත් රාජධානියෙන්ද පැමිණ තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *