අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්


අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

(09.05.2024 – 21:07 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ ඊයේ (08) සිදු කළ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කොස්ගොඩ සුජී’ගේ පාර්ශ්වයෙන් කරන්නට ඇතැයි සැක කරන බවයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා ජීවිත්කෂයට පත් වුණා.

අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රි 07:00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ අතර, ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් මිය ගියේ අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ‘කීර්ති ආබෲ’ වන අතර, ඔහු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අහුංගල්ලේ බබා’ හෙවත් ‘නදීශ ආබෲ’ නමැත්තාගේ පියායි.

වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් එම වෙඩි තැබීමෙන් පසු ඊට ආසන්න තවත් නිවසකට ද වෙඩි තබා තිබුණා.

එම නිවස දැනට ඩුබායි හි සිටින ‘මධුෂාන් ආබෲ’ නමැති පුද්ගලයෙකුට අයත් බව පොලිසිය පැවසුවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ද ඊයේ (08) රාත්‍රියේ පැවැත්වුණා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර කලක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවයි.

‘කොස්ගොඩ සුජී’ගේ පාර්ශ්වය සහ ‘අහුංගල්ලේ බබා’ නියෝජනය කරන ‘රත්ගම විදුර’ගේ පාර්ශ්වය අතර එම ගැටුම පවතින අතර, මෙම වෙඩි තැබීම ද ‘කොස්ගොඩ සුජී’ගේ පාර්ශ්වයෙන් කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනිදා අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ‘අහුංගල්ලේ බබා’ නමැති අපරාධකරුගේ සහෝදරියක් සහ ඇගේ මාස 4 ක් වයසැති බිළිඳෙකු තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළා.

එම වෙඩි තැබීමේ චෝදනාව එල්ල වුණේ ‘කොස්ගොඩ සුජී’ගේ පාර්ශ්වයටයි.

මාර්තු මස පළමු වැනිදා (01) අහුංගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් ‘කොස්ගොඩ සුජී’ගේ ඥාතියෙකු වන ‘ජෝතිමුනි නීල් කුසුම් කුමාර’ නොහොත් ‘පච්ච මංජු’ නමැති පුද්ගලයෙකු මියගිය අතර ‘අහුංගල්ලේ බබා’ නියෝජනය කරන ‘රත්ගම විදුර’ගේ පාර්ශ්වයට එම වෙඩි තැබීමේ චෝදනාව එල්ල වුණා.

පොලිසිය සැකකරන්නේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීම එම අපරාධ රැල්ලේ තවත් එක් අවස්ථාවක් බවටයි.

+


ඖෂධ වංචාවට අත්අඩංගුවට ගත් NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරියා රිමාන්ඩ්

(09.05.2024 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින්’ ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ලබන මැයි 20 වැනිදා දක්වා බවයි සඳහන් වන්නේ.

+


ගෙවුණු වසර 13 ට ඇමති පුටු 111 වතාවක් මාරු කරලා

(09.05.2024 – 18:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ එකසිය එකොළොස් (111) වාරයක් වෙනස් වී ඇතැයි ‘වෙරිටේ රිසර්ච්’ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

ආසන්න වශයෙන් මාසයකට එක් වතාවක් ගැසට් පත්‍රයක් මගින් අමාත්‍ය මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකාව වෙනස් කර ඇති බවත් එලෙස මසකට වරක් ආමාත්‍යංශ සංයුතිය වෙනස් වනවිට ආයතනයකට ඵලදායි ලෙස වැඩ කළ නොහැකි බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් සඳහන් කළා.

උදාහරණයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දස වතාවක් 2010 සිට 2023 වසර දක්වා කාලය තුළදී අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු කර ඇති බවත් 2020 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර ඇති බවත් ආචාර්යවරයා එහිදී පැවසුවා.

මෙරට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබෙන බවත් එය ප්‍රධාන කොටස් දෙකකට (2) බෙදෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

එක් කොටසක් නම් අමාත්‍යංශවලට ගැළපෙන විෂයන් වෙන් නොකිරීම බවත් වරක් කෘෂිකර්මයට අදාළ වැඩ කොටස් අමාත්‍යංශ නවයකට බෙදා තිබූ බවත් ඔහු සඳහන් කළා.

ආචාර්යවරයා පෙන්වා දුන් අනෙක් කොටස නම් අමාත්‍යංශවලට නොගැළපෙන වැඩ කොටස් එක් කිරීම බවත් වරක් සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු එකතු කර තිබූ බවයි.

අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ තාර්කික බව තිබිය යුතු බවත් එය ඇති කිරීම සඳහා ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය කළ අධ්‍යනයක් මගින් අමාත්‍ය මණ්ඩල 15 ක ආකෘතියක් නිර්මාණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


රට පුරා වෙඩි තැබීම් 42 ක්

(09.05.2024 – 18:34 +0530 – hirunews.lk/sinhala)

2024 ජනවාරි සිට අද (09) දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 42 ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

වෙඩි වැදීමෙන් මරණ 27 ක් සිදුවි 17 දෙනකු තුවාල ලබා අතැයිද වාර්තා වනවා.

මේ අතර වෙඩි තැබීම් 12 කින් කිසිවකුට හානි සිදුව නැති බවයි පැවසෙන්නේ.

පාතාලයට අමතරව පෞද්ගලික ආරවුල් මත ඇතැම් වෙඩි තැබීම් සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා ෴


O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තැන් කිහිපයකින් පැමිණිලි WhatsApp මගින් පිළිතුරු හුවමාරු කර ගන්න හදලා

(09.05.2024 – 18:34 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අද (09) පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිට වී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් තහවුරු නොවන බවත් නමුත් කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක විභාගවලට පෙනී සිටින දරුවන් කිහිප දෙනෙකු හොරෙන් සගවාගෙන සිටි දුරකථනවලට WhatsApp මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමට උත්සාහ කර තිබෙන බවට තහවුරු වූ බවත් විභාග කොමාසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර හිරුට සඳහන් කර සිටිනවා.

මේ පිළිබඳව මේ ව්න විට පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිසුන්ට එරෙහිව උපරිම නීතියානුකූල පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

විභාග කොමාසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ හසලක ප්‍රදේශයේ ද මේ ආකාරයේ ම සිද්ධියක් වාර්තා වූ බවත් ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ සිදුවීම පිළිබඳව තමන් හෙට (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද ඔහු සඳහන් කර සිටියා ෴


ඩයනා වෙනුවට මුජිබර් ගැසට් කෙරේ

(09.05.2024 – 19:38 +0530 – hirunews.lk/sinhala)

‘ඩයනා ගමගේ’ පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් ‘මුජිබර් රහුමාන්’ නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

+


දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක (2) වැඩ අවසන් අදියරේ

(09.05.2024 – 22:47 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර දෙකෙහි (2) වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙගා වොට් 1 බැගින් වූ මෙම ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල, කිරිබ්බන් වැව මත ඉදි කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ව්‍යාපෘති දෙක (2) කොරියානු රජයේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යංශයේ කොරියානු තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත සහ යූෂින් එන්ජිනියරින්, බෝසන් පවර්ටෙක් සහ ස්කොට්‍රා සමාගම්වල තාක්ෂණික සහ ඉදිකිරීම් සහාය මත ක්‍රියාත්මක වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ වී ඇති අතර 2024 ජුලි මස වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් ෴


මැයි 09 වැනිදා මෙරට ඉතිහාසයට කළ කළු පැල්ලම – “අතීතය අමතක කරන්න එපා කවදාවත්”

+


විදෙස් උවමනාවට රාජ්‍ය නායකයා පත්කල යුගය අවසන් – පාර්ලිමේන්තුවේ 150 ක් මේ පාර ගෙදර (09.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *