ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්


ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(09.05.2024 – 12:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කෙරුණා ෴

+

++++++++++

+

ඩයනා අත් අඩංගුවට ගන්නැයි සුදා ඇතුලු සමාජක්‍රියාකාරීන් CIDයට (09.05.2024)

+


රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට චක්‍රලේඛයක් නිකුත් වෙයි

(09.05.2024 – 12:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත කාලය තුළ විදෙස්ගතව පැවති වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමැතිය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව සඳහන් වෙනවා.

විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා කිරීමට නොහැකි වු රජයේ නිලධාරීන්ට වැටුප් රහිත සහ වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් කොටයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

එමෙන්ම, මෙතෙක් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන්ට සේවය හැරයාමේ නිවේදන නිකුත් කරන ලෙස ද මෙම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා ෴


අධික උණුසුම හේතුවෙන් පුද්ගලයින් හතරදෙනෙකු (4) ජීවිතක්ෂයට

(09.05.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහලේ විශේෂඥ වෛද්‍ය පී. නන්දරාජා සඳහන් කළේ.

ඔවුන් සියලුදෙනා නිධන්ගත රෝගවලින් පෙලූණු පුද්ගලයින් බවත් පවතින අධික රස්නය සමග ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී අති බවද වාර්තා වනවා.

මියගිය හතරදෙනාම (4) වැඩිහිටියන් වන අතර තවත් වැඩිහිටි පුද්ගලයෙක් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණා.

එමෙන්ම, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සටහන් වුයේ සෙල්සියස් අංශක 37 ක් ලෙසයි ෴


ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(09.05.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොමිසන් සභාවට පැවරී ඇති බලතල අනුව සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බවයි.

+


විදුලි බිලේ අගය දැක ජනතාවට ‘විදුලි සැර වැදිලා’

(09.05.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)

බලධාරීන්ගේ අතපසුවීම් හේතුවෙන් මෙරට ජනතාවට බොහෝ අවස්ථාවලදී විවිධ කරදරවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එලෙස සිය රාජකාරී අතපසු කළ රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාවක් හේතුවෙන්, රුපියල් ලක්ෂ ගණනක අමතර මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට සිදුව තිබෙන පාරිභෝගිකයින් පිරිසක් පිළිබඳ පුවතක් අපට ගලෙන්බිඳුණුවැවෙන් වාර්තා වුණා.

අනුරාධපුර ගලෙන්බිදුනුවැව මහසෙන්පුර ගම්මානයේ ජීවත්වන මේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ, දෛනික කුලී පදනම මත වැඩ කිරීම, මත්ස්‍ය රැකියාව සහ ගව පාලනයයි.

තම දෛනික ජීවිතය කටුක ලෙස අරපිරිමසා ගන්නා මෙම ජනතාවට මේ වනවිට ඔවුන් කිසිසේත් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ, අප්‍රේල් මාසයේදී භාවිත කළ විදුලිබලය වෙනුවෙන් එක් පවුලකට රුපියල් 48,000 ඉක්මවූ මාසික විදුලි බිලක් ගෙවීමට සිදුව තිබීමෙන්.

පසුගිය දිනක එම ප්‍රදේශයට පැමිණි කැකිරාව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඔවුන්ට පවසා ඇත්තේ, 2020 වසරේ සිට 2024 වර්ෂය දක්වා කාලයේදී එම ප්‍රදේශයට අනුයුක්තව සිටි විදුලි මනු කියවන්නාට සිදු වූ අතපසුවීමක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

අදාළ හිග මුදල ගෙවීම සඳහා එම ජනතාවට වසරක (1) කාලයක් ලබාදෙන බවත් ඒ සඳහා කිසිදු පොලී මුදලක් ඔවුන්ගෙන් අයකර නොගන්නා බවත් දන්වමින් කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියක්ද මෙම ජනතාවට යොමු කර තිබෙනවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත, මෙම ජනතාව තමන්ගේ මාසික විදුලි බිල ගෙවා දමන්නේත් ඉතා අපහසුවෙන්.

මනු කියවන්නාගේ අතපසුවීම පාරිභෝගිකයින් වන තමන්ගෙන් අයකර ගැනීමට විදුලිබල මණ්ඩලය පියවර ගැනීම ඉතා අසාධාරණ බව මෙම ජනතාව පෙන්වා දෙනවා.

රාජ්‍ය නිලධාරීන්ගේ අතපසුවීම් ජනතාව වන තමන්ගෙන් පිරිමසා ගැනීමට ක්‍රියා නොකර රාජකාරී නිසි ලෙස ඉටු නොකළ අදාළ නිලධාරීන්ගෙන් ඒවා අය කරගන්නා ලෙසද මෙම ජනතාව ඉල්ලා සිටිනවා.

+


යුක්‍රේන – රුසියා යුද පිටියේ දී මෙරට රණවිරුවන් 08 ක් ජීවිතක්ෂයට

(09.05.2024 – 15:55 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වූ හිටපු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ඡාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි හරේන්ද්‍ර ජනකාන්ත කියා සිටියේ, ඉන් 06 දෙනෙකු රුසියාවේදී සහ දෙදෙනෙකු (02) යුක්‍රේනය දී මියගොස් ඇති බවයි.

මේ දක්වා කරන ලද පරික්ෂණවලදී යුද්ධය සදහා රුසියාවට හිටපු හමුදා සාමාජිකයින් 60 දෙනෙකු සහ යුක්‍රේනයට 23 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

+

+++++++++

රුසියානු හමුදාවෙන් මිදී අද (09) උදෑසන ලංකාවට ආ ලංකාවේ විශේෂ බලකායේ සෙබලා කියන කතාව | Talk with Chatura (09.05.2024)

++++++++

රුසියානු කුලී හමුදාවෙන් පලා ආ සෙබළාගේ බිහිසුණු අත්දැකීම… “සුරංගනා ලෝකයක් පෙන්නුවා…” (09.05.2024)

+


කුලියාපිටිය තරුණයාගේ ඝාතනයේ සැකකරුවන් වූ ‘සිඟිති සහ බිරිඳ’ රිමාන්ඩ්

(09.05.2024 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි ‘සුසිත ජයවංශ’ නමැති තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08) පැවැත්වුණා.

එහිදී එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මේ අතර, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන ‘සිඟිති’ නමැත්තා සහ ඔහුගේ බිරිඳ අද (09) යළි කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඔහුගේ සහ ඔහුගේ බිරිදගේ ඇප අවලංගු කළ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම අදාළ තරුණයාගේ සිරුර හමු වූ පණිරෙන්ඩාව රක්ෂිතය වෙත ‘සිඟිති’ නැමැත්තා රැගෙන යායුතු බව ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් බන්ධනාගාර නිළධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටත් 06 වැනි සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ නම්කොට ඉල්ලා ඇති පොලිස් නිළධාරීන් කැටුව ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකරන ලෙසයි.

+

+


පොලිස් නිලධාරියෙකුගෙන් කන්තාවකට හෙල්මට් ප්‍රහාරයක්

(09.05.2024 – 16:44 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු කටුවැල්ලේගම දාගොන්න වැව පාර ප්‍රදේශයේදී කාන්තාවකට පොලිස් නිලධාරියාගේ හෙල්මටයෙන් පහරදී මීගමුව රෝහලට ඇතුලත්කර තිබෙනවා.

එහිදී මෙම ගැටුම පෞද්ගලික ආරවුලක් මත සිදු වූ සිද්ධියක් බවයි කටාන පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පැවසුවේ.

අප වාර්තාකරු පැවසුවේ පහරකෑමට ලක් වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ සිද්ධිය වූ අවස්ථාවේ අදාල නිලධාරියා මත්පැන් පානය කර සිටි බවට පැවසූ බවයි.

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ කාන්තාව මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වනවා ෴


නීති විරෝධී ‘ලන්ච් ෂීට්’ කිලෝ 1625 ක් අත්අඩංගුවට

(09.05.2024 – 17:13 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී පොලිතීන් ‘ලන්ච් ෂීට්’ කිලෝග්රෑම් 1625 ක තොගයක් ඊයේ (08) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව ‘මධ්‍යම පරිසර අධිකාරිය’ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මධ්‍යම පරිසර අධිකාරිය පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒකාබද්ධව කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශවලදී වැටලීම සිදුකළ බවයි එම අධිකාරිය වාර්තා කළේ.

මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

කැස්බෑව, කහපොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නීති විරෝධී ‘පොලිතීන් ලන්ච් ෂීට්’ නිෂ්පාදනය කරමින් සිටියදී වැටලීම සිදුකර තිබෙනවා.

මේ අතර බෙල්ලන්විල පන්සල පාරේ ලොරි රථයක ගබඩාකර තිබුණු කිලෝග්රෑම් 125 ක නීති විරෝධී ‘පොලිතීන් ලන්ච් ෂීට්’ තොගයක් ද වැටලීමේ දී සොයා ගත්බව එම නිවේදනයේ දැක්වුණා.

‘ජාතික පාරිසරික පනතේ’ විධිවිධාන යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලොරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බවයි නිවේදනයේ සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *