රුපියල් කෝටි පහකට (5) වැඩි මත්ද්‍රව්‍ය සමඟ නර්තන ශිල්පියෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට (5) වැඩි මත්ද්‍රව්‍ය සමඟ නර්තන ශිල්පියෙකු අත්අඩංගුවට


රුපියල් කෝටි පහකට (5) වැඩි මත්ද්‍රව්‍ය සමඟ නර්තන ශිල්පියෙකු අත්අඩංගුවට

(09.05.2024 – 06:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පහකට (5) වඩා අධික වටිනාකමක් සහිත ‘කුෂ්’ තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියෙකු වන අතර, ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සඟවා ගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 278 ක් බරැති මෙම ‘කුෂ්’ තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා, ඒවා ඔහු සිය ගමන් මල්ලේ අසුරා ගෙන මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම නර්තන ශිල්පියා ඊයේ (08) දින රාත්‍රී 10:40 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා ෴


වැසිකිලියට යන බව පවසා සිරකරු පැන ගිහින්

(09.05.2024 – 07:09 +0530 – hirunews.lk/sinhala)

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියෙකු එම රෝහල් වාට්ටුවේ වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙසේ පලාගොස් ඇත්තේ වාද්දූව, දෙල්දූව, දෑවිරුගම ප්‍රදේශයේ පදිංචි, හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 2300 ක් සන්තකයේ තබාගෙන සිටියදී දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක්.

මෙම රැඳවියා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තවත් රැදවියෙකුගේ පහරදීමකට ලක්ව පසුගිය 06 දා රෝහල් ගතකර තිබෙනවා.

එහිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, වැසිකිලියට යන බව පවසා එහි ජනේලයෙන් පැනගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී පලාගිය රැඳවියා සොයා බන්ධනාගාර නිලධාරීන් සහ රෝහල් ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ‘වෛද්‍ය විජිත් ගුණසේකර’ අත්අඩංගුවට

(08.05.2024 – 18:03 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ‘වෛද්‍ය විජිත් ගුණසේකර’ CID විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර Immunoglobulin ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+


අහුන්ගල්ලේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්වෙයි

(08.05.2024 – 20.37 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල – බෝගහපිටිය ප්‍රදේශයේදී අද (08) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අහුන්ගල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගල‍යා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවද සඳහන්.

+


සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (09) උතුරු මැද වර්ජනයක

(09.05.2024 – 08:26 +0530 – hirunews.lk/sinhala)

සිය ඉල්ලීම් සඳහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා.

ඒ අනුව අද (09) පෙරවරු 08:00 සිට දහවල් 12:00 දක්වා පැය 4 ක කාලයක් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එමෙන්ම, අද (09) දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව ‘සමස්ත ලංකා හෙද සංගමය’ සඳහන් කළා ෴


ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන්ව විකුණලා

(09.05.2024 – 08:46 +0530 – hirunews.lk/sinhala)

‘ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක්’ මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම කාන්තාව ඇතුළු කාන්තාවන් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එහිදී ‘ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක’ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර මෙම ස්ථානය පවත්වාගෙන ගියත්, කිසිඳු වෛද්‍යවරයකු එම ස්ථානයේ රැඳී නොසිටිය බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා මෙම ස්ථානයේ රැඳී සිට මෙම වෘත්තියේ යෙදෙන බවට ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.

සැකකාරියන් 25 සහ 37 අතර වයසේ පසුවන පානදුර, ඇල්පිටිය, නිට්ටඹුව, කැටමුලාව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන බවයි පොලිසිය සඳහන් කළේ ෴


දන්සල් ලියාපදිංචි කරන ලෙස උපදෙස්

(09.05.2024 – 08:50 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය’ පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ලඟම ඇති ‘සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය’ට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බවයි ෴


ඡන්දය ලඟ නිසා දේශපාලකයින්ට ‘ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති’ තහනම්

(09.05.2024 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ‘ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති’ ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයට දන්වා තිබෙනවා.

එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ‘පැෆරල් සංවිධානය’ මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, අවසන් කළ ‘ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති’ ක්‍රියාත්මක කිරීමේදී දේශපාලඥයින් සම්බන්ධ කර නොගන්නා ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙතද මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා ෴


මෛත්‍රීගේ සභාපති ධුරයට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

(09.05.2024 – 10:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද (09) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේනම් ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා ෴


නව විදුලිබල කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

(09.05.2024 – 10:35 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, ඉන්ංජිනේරුවන් දෙදෙනෙකු (2) වන පුන්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන විසින්.

එහිදී පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ මෙම පනත් කෙටුම්පත මගින් විෂය භාර ආමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී ඇති බවයි.

එමගින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන බවත් එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙනවා ෴


ගිනිඅවි සමග සැකකරුවන් හතරක් (4) කොටුවෙයි

(09.05.2024 – 10:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට හා විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සමග සැකකරුවන් හතර දෙනකු (4) ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරණායක, කන්දකැටිය, මැදවච්චිය හා පුලස්තිපුර ප්‍රදේශවල සිදුකළ වැට්ලීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

මේ සැකකරුවන් වයස අවුරුදු 28, 32, 43 හා 53 වයසේ පසුවන තඹාල, රඹෑව, කලුගහදුර සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

‘යුක්තිය මෙහෙයුම’ට සමගාමීව තව දුරටත් වැටලීම් සිදුකරනවා ෴


යාපනයේ ඉඩමකින් බිම් බෝම්බ පහක් (5) හමුවෙයි

(09.05.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වේලනෙයි සරවනී ප්‍රදේශයේ ඉඩමකින් බිම් බෝම්බ පහක් (5) ආරක්ෂක අංශ විසින් 08 වනදා සොයා ගෙන තිබෙනවා.

එම ඉඩමේ අයිතිකරු විසින් එම බෝම්බ දැකීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව පළාතේ ග්‍රාම නිලධාරිවරයා හරහා පොලිසියට පැමිණිලි කොට ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය හා ආරක්ෂක අංශ සාමාජිකයින් පැමිණ එම බිම් බෝම්බ පහම (5) ඔවුන් භාරයට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ හමු වී ඇති බිම් බෝම්බ පහම (5) ‘පීඩන බෝම්බ’ වන අතර, ඒ බෝම්බ පහම (5) ජීව තත්ත්වයේ තිබී ඇති බවයි.

පසුව කයිට්ස් පොලිසිය විසින් කයිට්ස් අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයකට අනුව එම බිම් බෝම්බ පහ (5) පොලිස් විශේෂ කාර්ය බලකයේ හා යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් ලවා පුපුරවා විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා ෴


පාතාල සාමාජිකයින් 14 ක් රට වටෙන් කොටුවෙයි

(09.05.2024 – 11:57 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්තමක අපරාධ කල්ලි සාමාජිකයින් 03 ක් ඇතුලු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

රිකිල්ලගස්කඩ,කෙසෙල්වත්ත සහ මෝදර ප්‍රදේශවලදී මෙම පාතාල සාමාජිකයින් තිදෙනා (3) අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අවුරුදු 29, 43 හා 50 වයසේ පසුවන්නන් බවයි පැවසෙන්නේ.

පාතාලය හා සබඳතා පැවැත්වූ තවත් 11 දෙනකු අත්අඩංගුවට ගත්තේ කලුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාස මගින් බවයි වාර්තා වන්නේ.

විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර හා දකුණ පළාත් මූලිකව වැටලීම ආරම්භ කළේ මාර්තු මස 19 වැනි දිනයි.

එදා සිට ඊයේ (08) දක්වා සමස්ථ සැකකරුවන් හා සැකකාරියන් 927 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *