කුලියාපිටිය තරුණයාගේ ඝාතනය ගැන ප්‍රධාන සැකකාර ‘සිඟිති’ගේ මස්සිනා පාපෝච්චාරණය කරයි

කුලියාපිටිය තරුණයාගේ ඝාතනය ගැන ප්‍රධාන සැකකාර ‘සිඟිති’ගේ මස්සිනා පාපෝච්චාරණය කරයි


කුලියාපිටිය තරුණයාගේ ඝාතනය ගැන ප්‍රධාන සැකකාර ‘සිඟිති’ගේ මස්සිනා පාපෝච්චාරණය කරයි

(08.05.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටියේ තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මස්සිනා එම ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.

ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ අදාළ තරුණයා ‘පනිරෙන්ඩාව රක්ෂිතය’ට රැගෙන ගොස් පහරදි ඝාතනය කළ බවටයි.

‘කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ’ පදිංචිව සිටි 31 හැවිරිදි ‘සුසිත ජයවංශ’ නමැති තරුණයා පසුගිය මස 22 වැනිදා ‘කුලියාපිටිය ඉලුක්හේන’ ප්‍රදේශයේ පිහිටි පෙම්වතියගේ නිවසට ගිය මොහොතේ පටන් අතුරුදන්ව සිටියා.

එම අතුරුදන්වීමෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය, දෙමාපියන් සහ පෙම්වතියගේ ඥාතීන් පිරිසක් එම ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටි අතර, ඔවුන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වු පොලිසිය, ‘සිඟිති’ නමැත්තෙකුගේ මස්සිනා ද අත්අඩංගුවට ගත්තා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා.

එම සැකකරු පොලිසිය හමුවේ පවසා තිබුණේ, අදාළ තරුණයා ‘මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත ප්‍රදේශය’ට රැගෙන ගොස් ඝාතනය කළ බවයි.

එමෙන්ම, ‘සිඟිති’ නමැත්තාගේ දියණිය සමඟ අදාළ තරුණයා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබු බවත්, ඔහුගෙන් ඇය ගැබ් ගෙන තිබූ නමුත් ඇය විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එම සැකකරු පවසා තිබුණා.

ඒ හේතුවෙන් තරුණයාට පහර දී ඝාතනය කළ බවත් ‘සිඟිති’ නමැත්තාගේ මස්සිනා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඔහුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව, ඝාතනයවූ ‘සුසිත ජයවංශ’ නමැති තරුණයාගේ සිරුර මීට පෙර සෝදිසි කිරීම් කළ ‘පනිරෙන්ඩාව’ කැළෑබද ප්‍රදේශයේම තිබී දින 15 කට පසු පොලිසිය සොයා ගත්තේ ඊයේ (07) දිනයේයි.

තරුණයාට පහර දී, ඔහුගේ ඇස් බැඳ තිබු රෙදි කඩින් ගෙළ සිර කර ඝාතනය කළ බවද, සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබුණා.

කෙසේ වෙතත්, අදාළ තරුණයා ‘කුලියාපිටිය කබලෑව’ ප්‍රදේශයේ පෙම්වතියගේ නිවස තුළදී ඝාතනය කර අදාළ කැළෑබද ප්‍රදේශයට ගෙනවිත් දමන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනෙකු (2) අධිකරණයට භාර වූ බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසුවේ, මෙය ඝාතනයක් බවට ඔප්පු වී ඇති හෙයින්, එහි ප්‍රධාන සැකකරුවන් වන දැනට බන්ධනාගාරගතව සිටින ‘සිඟිති’ නැමැත්තා සහ ඔහුගේ බිරිඳ යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ඔවුන් හෙට (09) දිනයේදි යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් නියෝග කළා.

මේ අතර, ‘සිඟිති’ නැමැත්තා සම්බන්ධකම් පැවැත්වු පළාතේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද පොලිසිය අවධානය යොමුකර ඇති අතර, මෙම ඝාතනයට සහ ඝාතකයින්ට අනුබල දුන් බවට සැකපිට පළාත භාර ‘හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු’ සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන පවත්වනවා.

‘සිඟිති’ නැමැති අදාළ සැකකරු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ද වන අතර, ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ජාවාරමේ ද නිරත වු පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, ඝාතනයට ලක් වූ තරුණයා ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගිය ‘සිඟිති’ නැමැත්තාගේ දියණිය ඇතුළු දරුවන් තිදෙනො (3) සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

+


ඌරුමස් සහිත බත් කෑ රැඳවියාගේ මරණය ගැන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් තීන්දුවක්

(08.05.2024 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ඌරුමස් සහිත බත් පාර්සලයක් ආහාරයට ගැනීමෙන් මරණයට පත් වූ බව පැවසෙන මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව රැඳවියාගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ රැඳවියා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබූ අයෙක්.

පසුගිය 04 වනදා ඔහුගේ ඥාතියෙකු ඌරුමස් සහිත බත් පාර්සලයක් ඔහු වෙත රැගෙනවිත් ඇති අතර එම බත් පාර්සලය රැදවියන් 15 දෙනෙකු පමණ ආහාරයට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කරයි.

එහිදී ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර යැවීමෙන් අනතුරුවයි මෙම රැඳවියා පිවිතක්ෂයට පත්ව ඇත්තේ.

අනෙක් රැඳවියන් 14 දෙනාගේ තත්ත්වය බරපතල නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාර්ධන ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සඳහන්කර සිටියේ.

+


රුසියානු-යුක්රේන ගැටුමට ශ්‍රී ලාංකිකයින් යෙදවීමේ ජාවාරමට අදාළව පිරිසක් අත්අඩංගුවට

(08.05.2024 – 21:40 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2), මේජර් ජෙනරාල්වරයෙකු සහ සාජන් මේජර්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු-යුක්රේන ගැටුමට ශ්‍රී ලාංකිකයින් යෙදවීමේ ජාවාරමට අදාළව පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


අනියම් පෙම්වතිය කරපු අමුතු තාලේ කොල්ලය

(08.05.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ දේපළ කොල්ල කෑ තරුණියක් පින්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

එලෙස සොරකම් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සැකකාර තරුණිය විසින් අඩු මුදලට විකුණනු ලැබ ඇති බවත් හෙලිවී තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි මෙම 26 හැවිරිදි තරුණිය කලක් තිස්සේ කොළඹ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

තම සේවා ස්ථානයේදී හමුවූ මිතුරෙකු මාර්ගයෙන් ඇය රාත්‍රී සමාජ ශාලා වලට යාමට පුරුදු වී ඇති අතර එහිදී ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම තරුණිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී 41 හැවිරිදි විවාහක පරිපාලන නිලධාරියෙකු ද එහි පැමිණ ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා අතර හිතවත්කමක් ඇති වී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් ද හටගෙන තිබූ අතර ඒ හේතුවෙන් අදාළ පිරිමියා සිය නීත්‍යානුකූල බිරිඳ සමග අඬදබර ඇති කරගෙන බිරිදව නිවසෙන් පන්නා දැමීමටද කටයුතු කර තිබුණා.

ඉන් පසුව 26 හැවිරිදි සැකකාර තරුණිය නිරන්තරයෙන් ඔහුගේ නිවසට පැමිණ කාලය ගතකරමින් සිට ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් සැකකාර තරුණිය තවත් තරුණයෙකු සමග එම නිවසේ පිටුපස ජනේලයකින් ඇතුළු වී එහි තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබේ.

ඔවුන් දෙදෙනා (2) සොරකම සිදුකිරීම සදහා නිවස අසල මාර්ගයක ගමන් කරන ආකාරය සහ සොරකම්කළ භාණ්ඩ ත්‍රිරෝද රථයකින් රැගෙන යන ආකාරය එම නිවස අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

පසුව මෙම සොරකම සම්බන්ධයෙන් අදාළ පරිපාලන නිලධාරියා පින්වත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශණයකින් පසු සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇය විසින් සොරාගත් අඟල් 55 රූපවාහිනියක් (1), ලැප්ටොප් පරිගනක යන්ත්‍රයක් (1) ඇතුළු භාණ්ඩ රැසක් සැකකාර තරුණිය විසින් ඉතා අඩු මුදලකට අලෙවිකර තිබියදී පොලිසිය විසින් සොයා ගැණුනා.

එම තරුණිය කොළඹ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමගද නිරන්තරයෙන් අනියම් සබඳතා පවත්වා ඇති බවටයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

කෙසේවෙතත් සැකකාරිය සමග පැමිණි අනෙක් තරුණයා සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+


‘මන්නා රමේෂ්’ගේ නිවස වටලයි

(08.05.2024 – 22:14 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ‘අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක’ හෙවත් ‘මන්නා රමේෂ්’ නැමැත්තා මේ වනවිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටිනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අපරාධ සඳහා යොදාගත් යතුරු පැදියක් සොයා ගැනීමටද පොලිසිය සමත් වුණා.

පොලිසිය පැවසුවේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල ප්‍රදේශයේ පිහිටි දැනට අතහැර දමා ඇති ඔහුගේ නිවසේ තිබී එම යතුරු පැදිය සොයා ගත් බවයි.

එම යතුරු පැදිය පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා අඟුලාන ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවද, වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

‘මන්නා රමේෂ්’ එය සොරාගන්නා අයුරු ආරක්ෂක කැමරකාවක සටහන්ව තිබුණා.

ඔහු විසින් කරනු ලැබූ අපරාධ සඳහා මෙම යතුරු පැදිය යොදාගෙන තිබු අතර, පසුගිය 2023 වසරේ ඔහු විදේශගතවීම හේතුවෙන් අදාළ යතුරු පැදිය මෙම නිවසේ පිටුපස සඟවා ගොස් තිබෙනවා.

එමෙන්ම එම නිවස අයත් ගෙවත්තේ තිබි විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (1) සහ ටී 56 ජීව උණ්ඩ 10 ක් ද පොලිසිය සොයා ගත්තා.

+


අල්ලස් ලෙස රුපියල් ලක්ෂ දෙකක් (2) ලබාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(08.05.2024 – 22:21 +0530 – hirunews.lk/sinhala)

‘කොට්ටාව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ’ නිලධාරීන් දෙදෙනෙකු (2) රුපියල් ලක්ෂ දෙකක (2) අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ (CIABOC) විසින් අත්අඩංගුවට පත් වෙයි ෴


ගාල්ලේ කාන්තාවකගේ රුපියල් මිලියන 130 වත්කම් තහනම් කෙරේ

(08.05.2024 – 23:09 +0530 – hirunews.lk/sinhala)

උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සතුව තිබූ රුපියල් මිලියන 130 ක් වටිනා දේපල, මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කිරීමට පොලිසිය පියවර ගත්තා.

රුපියල් මිලියන 120 ක් වටිනා ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පිහිටි සිව් (4) මහල් ගොඩනැඟිල්ලක් සහ ඉඩමක් ඒ අතර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන ‘යුක්තිය මෙහෙයුම’ යටතේ මෙම දේපල පොලිස් භාරයට ගැනුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *