“රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන්ට නීතිය අකුරටම” – ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න

“රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන්ට නීතිය අකුරටම” – ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න


“රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන්ට නීතිය අකුරටම” – ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න

(08.05.2024 – 09:03 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධි විදෙස් රැකියා ඒජන්තවරුන්ට හසු නොවන්නැයි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගෙන් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඉල්ලීමක් කරනවා.

වසර 30 ක කාලයක් පුරාවට අප රට වෙලාගත් කුරිරු යුද්ධය පරාජය කිරීමට තම දිවිහිමියෙන් කටයුතු කර අප රටට විශාල මෙහෙයක් සිදුකරන ලද ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක් සිය විශ්‍රාම දිවිය තුලදී නීතිවිරෝධි කූඨ විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරන ලද මිනිස් ජාවාරමක ප්‍රතිඵලයක් ලෙස අනීතික අයුරින් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යොමුකර කුලී හමුදා සාමාජිකයන් ලෙස දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බවට ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කරුණු අනාවරණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම යුද පෙරමුණුවල කටයුතු කරමින් සිටියදී අප රණවිරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් ඇති බවත්, තවත් කොටසක් තුවාල ලබා ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි ගෞරවාන්විතව සේවය කර විශ්‍රාම ගොස් ඇති රණවිරුවන් විදෙස් රටක කුලී හේවායන් ලෙස මෙලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වීම කණගාටුවට කරුණක් බවයි ඔහු පේන්වා දෙන්නේ.

විදෙස් හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබාදීම, පුරවැසිභාවය හිමිගැන්වීම මෙන්ම තවත් විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට ජාවාරම් කරුවන් විසින් ලබා දෙන ලද ව්‍යාජ පොරොන්දු වලට අනුව රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කලද ඔවුන් වෙත කිසිදු වැටුපක්, එවැනි ප්‍රතිලාභ හෝ මියගිය හෝ තුවාල ලැබු අයට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කර නැති බවත් මෙහිදී කරුණු අනාවරණය වී ඇති බවයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ.

ශ්‍රි ලාංකීය පුරවැසියන් වන මෙම රණවිරුවන් විදෙස් රටක කුලී හේවායින් ලෙස යොදා ගැනීමට කටයුතු කර වටිනා ජිවිත අනතුරුට ලක්කිරීම ඉඩ තැබිය නොහැකි බව අවධාරනය කරමින් අප රටේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් මේ වන විට එයට සම්බන්ධ අයවළුන් කීහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් හෙලිකර ගන්නා තොරතුරු වලට අනුව මෙම මිනිස් ජාවාරම කරන ජාවාරම්කරුවන්ටත් ඒ හා සම්බන්ධ සමාගම්වලටත් ඒ සඳහා අනුග්‍රහය දක්වන උදව් කරන සියලු දෙනාටත් විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළා.

++++++++++++

යුක්‍රේන යුද්ධයෙන් බේරී ආ හිටපු හමුදා සෙබළාගේ බිහිසුණු අත්දැකීම්… සම්පූර්ණ කථාව

+


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය අහෝසි

(08.05.2024 – 10:52 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

විනිසුරුවරයා සඳහන් කළේ වග උත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේ ද කරුණු තහවුරු වූ බවයි.

එසේම ඩයනාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු නොමැති වී ඇති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් ‘කෝ වොරන්ටෝ රිට් ආඥාවක්’ නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කරනු ලැබුවා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ‘ඔෂල හේරත්’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ විභාග වූ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරනු ලැබුවා.

ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ, එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්.

+

ඩයනා ගෙන් හිස්වූ ජාතික ලැයිස්තු ධූරය මුජිබර්ට

(08.05.2024 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඩයනා ගමගේ දැරූ ‘සමගි ජන බලවේගයේ’ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ධුරයට මුජිබර් රහුමාන් පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබුණා.

+++++++++++

+

ඩයනව ගෙදර යවපු ඕෂල හේරත් සමග (08.05.2024)

+

+

+


යුධ හමුදාව සහ ඉන්දියාව එක්ව කෘත්‍රිම අත් පා නිශ්පාදනය අරඹයි

(08.05.2024 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් රාගම රණවිරු සෙවණ යුද්ධ හමුදා පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේදී කෘත්‍රිම අත් පා නිශ්පාදනය කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කෘතිම අත් පා නිශ්පාදනය කිරීම සඳහා විශේෂඥ දැනුමකින් යුත් ඉන්දිය ජාතකයින් 8 දෙනෙකුගේ සම්පත් දායකත්වයෙන් 2024 මැයි මස 03 වන දින ආරම්භ වූ මෙම වැඩමුළුව 2024 මැයි 23 වන දින අවසන් කිරීමට නියමිතයි.

එහිදි අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයින් 375 දෙනෙකු සඳහාත් ගුවන්, නාවික හා පොලිසියේ සාමාජිකයින් 75 දෙනෙකු සඳහාත් කෘතිම අත් පා බෙදා දීමට නියමිතයි.

මෙයට අමතරව සිවිල් වැසියන් 200 දෙනෙකු සඳහාත් කෘතිම අත් පා බෙදාද දීම සඳහා සැලසුම් කර තිබෙනවා ෴


පහර දීමකින් වෘෂණ කෝෂයක් ඉවත් කළ සිද්ධියට මැදවච්චිය දූෂණ මර්දන ස්ථානාධිපතිත් රිමාන්ඩ්

(08.05.2024 – 15:34 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන පරීක්ෂාවකදී කුඩා ලොරි රථ රියදුරෙකුට පහරදීම හේතුවෙන් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සිද්ධීයට අදාළ නඩුව අද (08) මැදවච්චිය මහේස්ත්‍රාත් නිමේෂා ධර්මදාස හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මන්නාරම – මැදවච්චිය මාර්ගයේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී කුඩා ලොරි රථයක් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක රියදුරුට සහ සහයකයාට පොලිසිය විසින් පසුගියදා පහරදි තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඔවුන්ගේ නීතිඥයින් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් පදවිය සහ කැබතිගොල්ලෑව පොලිස් ස්ථානවල මේ වන විට සේවය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴


පාසල් සිසුවෙකු සුදු ඉර මතදි ත්‍රිරෝද රථයකට යටවෙයි

(08.05.2024 – 17:07 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයකට සුදු ඉර මතින් මාර්ගය මාරු වෙමින් සිටි පාසල් සිසුවෙකු ගැටිමෙන් එම පාසල් සිසුවා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (07) දින දහවල් 12:00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය ඉදිරිපිට සුදු ඉර මතදීයි බවයි වාර්තා වන්නේ.

බාහිර පන්තියකට සහභාගී වීමට පැමිණ ඇති පාසල් සිසුවා අපරික්ෂාකාරි ලෙස සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු විමට උත්සහ කළ අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටි පාසල් සිසුවා අඩි කිහිපයක් ඉදිරියට බිම දිගේ ඇදි ගොස් බරපතල ලෙස තුවාල ලබා ඇති බවද සඳහන්.

අනතුරෙන් පාසල් සිසුවාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

ත්‍රිරෝද රථයේ රියදුරා දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු (08) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පවසනවා ෴


පාතාල වෙඩික්කරුවන් හඹා යන්න යතුරු පැදි 50 ක්

(08.05.2024 – 17:27 +0530 – hirunews.lk/sinhala)

පාතාල වෙඩික්කරුවන් ක්ෂණිකව හඹා යාමට විශේෂ යතුරු පැදි බලකායක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

තෝරාගත් ප්‍රදේශවල සැකකටයුතු නිවාස පරීක්ෂා කරමින් මෙම කණ්ඩායම නිරන්තරව ජංගම සංචාර සිදුකරනවා.

අපරාධ මර්දනය කිරීම සඳහා යතුරු පැදි 50 ක් සමඟ නිලධාරීන් 100 දෙනකු යොදවා ඇත්තේ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණුව ලැබූ නිලධාරීන් මෙම යතුරු පැදි බලකායට අනුයුක්ත කොට තිබෙන අතර සැකකටයුතු තොරතුරු ලඟම පොලිසියට ලබාදෙන්නැයි පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *