‘පරාටේ නීතිය’ තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

‘පරාටේ නීතිය’ තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි


‘පරාටේ නීතිය’ තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

(07.05.2024 – 18:11 +0530 – hirunews.lk/sinhala)

පරාටේ නිතීය තාවකාලිකව අත්හිටුවීම සදහා වු යෝජනා ඇතුලත් කරමින් ඉදිරිපත් කරන ලද බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදි සංශෝධන සහිතව සම්මත වුණා.

ඒ ඊට අදාල දෙවනවර (2) කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභ අවස්ථාවේදි සංශෝධන ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊට සංශෝධන 07 ක් අද (07) ඉදිරිපත් කරනු ලැබුවා.

එහි පළමු යෝජනාව වුයේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම 2026 වසරේ දෙසැම්බර් මස 15 වනදා තෙක් අත්හිටුවිය යුතුය යන්නයි.

එම යෝජනාව කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කළත් ඊට ආණ්ඩු පක්ෂය එකඟ නොවීමෙන් පැවති ජන්ද විමසීමේදි එය පරාජයට පත්වුණා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහද ඉදිපත් කළ යෝජනාවක්ද ඊට අදාලව පැවති ජන්ද විමසීමේදි පරාජයට පත්වුනා ෴


ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් (2)

(07.05.2024 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් (2) ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහායි.

මෙහිදී මෙම ශිෂ්‍යත්ව 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදානය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම ශිෂත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ
https://www.facebook.com/president.fund නිල FaceBook පිටුවෙහි සහ
https://www.presidentsfund.gov.lk/si/ නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවත්, ඊට අදාළ අයදුම්පත්‍ර හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇති බවත් එම මාධ්‍ය ඒකකය සඳහන් කරනවා ෴


විවාහක සැමියාට නිදි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක්

(07.05.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala)

විවාහක සැමියාට නිදි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඊයේ (06) පැමිණවීමෙන් අනතුරුව මේ මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබෙනවා.

නිඳි පෙති පානය කළ බව කියන සැකකාර කාන්තාවගේ සැමියා නිඳන්ගත අපස්මාර රෝගය සඳහා ප්‍රථිකාර ලබමින් පසුවෙන පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව හා ඇගේ සැමියා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරන අයවළුන් වන අතර මොවුන් පදිංචිව සිට ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිල නිවාසයකයි.

අප්‍රේල් මස (13) වන දින නියමිත වැඩ මුරය නිමා කර නිවසට පැමිණි තම සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරන පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බව මස්කෙළිය පොලීසිය පැවසුවා.

දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර සිටි සෞඛ්‍ය කාර්ය සහයකගේ රුධිර සාම්පල් ලබාගෙන අධිකරණ වෛද්‍යවරයා මාර්ගයෙන් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව මස්කෙළිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා ෴


මහ බැංකුවට රුපියල් කෝටි 100 ක පාඩුවක්

(07.05.2024 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී රුපියල් කෝටි සීයකට (100) වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මෙවැනි තත්වයක් තිබියදී ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් (70%) වැඩි කර ගත් බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළා ෴


මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම ගැන විමර්ශනයක්

(07.05.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් පුළුල්ව සොයා බැලීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඉකුත් මැයි (4) දා එම කොටස කඩා වැටී තිබුණා.

කොන්ක්‍රීට් කණු අතර කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේදී රබර් බෙයාරින් පෑඩ් මත ස්ථාපිත කරන බවත් එම කොන්ක්‍රීට් කොටස ඉන් වෙන්වී පෙරළී කඩා වැටී තිබුණා.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ ඒ හේතුවෙන් තවත් බාල්ක දෙකකට ද හානී සිදුවී ඇති බවයි.

එම කොන්ක්‍රීට් කොටස 2021 වසරේ නොවැම්බර් මාසයේදී ස්ථානගත කර ඇති බව වාර්ථා වනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 01 කොටසේ වූ මෙම සිදුවීම ගැන පුළුල් ලෙස පරික්ෂා කර බැලීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කණ්ඩායම් දෙකක් (2) යොදවා ඇති බව බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එම කණ්ඩායම් මගින් ඉදිකර ඇති සියලු කොන්ක්‍රීට් ආධාරකවල වර්ථමාන තත්ත්ව ගැන පරික්ෂා කිරීමට සහ අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමට කඩිනමින් කටයුතු කරන බව එහි දැක්වෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගය නියමිත ප්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් ඉදිකර, ආරක්ෂාකාරීව පවත්වා ගැනීම පිළිබඳ පූර්ණ පරික්ෂාවක් සහ පසු විපරමක් නිරන්තරයෙන් සිදුකිරීම තහවුරු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙම අධිවේගී මාර්ග කොටස දැනටත් ඉදිකිරීම් මට්ටමේ පවතින බැවින් මාර්ග ඉදිරිකිරීම භාර කොන්ත්‍රාත්කරු විසින් එ සඳහා වූ මුල්‍ය හානිය දරා ගතයුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා ෴


ග්‍රාම නිලධාරී වර්ජනය තවදුරටත්

(07.05.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිලධාරින්ගේ ගැටලු‍වලට නිසි විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි තීරණවලට අවතිර්ණ වන බව, වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන ග්‍රාම නිලධාරි සංගම් පවසනවා.

ග්‍රාම නිලධාරීන් ඊයේ (06) ආරම්භ කළ දෙදින (2) වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් (07) ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ගෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත්වුණා ෴


‘මා-ඔය’ට වින කටින ජාවාරමක් කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම

(07.05.2024 – 21:05 +0530 – hirunews.lk/sinhala)

මිනිසුන් දහස් ගණනකගේ ජීවිතවලට බලපාන ස්වාභාවික ජලමූලාශ්‍ර පෞද්ගලික බූදලයක් සේ සලකා විනාශ කිරීම හෝ වෙනස් කිරීමට කිසිසේත් ඉඩ ලබාදිය යුතු නැහැ.

එලෙස මා-ඔයට බැකෝ යන්ත්‍ර දමා එහි ඉවුරු ප්‍රදේශවලට මෙන්ම පතුලට ද හානි කරමින් සිදුකල නීති විරෝධී ඉදිකිරීමක් ‘හිරු CIA’ මැදිහත්වීම මත නවතා දමා තිබෙනවා.

අප අනාවරණ කළ කරුණු මත එහි ගිය බලධාරීන් නියෝග කළේ පරීක්ෂණ අවසන් වනතුරු මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වැවිලි කර්මාන්තයට මෙන්ම පානීය ජල අවශ්‍යතාවයටත් මහඟු සම්පතක් වන්නේ පළාත් ගණනාවක් හරහා ගලා බස්නා මා-ඔය යි.

මා-ඔයේ ස්වාභාවික පරිසර පද්ධතියට හා එහි පැවැත්මට තර්ජනයක් වන අයුරින් කෙරෙන අනවසර ඉදිකිරීමක් පිළිබඳව ‘හිරු CIA’ වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ‘හිරු CIA’ කණ්ඩායම මාවනැල්ල, නාන්කූරුගම ප්‍රදේශයට ගොස් කළ නිරීක්ෂණයේදී අනාවරණ වුණේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මා-ඔය පතුල හාරමින් මෙම ඉදිකිරීම් සිදුකරන බවයි.

මෙම අනවසර ඉදිකිරීම් නිසා සිදුවන්නේ, මා-ඔය පටු වී වැසි සමයන්හිදී ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ද නිර්මාණය වීමයි.

එම අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ගම්වාසීන් පිරිසක් ද මීට විරෝධය පළ කළා.

මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලධාරීන් දැනුවත් කිරීමට ‘හිරු CIA’ කටයුතු කළා.

ඒ අනුව එම බලධාරීන් ද අදාළ ස්ථානයට පැමිණ සිදුකෙරෙමින් පැවති විනාශය පරීක්ෂා කළා.

පරීක්ෂණ අවසන් වනතුරු මෙම අනවසර ඉදිකිරීම නවතා දැමීමටයි බලධාරීන් අදාළ පිරිසට උපදෙස් ලබා දුන්නේ.

+


ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

(07.05.2024 – 22:58 +0530 – hirunews.lk/sinhala)

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද (07) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව ජාඇළ පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ අද (07) පස්වරු 7 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගිනි නිවීමේ රථ 3 ක් යොදවා මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවද පොලීසිය පැවසුවා ෴


එපා කී විවාහය කරගත්තාට ගන්න හැදූ පළිය

(07.05.2024 – 21:44 +0530 – sinhala.adaderana.lk)

මව්පියන්ගේ විරෝධය මැද විවාහයක් කරගත් දියණියගේ පවුලට ඇයගේ පියා විසින් දැඩිව බලපෑම් කිරීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා ජීවත්ව සිට තිබුණේ, පන්නිපිටිය වීරමාවතේ පිහිටි තරුණයාගේ නිවසේය.

දිගින් දිගටම එල්ල වූ මේ බලපෑම් දරාගත නොහැකිව ඔවුන් දෙපළ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ඔවුන් පවසන්නේ, එම රටටද පැමිණි තරුණියගේ පියා තමන්ට බලපෑම් කළ බවය.

පසුව මෙම තරුණ යුවල යළි දිවයිනට පැමිණ වීරමාවතේ නිවසේ ජීවත්ව තිබුණි.

මෙවන් පසුබිමක පසුගිය 29 වැනිදා දහවල් පන්නිපිටියේ පිහිටි තරුණයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් තිදෙනකු (3) පැමිණි බව ඔවුන් පවසයි.

එම අවස්ථාවේ නිවසේ සිටි මවගේ, ජංගම දුරකථනය පරීක්ෂා කර ඇති ඔවුන් මවට තර්ජනය කරමින් තරුණයාගේ ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ දුරකථන වලට යොමුකර ගෙන ඇති බව ඔවුන් පවසයි.

එම නිලධාරී යැයි කියූ පිරිසගේ දුරකථන අංකයකට එදින පස්වරුවේ තරුණයාගේ පියා ඇමතුමක් ලබාදී තිබුණි.

පසුව අදාළ දියණියගේ පියාට අයත් බවට පැවසෙන තලවතුගොඩ පිහිටි හෝටලයක ඔවුන් තිදෙනා මත්පැන් පානය කරමින් සිටියදී සොයාගෙන තිබුණි.

අනතුරුව එම නිලධාරීන් තිදෙනා (3) ගෙන් දෙදෙනෙකු (2) හෝටල් පරිශ්‍රයේ සැඟව ඇති අතර අනෙක් පුද්ගලයා සිය මෝටර් රථයකින් පළායමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මහරගම පොලිසියට භාර දී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පෙනීසිටි වරායේ සේවකයෙකු (1) වන අතර අනෙක් දෙදෙනා (2) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකි (2).

පොලිසිය පැවසුවේ මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවය.

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *