අතුරුදන් වූ කුලියාපිටියේ තරුණයාගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ කුලියාපිටියේ තරුණයාගේ සිරුර හමුවෙයි


අතුරුදන් වූ කුලියාපිටියේ තරුණයාගේ සිරුර හමුවෙයි

(07.05.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala)

සිය පෙම්වතිය බැලීමට ඇයගේ නිවසට ගොස් සිටියදී අතුරුදන්වූ බව පැවසෙන කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ තරුණයාගේ මළ සිරුර දින 15 කට පසුව හලාවත මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ රක්ෂිතයකින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අතුරුදන්වු තරුණයාගේ ජංගම දුරකථන සබඳතාව අවසන් වරට විසන්ධි වී ඇති පුත්තලම ප්‍රදේශයේ පිහිටි කැලැබද ප්‍රදේශයක පොලිසිය සිදුකළ සොදිසි කිරීමකදි මළ සිරුර හමුව ඇති බවයි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ‘සුසිත ජයවංශ’ නමැති තරුණයෙක් පසුගිය මස 22 වැනිදා කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබු අතර, එම අවස්ථාවේ සිට එම තරුණයා අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබුණා.

ඒ අනුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අදාළ පෙම්වතියගේ නිවැසියන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගියද ඔවුන් එම නිවසින් පළා ගොස් තිබුණා.

පසුව පොලිසිය එම නිවැසියන්ගේ ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසයි.

මේ අතර, අදාළ තරුණයාගේ පෙම්වතියගේ පියා වන ‘සිඟිති’ නමැති පුද්ගලයා යටතේ සේවය කළ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් (2) පොලිසිය විසින් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ආවරණ කර ගැනුණා.

ඔවුන් පවසා ඇත්තේ අතුරුදන්ව සිටින අදාළ තරුණයාගෙන් තම දියණිය ගැබ්ගෙන ඇති බව ඇගේ පියා වන ‘සිඟිති’ නමැති පුද්ගලයා තමන්ට පැවසු බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා (2) විවාහ කරවා විදේශයකට පිටත් කර හැරීමට තමන් උත්සහ ගත් නමුත්, ඊට ඇගේ පෙම්වතා එකඟ නොවූ බවත් ‘සිඟිති’ නමැති පුද්ගලයා පැවසු බව ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

පසුව අදාළ තරුණයාගේ අත්පා බැඳ මෝටර් රථයක නංවාගෙන කුලියාපිටිය ප්‍රදේශයේ සිට දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි ‘සිඟිති’ නැමැත්තාගේ මහගෙදරට රැගෙන යෑම සඳහා තමන් කටයුතු කළ බවද ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මේ අතර, තරුණයා පැහැරගත් බව පැවසෙන වෑන් රථයක් සොයා ගැනීම සඳහා ද පොලිසිය පසුගිය දා මහජන සහාය පැතු අතර, එම වෑන් රථය විල්ගමුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදි සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

මේ අතර, අතුරුදන්වු අදාළ තරුණයාගේ ජංගම දුරකථන සබඳතාව අවසන් වරට විසන්ධි වී ඇති පුත්තලම ප්‍රදේශයේ පිහිටි කැලැබද ප්‍රදේශයකද පොලිසිය සොදිසි කිරීම් සිදුකර තිබුණා.

ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ‘සුසිත ජයවංශ’ නමැති එම තරුණයාගේ සිරුර ඔහු අතුරුදන්ව දින 15 කට පමණ පසු සොයාගැනීමට පොලිසියට හැකි වුණා.

ඒ හලාවත මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත ප්‍රදේශයේ තිබියදීයි.

+

++++++++++

+


හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප

(07.05.2024 – 12:30 +0530 – hirunews.lk/sinhala)

2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස කඩා වැදී කලාකාරී ලෙස හැසිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ‘මර්වින් සිල්වා’ රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සිද්ධිය අදාළ පැමිණිල්ල අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි සැකකාර ‘මර්වින් සිල්වා’ ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර මේ වන විට අධිකරණය මගහැර සිටින ‘ලාල් පීරිස්’ නමැති සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය කරනු ලැබුවා.

මෙම නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී එහි සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන ‘ටී.එම්.ජී. චන්ද්‍රසේකර’ සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකරු අධිකරණය හමුව සඳහන් කළේ සිද්ධිය වූ දා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩා වැදුණු සැකකාර ‘මර්වින් සිල්වා’ තමාට පහරදීමක් සිදුකළ බවයි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමටද අධිකරණය නියම කළා.

2007 වසරේ දෙසැම්බර් මස 27 වන දා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලාකාරී ලෙස කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ‘මර්වින් සිල්වා’ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා ෴


මිලක් නැතිව ‘මාළුමිරිස්’ ගොවියෝ වගා අත්හරී

(07.05.2024 – 12:43 +0530 – hirunews.lk/sinhala)

මාතලේ ප්‍රදේශයේ මාළුමිරිස් වගාවට නිසි මිලක් නොමැති නිසා වගාබිම් අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීන් පවසනවා.

වෙළඳපොළේ මේ දිනවල මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 80 සිට 130 දක්වා මිලක් පවතිනවා.

ගොවින් පවසන්නේ විශාල පිරිවැයක් මාළු මිරිස් වගාව සඳහා වැය වූ බැවින් අඩුම තරමේ මාළු මිරිස් 1kg එකක් රුපියල් 200 ක් වුවහොත් වියදම් වූ මුදල් හෝ පියවා ගැනීමට හැකි බවයි.

මාළු මිරිස් වගාව සඳහා නිතරම කෘෂි රසායන යෙදීමට සිදුවන නිසා ඒ සඳහා වන වියදම් සැලකීමේදී පවත්නා මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ගොවියන් පවසන්නේ.

මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල, දේවහූව, නාඋල, අඹන, සැලගම ආදී ප්‍රදේශ රැසක මාලුමිරිස් වගකර ඇති බව වාර්තා වනවා ෴


මංකොල්ලකෑමට නිවසේ බැඳදැමූ කාන්තාවට සිදු වූ අපරාධය

(07.05.2024 – 12:53 +0530 – hirunews.lk/sinhala)

වැලිගම පොලිස් වසමේ නිවසක පදිංචි ව සිටි වයස (78) විවාහක කාන්තාවක් ඊයේ (06) රාත්‍රි 11:30 ට පමණ නිවසේ තනියම රැඳී සිටින අවස්ථාවේදී නාඳුනන මංකොල්ලකරුවන් නිවසට ඇතුළු වී කාන්තාව බැඳ දමා නිවසේ දේපොල මංකොල්ල කා පළාගොස් තිබෙනවා.

එම කාන්තාවගේ සැමියා සිය සහෝදරිය සමඟ වෛද්‍ය ප්‍රථිකාර ගැනීම සඳහා වැලිගම නගරයට ගොස් සිටි අවස්ථාවේ නිවස මංකොල්ලකෑම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවේ මෙම කාන්තාව මෙලෙස සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බවයි.

මේ වන විට මරණය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩි දුර පරික්ෂණ කටයුතු වැලිගම පොලිසිය මගින් සිදු කරයි ෴


නුවරඑළියේ තැපැල් ගොඩනැගිල්ල ඉන්දියාවට පැවරීමට එරෙහි පෙත්සම සලකා බැලීම අගෝස්තු 05 වෙනිදා

(07.05.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු ආයෝජකයෙකු වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණ විනිසුරු එස්.යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඊට අදාල ලේඛන නිසියාකාරව අංක ගත කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරු විසින් පාර්ශ්වකරුවන්ට පෙන්වා දුන්නා.

ඒ අනුව අදාල ලේඛන විධිමත් ආකාරයෙන් අංක ගත කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ නුවරඑළිය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන මහතා විසින්.

පෙත්සම්කරු කියා සිටියේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 2007 වසරේ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනාගත් ගොඩනැගිල්ලක් බවත් එම ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය ආයෝජකයෙකු වෙත පැවරීමට රජය සූදානම් වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා ෴


මැයි 09 වෙනිදා සිට සෞඛ්‍ය සේවාවේ නැවතත් වර්ජන

(07.05.2024 – 14:29 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

අදාළ තාක්ෂණික වාර්තාවේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් (4) ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වූ බවත්, ඉතිරි කොටස පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවයි ඔහු පවසන්නේ.

එසේම මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම ඉතාම බරපතල බවත්, නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳවද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බවයි ඔහු පවසනවා.

ඒ හේතුවෙන්, මැයි 09 වෙනිදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බවයි ඵු සඳහන් කරන්නේ.

එහිදී රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ධනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බවත්, කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඒ අනුව, මැයි 09 වෙනිදා උතුරු මැද පළාත තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, මැයි 14 වෙනිදා සබරගමුව පළාත, මැයි 15 වෙනිදා වයඹ පළාත, මැයි 16 වෙනිදා දකුණු පළාත, මැයි 20 වෙනිදා ඌව පළාත සහ මැයි 21 වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

+


නිදහස් පක්ෂ සභාපතිකම ඉල්ලා විජයදාස දැමු පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(07.05.2024 – 15:18 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා.

විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් . සමරකෝන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ මුල් අධිකරණ බලය පැවරී තිබෙන්නේ කොළඹ දිසා අධිකරණයට බවයි.

එවැනි තත්ත්වයක් හමුවේ මෙම නඩුකරයේ අන්තර්ගත කරුණු කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමට අභියාචනාධිකරණය සතු ප්‍රතිශෝධන බලය ක්‍රියාවේ නැංවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සමේ කටයුතු සඳහා මැදිහත්වීමට අවශ්‍යතාවයක් මතු නොවන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවත් සඳහන් කළා.

මෑතකදී අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීරස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

දිසා අධිකරණය එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ඒක පාක්ෂිකව බවත් එම වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා විජයදාස රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *