සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික’මන්නා රමේෂ්’ දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික’මන්නා රමේෂ්’ දිවයිනට රැගෙන එයි


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික’මන්නා රමේෂ්’ දිවයිනට රැගෙන එයි

(07.05.2024 – 06:28 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘රමේෂ් ප්‍රියජනක’ හෙවත් ‘මන්නා රමේෂ්’ අද (07) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසිය හරහා ‘රතු වරෙන්තු’ නිකුත් කර තිබූ ඔහු මීට මාස දෙකකට (2) පමණ ඉහත දී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා (2) සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් (3) ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට ‘මන්නා රමේෂ්’ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ‘ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම්’ රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පසුගිය කාලයේ සිදුවූ ඝාතන කිහිපයක්ම ඔහුගේ මෙහෙයවීම මත සිදුව ඇති බවයි ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවයි ‘හිරු වාර්තාකරු’ පවසා සිටියේ ෴

+++++++++

+

+

‘මන්නා රමේෂ්’ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට රැගෙන යයි

(07.05.2024 – 09:57 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි සිට අද (07) අලුයම දිවයිනට රැගෙන ආ පාතාල නායක ‘රමේෂ් ප්‍රියජනක’ නොහොත් ‘මන්න රමේෂ්’ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට රැගෙන ගොස් තිබෙනවා.

ඔහු අද (07) අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ෴

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද (07) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල සාමාජික ‘මන්න රමේෂ්’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් රැඳවුම් නියෝගයක් ලබා ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විධිවිධාන යටතේයි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ‘මන්නා රමේෂ්’, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත කැඳවා ගෙන පැය 04 ක පමණ කාළයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 08:40 ට පමණ මිරිහාන කොළඹ දකුණ බස්නාහිර පළාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ රැගෙන යාමට පියවර ගනු ලැබුවා ෴


ග්‍රාම නිලධාරීන් අදත් (07) ලෙඩවෙයි

(07.05.2024 – 07:57 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අදත් (07) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

දීමනා ඉහළ නොදැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (06) ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ අතර ඒ හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා.

කෙසේ වෙතත් තම වෘත්තිය ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් ‘ලබන සතියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවන බවයි’ ‘ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක’ නෙවිල් විජේරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවෙද්දී කැකිරාව පලුගස්වැව හිරිවඩුන්න වසම භාර ග්‍රාම නිලධාරීවරයා ඊයේ (06) සේවයට වාර්තා කර තිබූ බවයි වාර්තා වුණේ ෴


හොරණ තරුණයාට වෙඩිතැබූ වෙඩික්කරු සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්

(07.05.2024 – 08:05 +0530 – hirunews.lk/sinhala)

හොරණ – ග්‍රාස්ලෑන්ඩ් ප්‍රදේශයේදී ව්‍යාපාරික තරුණයාට වෙඩිතැබූ වෙඩික්කරු සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා.

ඒ සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි.

එහිදී ටී 56 ගිනි අවියක්, ජීව පතුරම් 30 ක් සහ මැගසිනයක් (1) සොයා ගත්තේ ඔහුගේ හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසේ සඟවා තිබියදීයි.

සොයා ගත් ටී 56 ගිනි අවියෙහි අංකය කිසියම් උපකරණයක් යොදා මකා දමා තිබුණා.

ව්‍යාපාරික තරුණයාට වෙඩිතැබූ වෙඩික්කරු පෙරේදා (05) විදෙස්ගත වීමට සූදානම්ව සිටියදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා ෴


මවගේ ඝාතනයට 16 හැවිරිදි පුතු අත්අඩංගුවට ගනී

(07.05.2024 – 08:57 +0530 – hirunews.lk/sinhala)

යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේ නිවසක අභිරහස් අන්දමින් මවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට ‘ඇයගේ 16 හැවිරිදි පුත්‍රයා’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය කර තිබූ 38 හැවිරිදි මෙම මවගේ සිරුර නිවසේ තිබියදී පසුගිය සෙනසුරාදා සොයා ගත්තා.

මෙම මව විසින් සිය පුත්‍රයා භාවිත කළ ඡංගම දුරකතනය පසුගියදා රැගෙන ඇත්තේ ඔහු ඡංගම දුරකතනයට ඇබ්බැහිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඊට මව සමග උරණ වී මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

මෙම දරුවා කිසියම් ‘මානසික ආබාධයකින්’ පෙළෙන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

පුත්‍රයා විසින් රුධිරයෙන් අඳින ලද බවට සැකකෙරෙන වැකි කිහිපයක්ද එම කාමරයේ බිත්තියේ සටහන් කර තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා ෴

+

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴


ඔබේ බැංකු ගිණුම්වලින් මුදල් සොරකම්කරන කල්ලියක් ගැන නිවේදනයක්

(07.05.2024 – 09:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජංගම බැංකු භාවිතා කරන්නන්ට, ඔවුන්ගේ දුරකතන හයිජැක් කර, බැංකු ගිණුම් අත්පත් කර ගන්නා හැකරුන් පිළිබඳව ‘ශ්‍රී ලංකා බැංකු සංගමය’, Lanka Pay සහ FinCSIRT අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව ගෝලිය හා දේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව ඔවුන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

එබැවින් ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා වංචාකරුවන් විසින් ඉහත ආකාරවලින් සලසා ගන්නා බවත්, එමගින් අදාළ උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් අත්පත් කර ගන්නා බවත් පවසන එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්තර්ගත බැංකු / ගෙවීම් යෙදුම් (payment apps) වෙත ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව උදා කර ගන්නා බවයි.

එසේම ඒ තුළින් බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබා ගනිමින් ඒවා වංචනිකව භාවිත කර මුදල් සොරකම් කිරීමට අදාළ කණ්ඩායම් කටයුතු කරන බවත් එම ඒකාබද්ධ නිවේදනය මගින් පැවසෙනවා.

එබැවින් එවැනි තත්ත්වයන්ගෙන් බේරීම සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ‘ශ්‍රී ලංකා බැංකු සංගමය සමග’ සහ අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරන අනෙකුත් ආයතන ඉල්ලා සිටිනවා.


අවුරුදු විස්සක් (20) අදානිගෙන් විදුලිය ගන්න කැබිනට් අනුමැතිය

(07.05.2024 – 10:42 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අනුව, යෝජිත ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන විදුලිය සඳහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26 ක් (සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළි ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව වසර විස්සක (20) කාලයක් සඳහා අදාළ මිල ගණන් යටතේ M/s Adani Green Energy SL Limited වෙතින් විදුලිය මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය පිරිනැමීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරින්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක එළඹීමට ඉකුත් 2022 වසරේ මාර්තු 07 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දී ඇත්තේ ෴


පොහොට්ටු මන්ත්‍රීගේ ගෙදර ලයිට් කපලා

(07.05.2024 – 11:27 +0530 – hirunews.lk/sinhala)

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

විදුලිය සිඳලීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ අදහස් හුවමාරුවක් අතරතුර දී යි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

තමාට ගෙවීමට තිබුණේ ගිය මාසයට අදාළ රුපියල් 12,000 ක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා විමසා සිටියේ, මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පවා දැනුම් දීමකින් තොරව විදුලිය විසන්ධි කරන පසුබිමක සාමාන්‍ය ජනතාවගේ නිවසක විදුලිය විසන්ධි කිරීම අරුමයක් නොවන බවයි.

“මම මරණ ගෙවල් ගණනාවක ගිහිල්ලා, රැස්වීම් ගණනාවක ගිහිල්ලා උදේ ගෙදර එනකොට ගෙදර ලයිට් ටික කපලා. කිසිදු දැනුම් දීමක් නැහැ. මට මෙහෙම කරනව නම් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට කොහොම කරනවා ඇති ද? විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලයට වගවීමක් නැද්ද?” යනුවෙන් සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙවැනි සිදුවීම් තුළින් සමාජ ගත වන පණිවිඩය ඉතා ම හානිකර එකක් බවයි ෴


නර්ස්ලා පෙන්ෂන් යන වයස වෙනස් කරන්න කැබිනට් පත්‍රිකාවක්

(07.05.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala)

හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අද (07) පාර්ලිමේන්තුවෙදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහි දී වලේබොඩ මන්ත්‍රීවරයා විසින් හෙද සහ ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමසූ අතර ඊට පිලිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ තීරණය සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බැවින් ඔවුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කිරීමට කැබිනට් පතිකාවක් ඉදිරිපත් කළ බවයි.

කෙසේ නමුත් එම වයස අවුරුදු 61 ට වඩා දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් තීරණයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවා ෴


උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

(07.05.2024 – 12:22 +0530 – hirunews.lk/sinhala)

ජනතා අයිතියට පත් කෙරුණු උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අදාළ ව්‍යාපෘතිය 2017 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට තිබුණත්, එය සිදු කිරීමට නොහැකි වීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 900 ක පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රටට සිදු වූ බවයි.

කෙසේ නමුත් උමාඔය ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා, මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට දිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව එම වාසිය එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ලබා දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *