‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනයේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් ඇමති ටිරාන්ට ප්‍රශ්න වැලක්

‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනයේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් ඇමති ටිරාන්ට ප්‍රශ්න වැලක්


‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනයේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් ඇමති ටිරාන්ට ප්‍රශ්න වැලක්

(06.05.2024 – 20:11 +0530 – hirunews.lk/sinhala)

‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ‘එක්ස් ගිණුම’ ඔස්සේ ප්‍රශ්න කිහිපයක් යොමු කර තිබෙනවා.

  • මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගන්නා අවස්ථාවේ ‘මොබිටෙල්’ ආයතනය එක් සංචාරක පැමිණීමකට අමෙරිකානු ඩොලර් 1 ක් අය කළ හැකි බව දැනුම් දී තිබියදී, අමෙරිකානු ඩොලර් 25.77 ඉදිරිපත් කළ, ‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනය තෝරාගත්තේ කුමන පදනමකින් ද යන්න විපක්ෂ නායකවරයා එමගින් ප්‍රශ්න කරනවා.
  • ‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනය වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවලින් විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතට අමතරව තවත් ලියකියවිලි ඉල්ලා සිටිය ද ශ්‍රී ලංකාවේදී විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් පමණක් ඉල්ලා සිටීම සාධාරණීකරණය කළ හැකිදැයි විපක්ෂ නායකවරයා යොමු කරන අනෙක් ප්‍රශ්නයයි.
  • එමෙන්ම මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී අධික වීසා ගාස්තු හේතුවෙන් සංචාරක පැමිණීම්වලට බලපෑමක් වේයැයි සංචාරක අමාත්‍යවරයා ලිඛිත නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ දැයි විපක්ෂ නායකවරයා එමගින් ප්‍රශ්න කරනවා.
  • මීට අමතරව වඩාත් ජනප්‍රිය දින 30 වීසා කාණ්ඩය ඉවත් කිරීමට සංචාරක අමත්‍යවරයා විරුද්ධ වුණේද යන්න විපක්ෂ නායකවරයා යොමු කරන තවත් ප්‍රශ්නයක්.
  • ‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනයේ නිලධාරීන් සමග තමන් කිසිදු අවස්ථාවක සාකච්ඡා කිරීමට මැදිහත් නොවූ බවට සංචාරක අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳවත් විපක්ෂ නායකවරයා එමගින් ප්‍රශ්න කරනවා.
  • ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ‘වී එෆ් එස් ග්ලෝබල්’ ආයතනය මැදිහත් කරගන්නේ ඇයි සහ ඔවුන්ගේ ක්‍රියාවලිය සහ පිරිවැය පිළිබඳව ගණනය කළේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා යොමු කරන අවසන් ප්‍රශ්නයයි.

මේ අතර වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මගින් බැදුම්කර වංචාවටත් වඩා බරපතල මුදල් වංචාවක් සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළා.

ඒ සක්වල වැඩසටහනේ 117 වන අදියර යටතේ බියගම – බොල්ලෑගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එක්වෙමින් ෴

+++++++++

වීසා ගැටලුවට ගුවන් තොටේ යකා නැටූ තරුණයාට එරෙහිව නීතිමය පියවර

(06.05.2024 – 12:36 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඉකුත් දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බවයි එහිදී ඔහු සඳහන්කර සිටියේ.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා ෴

+++++++++

+++++++++

“වීසා ගාස්තුවල වෙනසක් නෑ” කැබිනට්ටුව තීරණය කරයි

(06.05.2024 – 19:43 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් (1) පුද්ගලයෙකුට දින 30 ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ අමෙරිකානු ඩොලර් 50 ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අද (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට (7) මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් එහිදී තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර විදේශිකයෙකු මෙරටට ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ‘ආගමන විගමන දෙපාර්තමේන්තුව’ විසින් දරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

+++++++++++

++++++++++++

+


ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩවෙයි

(06.05.2024 – 08:53 +0530 – hirunews.lk/sinhala)

දීමනා ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ‘සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය’ පවසනවා.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වෙන්නේ.

ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න පවසා සිටියේ 14,000 කට අධික ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (05) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ෴


කතාබහ දුර දිග ගොස් හිටපු හමුදා සෙබලාට දිවිය අහිමි වෙයි

(06.05.2024 – 10:47 +0530 – hirunews.lk/sinhala)

මුදල් ආරවුලක් මත ඇති වූ කතාබහක් දුර දිග ගොස් පුද්ගලයින් තිදෙනකු (3) විසින් පහරදී සේවයෙන් ඉවත් කළ හිටපු යුදහමුදා සෙබලෙකු ඝාතනය වී ඇතැයි තෙබුවන පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ 51 හැවිරිදි දෙදරු පියෙකු වන බේගමුව, තලහිටිය ලිපිනයේ තාවකාලික පදිංචිකරුවෙක්.

මියගිය අය ජර්මන් රටේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී උඩුවර, මෝටාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් රුපියල් ලක්ෂ හයක (6) පමණ මුදලක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

නමුත් පොරොන්දු වූ පරිදි රට රැකියා ලබාදී නොමැති අතර ඔවුන් මේ පිළිබඳව තෙබුවන පොලිසියේ පැමිණිලි කිරීමෙන් පසු අදාල මුදල් ගෙවීමට මියගිය අය පොරොන්දු වී තිබෙනවා.

මෙසේ මුදල් ලබාදුන් එක් පුද්ගලයකු ඔහුගේ මිතුරන් දෙදෙනකු (2) සමග යතුරුපැදියෙන් පසුගිය 03 වැනිදා සවස 03:00 ට පමණ මුදල් ලබා ගැනීම සඳහා මියගිය අයගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ගිය පිරිස ඔහුගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඔවුන්ට බැණ වදිමින් කැත්තකින් හා පොලු වලින් පහර දීමට මියගිය අය කටයුතු කර තිබෙනවා.

එවිට මෙම පුද්ගලින් තිදෙනා (3) ද ඔහුට අතින් පයින් හා පොලු වලින් පහරදී පසුව යතුරුපැදියේ දමාගෙන මෝටාව ප්‍රදේශයට රැගෙන විත් පහරදී නිවසක් ඉදිරිපිට දමා ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය තෙබුවන පොලිසියේ නිලධාරීන් තුවාලකරු ගල්පාත රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

පහරකෑ පුද්ගලයා 05 දා සවස හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් ඇති අතර පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතිරි සැකකරුවන් දෙදෙනා (2) පලා ගොස් සැඟවී ඇති අතර සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය, පොලු සහ ආයුධ අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ ෴

++++++++++

+


විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

(06.05.2024 – 11:51 +0530 – hirunews.lk/sinhala)

උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකළ රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු (22) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් දින කීපයක සිට උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කළ අතර අද (06) දින පළාත් සභා ප්‍රධාන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූවා.

මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර කිසිවෙකුට එම ගොඩනැගිල්ලට ඇතුළුවීමට හා පිටවීමට නොහැකි වන ආකාරයට උද්ඝෝෂකයින් විසින් දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණය කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර එම ස්ථානයට පොලිසිය කැඳවා උද්ඝෝෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ ද එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනකු (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

පොලිසිය පවසන්නේ මෙම උද්ඝෝෂකයින් අද (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

+

උතුරු මැද පළාත් සභා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ සිද්ධියට අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 23 දෙනෙකු ඇපමත මුදා හැර තිබෙනවා ෴

++++++++++++

+


දේව ප්‍රතිමාවට මල් ඉසින්න ගිය තරුණයා ඇදවැටී කකුල් දෙකටම හානි

(06.05.2024 – 18:49 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරූ උත්සවයේදී දේවතාවියගේ ප්‍රතිමාවට මල් ඉසීමට කෝවිලේ ගණ්ඨාර කුළුණට නැගුණු පුද්ගලයෙකු ඉන් ඇද වැටීම නිසා ඔහුගේ දෙපා වලට 5 දා දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

මුලින්ම ඔහු බිම සිට දේවතාවියගේ ප්‍රතිමාවට මල් ඉසීම කරගෙන ගියත් නිසි ලෙස එම මල් ප්‍රතිමාව මතට පතිත නොවීම නිසා ඔහු ගණ්ඨාර කුලුණට නැග මල් ඉසින්නට පටන් ගෙන ඇති බව වාර්තා වෙනවා.

එවර මල් සියල්ලම දේවතාවියගේ ප්‍රතිමාව මතටම පතිත වීම නිසා ඉන් උද්දාමයට පත් ඔහු කෑගසමින් මල් ඉසිමින් සිටියදී එක්වරම පය ලිස්සා බිම අද වැටී තිබෙනවා.

ගිලන් රථයක් මගින් ඔහුව වහාම යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ දෙපා වල අස්ථි දැඩි ලෙස බිදී යාම නිසා ඔහු මේ වන විට එක්තැන් වී ප්‍රතීකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තිදරු පියෙකු වන මෙම බැතිමතා බැලීමට විශාල පිරිසක් යාපනය රෝහලට ගොස් ඇති අතර ඔහුට හා ඔහුගේ පවුලට උදව් උපකාර කිරීමට මේ වන විට යාපනයේ හා විදේශීය රටවල සංවිධාන කීපයක්ම ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙනවා ෴


නාරම්මල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදු වූ පහරදීමකින් ව්‍යාපාරිකයෙකු රෝහලට

(06.05.2024 – 21:19 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදු වූ පහරදීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මුදල් ආරවුලක් මෙම පහරදීමට මුල් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු ජපානයෙන් විවිධ යන්ත්‍රෝපකරණ ආනයනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන අතර මීට කලකට ඉහතදී එලෙස ආනයනය කරන ලද JCB යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා එම ප්‍රදේශයේම ගරාජයක් වෙත ලබා දී තිබෙනවා.

එහිදී එම ගරාජයේ කාර්මික ශිල්පියා සහ ව්‍යාපාරිකයා අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් යම් ආරවුලක් ඇතිවී තිබුණා.

ඒ අනුව පසුගිය 02 වැනිදා එම කාර්මික ශිල්පියා ඇතුළු පිරිසක් නාරම්මල ප්‍රදේශයේ හෝටලයක් තුළ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම හෝටලයට ව්‍යාපාරිකයා ද ආහාර ගැනීම සඳහා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු කර තිබුණා.

පහරදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පලායාමට සමත් උනා.

ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වෙත ද පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා ෴


ඇමති රමේෂ්ගෙන් ජාතික රථවාහන පෙරහැරක්

(06.05.2024 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය Industry EXPO 2024 ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ Industry Green Awards සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 1300 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට අන්තර්ගතවන අතර, නවෝත්පාදන, නව තාක්ෂණය සමඟින් නව කර්මාන්ත රැසක අංගයන් මෙම ප්‍රදර්ශනයේදී දැක හැකි වන බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25 කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී BMICH පරිශ්‍රය දක්වා ගමන් කිරීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *