ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටෙයි

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටෙයි


ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටෙයි

(05.05.2024 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබෙනවා.

මගලේගොඩ සහ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් ආධාරකයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කඩාවැටීම සිදුව ඇත්තේ ඊයේ (04) පස්වරුවේ බවයි.

++++++++

+


නිවසට ගිනිතබා දරුපවුල මහමගට දැමූ පියා අත්අඩංගුවට

(05.05.2024 – 14:52 +0530 – hirunews.lk/sinhala)

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතුයායට අයත් කුයිල්වත්තේ තම දරුවන් තිදෙනා (3) සමග වසර 1½ පමණ කාලයක් පදිංචිව සිටි නිවස දරුවන් තිදෙනාගේ (3) පියා විසින් ගිනි තබා විනාශ කර ඇති බවට දරුවන්ගේ මව විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

දරු තිදෙනාගේ මව ප්‍රකාශ කළේ තම සැමියා සමග ඇති වූ ආරවුලක් නිසා නිවසින් බැහැරව වි එම වතුයායේම හිතවතෙකුගේ නිවසක රැඳී සිටියදි පෙරේදා (03) අලුයම නිවස ගිනි තබා විනාශ කර ඇති බවයි.

තමන් නිතියානුකුලව විවාහ වි නොමැති බවත්, තමන්ව විවාහ කර ගන්නා බවට පොරොන්දු වි අවු 15 ක් තිස්සේ තමන් සමග අනියම් ලෙස ඔහු සිටි බවත්, ඔහුට දාව දියණියන් දෙදෙනෙකු (2) සහ එක් (1) පුතෙකු සිටින බවත් ඇය සඳහන් කර තිබෙනවා.

වැඩිමහල් දියණියට අවු 14 ක් වන අතර, දෙවන පුතාට අවු 10 ක් සහ බාල දියණියට අවු 08 වන බවත්, දරුවන් තිදෙනාම (3) හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනයවන වටවල දමිල මහා විද්‍යාලයේ 08 , 05 සහ 03 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

තමන් පදිංචිව සිටි නිවසේ තමන්ගේ සහ දරු තිදෙනාගේ (3) ඇදුම් පැළදුම්, පාසල් පෙළපොත්, නිල ඇදුම්, පාසල් උපකරණ සහ නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු සියළුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී ඇති බවත්, තමන්ට දැනට ඉතිරිව ඇත්තේ ඇදිවත පමණක් බවත් පිඩාවට පත් දරුවන් තිදෙනාගේ (3) මව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

නිවස ගිනි තැබු සැකකාර පියාව හැටන් පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ ෴


ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක්

(05.05.2024 – 16:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බවයි.

2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දරුවන්ට භෞතිකව පාසැල්වලට පැමිණ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ මෙරට අධ්‍යාපන ක්‍රමයේ විශාල පරිවර්තනයක් සිදු වුණා.

වසර කිහිපයක් පාසල් අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සීමා වුණේ එවැනි පසුබිමකයි.

මෙම තත්ත්වයත් සමඟ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දරුවන්ට ජංගම දුරකතන හා පරිගණක භාවිතය අත්‍යවශ්‍ය වූ අතර ඒ හරහා අන්තර්ජාලය හා විවිධ සමාජ මාධ්‍ය භාවිත කිරීමට ද බොහෝ දරුවන් පෙළඹුණා.

එවැනි පසුබිමක මේ වනවිට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ළමා මනෝ විශේෂඥයින් අනුමාන කරන්නේ දරුවන් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවයි.

+++++++++

+


රුපියල් කෝටි ගණනක වෛද්‍ය හා ශල්‍ය උපකරණ තොගයක් විනාශ වෙමින් පවතී

(05.05.2024 – 16:35 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි ගණනක් වැය කර ප්‍රසම්පාදන ක්‍රියාවලියද උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ වෛද්‍ය හා ශල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් භාවිතයට නොගෙන දිරාපත් වෙමින් ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.

අදාල ගබඩාව තුළ ශල්‍ය උපකරණ නිර්වින්දන උපකරණ ඇතුළු යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් දිරාපත්වෙමින් ඇති බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා උල්ලංඝනය කරමින් මිලදී ගෙන ඇති මෙම උපකරණ භාවිතයට නොගැනීම හේතුවෙන් මහජන බදු මුදල් අවභාවිත වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

+


මුහුදු රළ ගොඩට පැමිණීමේ අවධානමක්

(05.05.2024 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0 ක් පමණ සහ තරංග කාලය තත්පර 12 – 16 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි සඳහන් වන්නේ.

එම නිසා කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන්.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

+


මරුවා සමග මිනීපෙට්ටි අරන් ගිය ලොරිය අත්අඩංගුවට

(05.05.2024 – 17:53 +0530 – hirunews.lk/sinhala)

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය ‘හිරු නිව්ස්’ වෙත ප්‍රකාශ කර තිබෙනවා.

පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණ තිබූ මෙම ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බවයි පොලීසිය පවසා ඇත්තේ.

බණ්ඩාරගම නගරයේ තිබෙන සංඥා පුවරුවලටද හානි සිදුවිය හැකි ආකාරයේ උසකින් මෙම මිනිපෙට්ටි පටවා තිබූ බවද පොලිසිය සඳහන් කළා.

පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනීපෙට්ටි තොගය ප්‍රවාහනය කර ඇති අතර, අත්අඩංගුවට ගත් මිනීපෙට්ටි ලොරියට අමතරව තවත් ලොරියක් ගෙන්වා මිනීපෙට්ටි තොගය ලොරි රථ දෙකකට පටවා නිදහස් කර තිබෙනවා.

බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා ‘හිරු නිව්ස්’ වෙත වැඩිදුරටත් සඳහන් කළේ ලොරි රථය පැදවූ රියදුරුට එරෙහිව ලබන 09 වෙනිදා නඩු පවරා ඇති බවයි ෴


මාල කඩන මන්නා කල්ලියක් පොලීසිය සොයයි

(05.05.2024 – 19:55 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ පෙන්වා කාන්තාවන්ගේ ගෙළ බැදි රන් මාල කොල්ලකෑමේ ජාවාරමක නිරත වන කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නුගේගොඩ, මහරගම, කලුතර, ගල්කිස්ස, පිළියන්දල, බණ්ඩාරගම ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් මෙම කොල්ලකෑම් සිදු වන බවටයි පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව පොලිසිය විමර්ශන වලින් පසු අදාල ජාවාරමේ නිරත වූ එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ‘කඹුරුගමුව විදානගමගේ ජනක සංජීව’ හෙවත් ‍’බඩා’ යන නමින් හඳුන්වන අයෙක්.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව‍ කොල්ලකන ලද රන් මාල 19 ක් සොයා ගත් බවයි කොළඹ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ ෴


මිලාගිරිය, ගාලු පාරේ යතුරුපැදියෙන් වැඩ දැමු තරුණයින් 20 දෙනෙකු අත්අඩංගුවට

(05.05.2024 – 21:24 +0530 – hirunews.lk/sinhala)

ගාලු පාරේ බම්බලපිටිය – මිලාගිරිය ප්‍රදේශයේදී සෙසු වාහනවල ගමනාගමනයට බාධා වන අන්දමින් අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය කටයුතු කළා.

සිරිතක් ලෙස සති අන්තයේ රාත්‍රී කාලයේදී ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් පාරේ මොවුන් මෙලෙස යතුරුපැදි ධාවනය කර තිබුණා.

කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන මාර්ග අතරින් ගාලු පාර හැඳින්වෙන්නේ වඩාත් කාර්යබහුලම මාර්ගය ලෙසයි.

දහවල් කාලයේ පමණක් නොව රාත්‍රියේ සහ අලුයමත් බස්, ලොරි සහ මෝටර් රථ ඇතුළු වාහන දහස් ගණනක් ගාලු පාර භාවිත කරන ආකාරය සුලබව දැකගත හැකියි.

අද (05) අලුයම 3 ට පමණ එලෙස ගාලු පාර කාර්යබහුල වී තිබූ පසුබිමක, බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේදී යතුරුපැදිකරුවන් පිරිසක් මාර්ගයේ අනාරක්ෂිත අන්දමින් යතුරුපැදි ධාවනයේ නිරත උනා.

යතුරුපැදිකරුවන් 20 දෙනෙකු ඔවුන්ගේ යතුරුපැදි වල නැගී මාර්ගයේ ධාවනය කරන්නේ සිය යතුරුපැදිවල පැතිකණ්නාඩිද නොමැතිවයි.

මෙම අනාරක්ෂිත යතුරුපැදි ධාවනයෙන් මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලට මෙන්ම මහමඟ ගමන් ගන්නා ජනතාවට සහ නිවෙස්වල නිදා සිටින ජනතාවටත් එල්ල වන්නේ දැඩි බාධාවක්.

ඒ අනුව මෙම පිරිස සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ලද තොරතුරක් මත අදාළ යතුරුපැදි ද සමග යතුරුපැදි ධාවකයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.

සිරිතක් ලෙස සති අන්තයේ රාත්‍රී කාලයේදී ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් පාරේ මොවුන් මෙම යතුරුපැදි ධාවනය සිදුකර තිබෙනවා.

පිටුපස රෝදයෙන් පමණක් ගමන් කිරීම , මාර්ගයේ විරුද්ධ දිශාවට ගමන් කිරීම සහ මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහන අතරින් වේගයෙන් ගමන් කිරීම වැනි අපරික්ෂාකාරි ධාවන ක්‍රම හේතුවෙන් මෙම යතුරුපැදිකරුවන් සෙසු රියැදුරන්ගේ ජීවිත හෙළන්නේ දැඩි අවදානමකයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *