හොරණ වෙඩි තැබීමක් – අදාළ සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

හොරණ වෙඩි තැබීමක් – අදාළ සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට


හොරණ වෙඩි තැබීමක් – අදාළ සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

(05.05.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)

හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසනවා.

අද (05) උදෑසන 10:45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මෙම ව්‍යාපාරිකයා හොරණ ප්‍රදේශයේ සිට බිරිද හා දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් ප්‍රදේශයේ සිය නිවසට කැබ් රථයෙන් පැමිණි අවස්ථාවේ රියදුරු අසුනේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවටයි අනාවරණය වී ඇත්තේ.

තුවාලකරු හොරණ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ මුහුණට තුවාල සිදුවී තිබෙනවා.

ඔහු නවාතැන ඉදිරිපිට මාර්ගයේ වාහනය නතර කර සිටියදී ඔහුගේ බිරිඳ ඉන් බැස දරුවා නිවසට රැගෙන ගොස් නැවත ආපසු වාහනයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී ඒ අසල යතුරු පැදිය නතර කර වෙඩික්කරු ඔහුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වාහනය සුළු දුරක් ඉදිරියට ධාවනය කර නතර කර ඇති අතර රියදුරු අසුන අසල ඇති වීදුරුවේ වෙඩි සලකුණු දෙකක් (2) සටහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ව්‍යාපාරිකයා හොරණ ප්‍රදේශයේ ‘මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරයක්’ සිදු කරන ‘වල්පිටගේ සංජය අයන්ත’ නැමැති අයෙකු වන අතර ඔහුගේ මුඛයට වෙඩි පහර වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහුගේ බිරිඳ විසින් සැකකරු හඳුනාගෙන තිබෙන බවද සඳහන් ෴

++++

හොරණ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට

(05.05.2024 – 15:44 +0530 – hirunews.lk/sinhala)

අද (05) පස්වරුවේ සිදු වූ හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර වෙඩික්කරු ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙසේ වෙඩි තබා තිබෙනවා.

+


මරණයෙන් කෙලවර වූ කථාබහ

(05.05.2024 – 07:41 +0530 – hirunews.lk/sinhala)

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු (2) අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් (1) තරුණයකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති අවුරුදු 17 ක තරුණයෙක්.

පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇති බව‍යි වාර්තා වෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


දස (10) වසරකට පසු ජනගහනයේ අඩුවීමක්

(05.05.2024 – 10:54 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2023 වසරේ මෙරට ජනගහනය එක්ලක්ෂ හතලිස් හතර දහසකින් (1,44,000) පමණ අඩුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව පැහැදිළි වන බවත්, වසර 10 කට පසු ජනගහනයේ ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු සඳහන් කළේ ෴


සහල් නොදුන් නිසා ග්‍රාම නිලධාරිනියකට පහර දෙයි

(05.05.2024 – 11:06 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ සහල් නොදුන් බවට පවසමින් උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරිනියක් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස පහරදී ඇත්තේ පනාපිටිය – දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිනිය යි.

සහල් ලබා නොදීම සම්බන්ධයෙන් එම කාන්තාව ග්‍රාම නිලධාරිනිය ගෙන් විමසීමක් කර තිබෙනවා.

පසුව දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර, එහිදියි කාන්තාව ග්‍රාම නිලධාරිනියට පහරදී ඇත්තේ.

ඇය මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියට අදාළ කාන්තාව කළුතර – උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදාදීමේදී ප්‍රතිලාභීන් ගෙන් මුදල් එකතු කළ පුවතක් කටාන ප්‍රදේශයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත වාර්තා වුණා.

ප්‍රවාහන වියදම් සහ පැටවීමේ වියදම් මෙන්ම සහල් බෙදාදීමේ උත්සවයේ සංග්‍රහ වියදම් සඳහා මෙලෙස රුපියල් 50 ක මුදලක් එක් ප්‍රතිලාභියෙකුගෙන් අය කරගෙන ඇති බවටයි අනාවරණ වුණේ.

මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ග්‍රාම නිලධාරී වසම් සඳහා සහල් ප්‍රවාහනයට වැඩපිළිවෙලක් රජය විසින් සකස් කර නොමැති බවයි.

ඒ හේතුවෙන් ප්‍රවාහන කටයුතු සඳහා මුදලක් අයකළ බවද ඔහු කියා සිටියා.

+


නිවාස 03 කට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර

(05.05.2024 – 11:21 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ස්ථාන තුනක (3) පිහිටි නිවාස තුනකට (3) පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති අතර එම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු (3) පොලීසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර අලුයම් කලයේදී එල්ල වී ඇති එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

එම ප්‍රහාරයෙන් නිවසේ කොටස් කීපයකට ගිණි ඇවිලී ගොස් ඇති අතර අච්චුවේලී පොලීසිය පැවසුවේ ප්‍රහාරය එල්ල කරණ ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබදව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

මේ අතර අච්චුවේලී පොලිස් බල ප්‍රදේශයේ තවත් නිවාස දෙකකට (2) සවස් කාලයේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් (2) එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද අච්චුවේලී පොලීසිය සිද්ධියට සම්බන්ධ බව පැවසෙන සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබෙනවා.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ එම නිවෙස් දෙකටම (2) ගල් ප්‍රහාරද එල්ල කොට එම නිවෙස් වල දොර ජනෙල්වී දුරු බිද දමා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴


පොදු සමාකාලයට ප්‍රතිචාර නොදැක්වූ හමුදා සාමාජිකයන් තාවකාලිකව රෙජිමේන්තුවලින් ඉවතට

(05.05.2024 – 11:37 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළ සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9,735 දෙනෙකු මේ වනවිටත් අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බව යුද හමුදා මූලස්ථානය ප්‍රකාශයට පත් කළා.

පසුගිය අප්‍රේල් මස 20 වනදා සිට මේ මස 20 වනදා දක්වා මාසයක (1) කාලයක් මෙලෙස හමුදාව හැර ගිය සෙබලුන්ට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඉන් සති දෙකක් (2) මේ වනවිටත් ඉක්ම ගොස් ඇති අතර, ඒ අනුවයි මෙලෙස ප්‍රතිචාර නොදැක්වූ යුද හමුදා සාමාජිකයන් තාවකාලිකව රෙජිමේන්තුවලින් ඉවත් කර ඇත්තේ ෴


සාමාන්‍ය පෙළ විභාගය හෙට (06)

(05.05.2024 – 12:31 +0530 – hirunews.lk/sinhala)

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 4,52,979 ක්.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527 කදී හෙට (06) ආරම්භ වීමට නියමිතයි.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගයට පෙනී සිටින අතර ඉන් 387,648 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් වන අතර 65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වනවා.

මේ අතර මදුරුවන් බෝවිය හැකි විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දූමායන සහ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර 2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

මෙවර 49,312 දෙනෙකු ඊට අයදුම්කර තිබූ අතර නැවත සමීක්ෂණයට ලක් කළ පිළිතුරු පත්‍ර සංඛ්‍යාව 250,311 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියට හෝ http://www.results.exams.gov.lk/home.htm වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

+


මහ මුහුද මැද දී වෙඩි තබාගත් නාවික හමුදා සෙබළා

(05.05.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චිය මුලංගාවිල් නාවික හමුදා කදවුරේ සේවය කරන නාවික හමුදා භටයෙකු මුහුදේ ගමන් කරමින් තිබූ නාවික යාත්‍රවක් තුලදී වෙඩි තබා ගෙන ඊයේ (04) සියදිවි හානි කරගෙන තිබෙනවා.

නාවික හමුදාවට අයත් යාත්‍රාවක් තුළ තිබූ ගිනි අවියකින්ම ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති නමුත් ඊට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ සිරිපුර පදිංචි ප්‍රේමරත්න නැමැති නාවික සෙබළෙක් වන අතර ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මුලංගාවිල් රෝහල වෙත බාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ ෴


දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්

(05.05.2024 – 14:16 +0530 – hirunews.lk/sinhala)

දඹදිව වන්දනාව සඳහා ගිය මාතර – වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් වූ පුවතක් වාර්තා වනවා.

දෙමාපියන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී ඔහුට සිදු වූ දේ සොයා දෙන ලෙසයි.

මෙලෙස අතුරුදන් වූ 44 හැවිරිදි ‘චරිත සුනෙත්’ නම් පුද්ගලයා පසුගිය මාර්තු 28 වැනිදා සිය මිතුරෙකු සමඟ දඹදිව වන්දනාවට ගොස් ඇත්තේ දින පහක් (5) සඳහායි.

මිතුරා පවසා ඇත්තේ මොහු පසුගිය 02 වනදා අලුයම හෝටලයන් පිටත්ව ගිය බවයි.

ඉන්පසු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැති බවයි මිතුරා ඥාතීන් වෙත පවසා ඇත්තේ.

අදාල පුද්ගලයා හෝටලයෙන් පිටව යන අයුරු CCTV කැමරාවකද සටහන්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මිතුරා එරට පොලිසියට පැමිණිලි කළද මේ දක්වා කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

මේ සම්බන්ධයෙන් මිතුරා සහ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යාංශය ද දැනුවත් කර තිබෙනවා.

+


සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ වෛද්‍ය උපදෙස්

(05.05.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විශේෂ වෛද්‍ය උපදෙස් කිහිපයක් නිකුත්කර තිබෙනවා.

ඒ මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්.

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියේ විභාගයට පෙනී සිටින සිසුන් දියරමය පානවර්ග ලබා ගැනීම සුදුසු බවයි.

ඒ සඳහා වඩාත් උචිත පිරිසිදු පානිය ජලය බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම විභාගයට යෑමේ දී හිරු එළියෙන් ආවරණය වීම සඳහා අවශ්‍ය කුඩයක් හෝ ඒ සඳහා සුදුසු දෙයක් භාවිතා කරන ලෙසත් විභාගය අතර තුර ලැබෙන කාල සීමාව තුළ හිරු එළියට නිරාවරණය වීමට නොයා සිසිල් ස්ථානයක රැඳී සිටින ලෙසත් විදුලි පංකාවක් තිබේනම් එම විවේක කාලයේ දී ඒ අසල රැදී සිටීම සුදුසු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර මදුරුවන් බෝවිය හැකි විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දූමායන සහ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *