නිවී ගිය මිණි පහන – ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින් ද සිල්වා

නිවී ගිය මිණි පහන – ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින් ද සිල්වා


නිවී ගිය මිණි පහන – ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින් ද සිල්වා

(05.05.2024 – divaina.lk)

ආචාර්ය නලින්ගේ මතවාදීය, දාර්ශනික බලපෑමට යටත් නොවුනු 1980 පසු බිහිවූ බුද්ධිමතකු, උගතකු මෙරට සිටිය නොහැකිය. අප පෙරාදෙණි සරසවියේ ‘සරසවි සංවාද කේන්ද්‍රය’ නමින් පිහිටුවා ගත් ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී වූ අවධියේ මසකට වරක් ආචාර්ය නලින් ද සිල්වා එහි දේශනයකට හෝ සංවාදයකට සහභාගි විය. එවන් සංවාදයකට සහභාගි වූ ආචාර්ය නලින්ගේ මතවාදීය පස මිතුරෙකු වරක් මට ප්‍රකාශ කළේ ඔවුන් සති මාස ගණනක් අධ්‍යයනය කර අදහසක් ඉදිරිපත් කළ විට නලින් ද සිල්වා මිනිත්තු කිහිපයකින් ඒ අදහස ඛන්ඩනය කරන බවයි. ආචාර්ය නලින්ගේ ක්ෂණික අවබෝධ කර ගැනීමේ ශක්තිය, වහා වැටහෙන නුවණ සහ අප්‍රමාදීව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට කිට්ටු වීමට හෝ හැකි අයෙක් මෙතෙක් මගේ ජීවිත කාලය තුළ මුණගැසී නැත.

ආචාර්ය නලින් ද සිල්වා

පානදුරේ වෑකඩ දී දරුවන් අට (8) දෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා ලෙස 1944 ඔක්තෝබර් 20 දා උපන් ‘ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා’ මහතාගේ දෙමාපියන් වූයේ දනියෙල් ද සිල්වා හා ඩේලින් පෙරේරා ගුරු යුවළයි. විදුහල්පතිවරයකු වූ ඔහුගේ පියාණන්ගේ ගේ මඟපෙන්වීමෙන් ගමේ පන්සලත් එහි පුස්තකාලයත් ඇසුරට ඔහු කුඩාකලම යොමු විය. හෙතෙම ‘පානදුර වෑකඩ බෞද්ධාලෝක පාසලේ’ තුන්වන (3) පන්තිය දක්වාත්, පස්වන (5) පන්තිය දක්වා ‘තර්ස්ටන් විදුහලේ’ත් ඉගෙනුම ලබා ඇත. ‘තර්ස්ටන් විදුහලේ’ ඔහු දැක්වූ දක්ෂතා මත පංති භාර ගුරුතුමිය ඔහු ගැන ලේක්හවුස් පුවත්පතකට ද ලිපියක් ලියා තිබේ.

හයවන (6) ශ්‍රේණියේදී ‘කොළඹ රාජකීය විදුහලේ’ විශේෂ පරීක්ෂණය සමත්ව සරසවි ප්‍රවේශය දක්වා එහි අධ්‍යාපනය ලබන හෙතෙම, පාසල් විය නිම කරන්නේ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමි රාජකීය විද්‍යාල ත්‍යාගය ද ලබා ගනිමිනි. එවකට රාජකීය විදුහලේ විවාද කණ්ඩායම් නායකයාද එතුමා වූ අතර, විවාදකයන් වෙනුවෙන් පිරිනමන වීරසූරිය ත්‍යාගයද දිනා ගන්නට සමත් විය. රාජකීය විදුහලේ සිසුවකුව සිටියදී සිංහල විවාද කණ්ඩායමේ ඇති වූ සිද්ධියකදී විදුහල්පතිවරයා විවේචනය කරමින් රාජකීය විදුහල සිංහලට තැනක් නොදෙන බවට ලිපියක් සකසා එය විදුහල්පතිවරයාට ගෙන ගොස් දී ඇති ඔහු කුඩා කල සිට තම නිවහල් බව ක්‍රියාවෙන් සාධනය කොට ඇත. සාමාන්‍ය පෙළින් පසු සෑම ගණිත හා භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයකටම පැය එකහමාරකින් පිළිතුරු ලියා ශාලාවෙන් නික්ම ගොස් තිබූ ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයෙන් ශිෂ්‍යත්වයක් හිමි විය. ඒ අතර ‘ලංකාවේ උපාධි’ ‘අන්තර් මධ්‍යම’ ලෙස සැලකූ ‘ලන්ඩන් විශ්වවිද්‍යාලයේ’ උසස් පෙළ පරීක්ෂණයට ද පෙනී සිට එයින් ඉහළින්ම සමත් වීමේ සහතිකය මත විශ්වවිද්‍යාලයට පිවිසීමට ගතවන අතරමැදි කාලය තුළ ‘වාද්දූව මධ්‍යම විද්‍යාලයේ’ කෙටි කලක් ‘උසස් පෙළ ගණිතය’ ඉගැන්වීම ද කර ඇත.

1962 දී ‘භෞතීය විද්‍යා ධාරාවෙන්’ ලංකාවේ සියලු පීඨවලට ඇතුළත් වීමට සුදුසුකම් සහිතව ඉහළම ලකුණු ලැබූ දහදෙනා (10) ගෙන් එක් අයකු වශයෙන් ‘ඉංජිනේරු පීඨයට’ ඇතුළත් වීමේ අවස්ථාව ඔහුට තිබුණ ද ‘සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු’ (Theoretical Physicist) වන අරමුණ සහිතව ඔහු ‘ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට’ ඇතුළත් වූ අතර, ‘ගණිත විශේෂ උපාධියට’ තේරුණ පසු ‘කොළඹ විශ්වවිද්‍යාලයට’ පැමිණ 1967 ඔක්තෝබරයේදී ‘ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ ගෞරව සාමර්ථයක්’ දිනා ගත්තේය. සරසවියේ දෙවැනි (2) වසරේදීම උපාධි අවසන් පරීක්ෂණයට පෙනී සිටින්නට ඔහු අවසර ඉල්ලා ඇති අතර, අංශාධිපති ඩග්ලස් අමරසේකර මහතා හැර අන් ආචාර්යවරු ඊට එකඟ වී නැති බැවින් ඒ අවස්ථාව ලැබී නැත. 1967 ඔක්තෝබරයේදී තාවකාලික සහාය කථිකාචාර්යවරයෙක් හා 1968 මාර්තුවේදී පරිවාස කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් වූ එතුමා අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ‘විශ්වවේදය’ (Cosmology) විෂයයට කීර්තියක් ඉසිලූ ‘මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට’ 1969 ජනවාරිවලදී ඇතුළත් විය.

සසෙක්ස් වෙත ගිය නලින් ද සිල්වාගේ උපදේශකයා වූයේ ‘රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ’ සභාපතිවරයකු හා කීර්තිමත් විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ ‘ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගණිත අංශ ප්‍රධාන’ ලෙස ද කටයුතු කර තිබූ ‘ශ්‍රීමත් මහාචාර්ය විලියම් මැක්රේ’ය. ‘ගුරුත්වජ කාච හා ක්වේසාර’ පිළිබඳ අධ්‍යයනය කරන මෙන් මැක්රේ, නලින් ද සිල්වාට උපදෙස් දී ඇත. එය ‘සාධාරණ සාපේක්ෂතාවාදී න්‍යාය’ ඇසුරෙන් සිදු කළ යුතු වුවද, ඒ වනවිට ‘ලංකා විශ්වවිද්‍යාලයේ’ එම ප්‍රවාදය උගන්වා නොතිබුණ නමුත් ස්වයං අධ්‍යයනය මගින් එය හදාරා තිබීම නිසා නලින් ද සිල්වා මහතා ඒ ගැන අධ්‍යයනයට යොමුව ඇත. එසේම ‘ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන බහුප්‍රතිබිම්බ’ ගැන පළමුව පෙන්වා දුන්නේත් එතුමායි. එම සෛද්ධාන්තික පෙන්වාදීම පසුව ‘බොබ් කාර්ස්වල්’ නමැති විද්‍යාඥයා විසින් නිරීක්ෂණය කරන ලදි. ඒ අනුව අද ‘අයින්ස්ටයින් කුරුසය’ (The Einstein Cross) ලෙස බටහිර විද්‍යාවේ ඉගැන්වෙන කරුණ පළමුව ප්‍රවාදගත කළේ එතුමාය. එහෙත් මැක්රේ විසින් ලබා දුන් එම ගැටලුවට අමතරව ද සිල්වා, ‘භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම’ පිළිබඳ තවත් ගැටලුවක් විසඳීමටද යොමුවිය. ඒ අනුව ඔහු මැක්රේ යටතේ සිදුකළ ආචාර්ය උපාධි නිබන්ධය වූයේ ‘තාරකා භෞතිකයේ සාපේක්ෂතාවාදී ගුරුත්වජ ආචරණ’ (Relativistic Gravitational Effects in Astrophysics) යන මාතෘකාවයි. වයස අවුරුදු 26 වන විට ඔහු එය නිම කළ අතර, ‘දර්ශන විශාරද උපාධියකට’ අවශ්‍ය අවම කාලය වන වසර දෙකකට (2) පෙර එම පර්යේෂණය අවසන් කළ බැවින් ඊට ‘දර්ශනපති උපාධියක්’ ලබා දෙන මෙන් මැක්රේගෙන් ඉල්ලා ඇත. නමුත් මහාචාර්ය මැක්රේගේ නිර්දේශය මත සසෙක්ස් සරසවිය දර්ශන විශාරද (ආචාර්ය) උපාධියක් පිරිනැමීමේ උපාධි පටිපාටිය සංශෝධනය කර නලින් ද සිල්වාට එකී උපාධිය පිරිනැමීය. මහාචාර්ය මැක්රේ විසින් සසෙක්ස්වලදී ඔහුට ලබා දුන් සහතිකයක එතුමා ගැන සටහන් තබනු ලැබ ඇත්තේ ඔබේ රට ඔබ ගැන ආඩම්බර වනු ඇත ‘Your country will be proud of you’ යනුවෙනි. ඒ කාලය වන විට එතුමාගේ පර්යේෂණ පත්‍රිකා ලොව ඉහළම පර්යේෂණ සඟරාවක් වන ‘නේචර් සඟරාවේ’ පවා පළවිය.

ලංකාවට පැමිණි ඔහු පේරාදෙණියේ කනිටු ආචාර්යවරයකු ලෙස වසර පහක් (5) කටයුතු කෙළේය. මාක්ස් ට්‍රොට්ස්කිවාදියකු හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරමින් සිටි එතුමා 1975 දී විදෙස්ගතව නැවත 1977 දී ලංකාවට පැමිණියත් පේරාදෙණියේ ඉගැන්වීමේ අවස්ථාව අහිමි විය. 1964 සිට ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් වූ එතුමා 1974 දී නව සමසමාජ පක්ෂය පිහිටුවීමේදී එයට එක්ව එහි මධ්‍යම කාරක සභිකයකු ලෙසද කටයුතු කළ අතර, 1980 ජූලි වර්ජනයට පෙර එයින් ඉවත් විය. 1979 දී, කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයට ආචාර්යවරයකු ලෙස එකතු වන එතුමා මාක්ස්වාදය න්‍යායාත්මකව ප්‍රශ්න කරමින් සිදු කළ රචනා මගින් ප්‍රබල සංවාදයක් ඇති කළ අතර, ඉන් පසු විද්‍යාවේ පදනම ද ප්‍රශ්න කරමින් අදහස් ඉදිරිපත් කළේය. ඒ අදහස් ඔස්සේ ආචාර්ය ද සිල්වා 1983 පටන් ජාතිකවාදී ප්‍රවේශයකට යොමු විය. අසූව දශකයේදී නැවත ඔහු සසෙක්ස් වෙත ලැබුණු ‘රාජකීය සංගමයේ වසරක අධිශිෂ්‍යත්වයක්’ මත එහි ගොස් සේවය කොට ඇත.

1986 වසරේදී ආචාර්ය නලින් ‘මගේ ලෝකය’ කෘතිය තුළින් ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ නම් නව දැනුමක් එළිදැක්වීමෙන් දාර්ශනික විප්ලවයකට මඟ පෑදීය. එතැනින් ඇරඹි නව දාර්ශනික ගමන ඔස්සේ සිංහල බෞද්ධ ජන සමාජය නව මානයක් වෙත යොමු කිරීමට එතුමා මැදිහත් විය. ආචාර්ය නලින් ඕනෑම ඉදිරිපත් කිරීමක් සංගත ලෙසත්, නිරවුල් ලෙසත් සිදු කිරීම ලාංකීය තරුණ බුද්ධිමතුන් වසඟ කිරීමට සමත් විය. 1985-2015 තිස් වසරක (30) කාලය තුළ ශ්‍රී ලාංකීය සරසවි සිසුන්ගේ ජනකාන්තම දේශකයා ඔහු බව පැවසීම අතිශෝක්තියක් නොවේ. ඍජු විෂය කරුණුවලට අමතරව විවිධ මාතෘකා අරභයා විශ්වවිද්‍යාල පද්ධතිය පුරා ආචාර්ය නලින් පැවැත්වූ දේශන සහ සංවාද වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කලා, වාණිජ බේදයකින් තොරව සරසවි සිසුන් අතර ජනප්‍රිය විය. අති දක්ෂ ගුරුවරයකු වූ එතුමා සිය අදහස් නිර්මාණශීලී ලෙසත් ආකර්ෂණීය ලෙසත් ඉදිරිපත් කිරීමෙහි සැබෑම ශූරයකු විය. තමා ඉදිරිපත් කරන දේ සමග එකඟ නොවන අයෙකු වුවද දේශනය අවසාන වන තෙක් රඳවා ගැනීමෙහි, බැඳ තබා ගැනීමේ අපූර්ව දක්ෂතාවක් එතුමා සතු විය. ‘අපෝහකයේ රූපිකය’ සහ ‘මාක්ස්වාදයේ දරිද්‍රතාවය’ කෘති මගින්, ඒ හා සමගාමීයව සැපයූ පුවත්පත් ලිපි, වාද-විවාද, සංවාද මගින් ආචාර්ය නලින් දශක 5 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවේ බුද්ධිමය ආධිපත්‍ය දැරූ මාක්ස්වාදය තීරණාත්මක ලෙස පරාජය කළේය.

1982 සිට උපාලි පුවත්පත් සමාගමේ දිවයින, දි අයිලන්ඩ් හා විදුසර පුවත්පත් ඔස්සේ පමණක් එතුමා පල කළ ලිපි සංඛ්‍යාව 2000 කට ආසන්න වේ. ඔහු විසින් සිදු කළ දේශන මෙන්ම වාද විවාද ද මෙතෙකැයි ගණනය කළ නොහැකිය. ‘ගවේෂකයෝ’, ‘චින්තන පර්ෂදය’ හා ‘වීමංසක පර්ෂදය’ වැනි සංවිධාන පිහිටුවමින් තම ජාතිකවාදී අදහස් සංවාදයට ලක් කළ එතුමා ‘කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පැරදවීමට හැකි බව සහ කළ යුතු බව’ සමාජගත කිරීමේ ද ආරම්භකයා ද වෙයි. ආචාර්ය නලින්ගේ අභාවය ගැන දැන ගැනීමෙන් තමන් මහත් සංවේගයට පත් වූ බව සටහනක් තබන කොටි පැරදවීමට දේශපාලන නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන සිය කෘතවේදීත්වය පල කර ඇත්තේ ‘අපගේ මාතෘභූමිය බැට කෑ බෙදුම්වාදී ත්‍රස්වාදයට එරෙහි වෙමින් ද එය යුදමය වශයෙන් පරාජය කළ හැකි බව දීර්ඝ කාලයක් තිස්සේ ජනගත කරමින් ද එතුමා ඉටුකළ කාර්යභාරය, ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට අයෝමය ශක්තියක් වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි’ යනුවෙනි.

සිංහල බෞද්ධ චින්තනය මත පදනම්ව මතවාදී දේශපාලනයේ නිරත වූ ආචාර්ය නලින් ද සිල්වා දර්ශනය, සාහිත්‍ය, කලාව, ඉතිහාසය ආදී සමාජීය හා මානව ශාස්ත්‍ර විෂය රාශියක මෙන්ම ගණිතය, විශ්වවේදය ආදී විෂය රැසක ද නව අදහස්, සංකල්ප, ප්‍රවාද නිර්මාණය කොට ඇත. ථෙරවාදී බුදු දහමේ අවිනිශ්චිත සහ මතබේදකාරී ස්ථාන ගණනාවක් පිළිබඳ එතුමා ලබාදුන් සංගත අර්ථ විවරණ ගිහි පැවිදි විද්වතුන් ගණනාවකගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. තවද සිංහල අවුරුද්ද පිළිබඳ එතුමාගේ පැහැදිලි කිරීම ඒ ගැන සිදුකළ විශිෂ්ඨතම අර්ථ විවරණය බව අවිවාදිතය. ඉරිදා දිවයින, බදාදා දි අයිලන්ඩ් සහ විදුසර පුවත්පත්වලට දීර්ඝ කාලයක් ලිපි සැපයීමෙන් පසු අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එතුමා දිනපතා ලිපි සැපයීය. එමගින් සිංහල සමාජයට ඇති කළ බලපෑම තවත් සියවස් ගණනාවක් පවතිනු ඇති බව මගේ විශ්වාසයයි.

1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමා වැඩ තහනමකට ලක් විය. සිය වැඩ තහනමට විරුද්ධව තනිවම නීති මගින් කටයුතු කළ එතුමා නිර්දෝෂ බව 2001 දී අධිකරණයෙන් තහවුරු වූ පසු ඔහු එම වසරේදී කැලණිය සරසවියේ ගණිත අංශයට සම්බන්ධ වූ අතර එහි මහාචාර්යවරයකු හා අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කෙළේය. කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කටයුතුවලට එතුමා සිය දායකත්වය ලබා දෙන්නේ මෙකලය. ඒ ඔස්සේ දැනුම ලබා ගැනීමට අධ්‍යාත්මික ක්‍රමවේද යොදා ගැනීම පිළිබඳ සංවාදයක් ඇරඹුණු අතර එය සිංහල ජන සමාජය තුළ කැළඹීමක් ඇති කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) ලේකම් හා සභාපති ධුර මෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපතිත්වය ද එතුමා දරා ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිසි වැටුප් තලවල පිහිටුවීමට ඒ මහතා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මියන්මාරයේ තානාපතිවරයා ලෙස 2020 වර්ෂයේදී ඔහුව පත් කළ අතර වසරකට ආසන්න කාලයක් එහි සේවය කළේය.

සියලු දැනුම් මනසට, ඉන්ද්‍රිය පද්ධතියට සහ සංස්කෘතියට සාපේක්ෂ බව පැවසූ ආචාර්ය නලින් බටහිර විද්‍යාවද තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එහි වාස්ථවිකත්වයක් නැති බවත් සහේතුකව, සංගතව, නිරවුල්ව ඉදිරිපත් කළේය. බටහිර විද්‍යාව ‘පට්ටපල් බොරුවක්’ බවට වූ ඔහුගේ දාර්ශනික ප්‍රකාශය එහි ගැඹුරක් නොදත් මතුපිටින් පමණක් ගත් දාර්ශනික නොදරුවෝ ඒ මත පිහිටා ඔහුට අපහාස කළහ; නිර්දය ලෙස විවේචනයට ලක් කළහ. එහෙත් දාර්ශනික අරුතෙන් සියලු දැනුම් බොරු බවත් ඒ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අනවබෝධයෙන් අවිද්‍යාව හේතු කොට කළ නිර්මාණ බවටත් වන ඔහුගේ ප්‍රකාශය පුහු විවේචකයෝ නොදුටුවහ. සියලු දැනුම් බොරුවන ලෝකයක බටහිර විද්‍යාව ‘පට්ටපල් බොරුවක්’ බව ඔහුගේ ප්‍රකාශය විය.

ආචාර්ය නලින්ගේ මතවාදීය, දාර්ශනික බලපෑමට යටත් නොවුනු 1980 පසු බිහිවූ බුද්ධිමතකු, උගතකු මෙරට සිටිය නොහැකිය. අප ‘පේරාදෙණි සරසවියේ සරසවි සංවාද කේන්ද්‍රය’ නමින් පිහිටුවා ගත් ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී වූ අවධියේ මසකට වරක් ආචාර්ය නලින් ද සිල්වා එහි දේශනයකට හෝ සංවාදයකට සහභාගි විය. එවන් සංවාදයකට සහභාගි වූ ආචාර්ය නලින්ගේ මතවාදීය පස මිතුරෙකු වරක් මට ප්‍රකාශ කළේ ඔවුන් සති මාස ගණනක් අධ්‍යයනය කර අදහසක් ඉදිරිපත් කළ විට නලින් ද සිල්වා මිනිත්තු කිහිපයකින් ඒ අදහස ඛන්ඩනය කරන බවයි. ආචාර්ය නලින්ගේ ක්ෂණික අවබෝධ කර ගැනීමේ ශක්තිය, වහා වැටහෙන නුවණ සහ අප්‍රමාදීව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට කිට්ටු වීමට හෝ හැකි අයෙක් මෙතෙක් මගේ ජීවිත කාලය තුළ මුණගැසී නැත.

අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අතුරලියේ රතන හිමි, පාටලී චම්පික රණවක, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, අනූප පැස්කුවෙල්, චරිත හේරත්, සුරේන් රාඝවන් සහ මා ද සෘජු ලෙසම ආචාර්ය නලින්ගේ අදහස්වලින් අඩු වැඩි වශයෙන් පෝෂණය වූ අයයි. දේශපාලන පොරපිටියට පිවිස ඇති ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ද තමන්ගේ මතවාද, අදහස් වෙනුවෙන් වැඩිම බලපෑමක් සිදු කර ඇත්තේ ආචාර්ය නලින් ද සිල්වා මහතා බව ප්‍රකාශ කර ඇත.

ආචාර්ය නලින්ට පළමු වතාවට හෘදයාබාධයක් වැළඳෙන්නේ 2013 වර්ෂයේය. හෘද සැත්කමකට ද ලක් වූ එතුමන් බටහිර සහ සිංහල වෛද්‍ය ක්‍රම දෙකටම අනුව ප්‍රතිකාර ලබා ගත්තේය. මියන්මාරයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ කොවිඩ් රෝගයට ගොදුරු වූ එතුමා එවර ද අසාධ්‍ය තත්ත්වයට පත් විය. එතැන් සිට වරින් වර අසනීප තත්ත්වයට ලක් වූ එතුමාගේ රුධිර පීඩනය බෙහෙවින්ම විචල්‍ය විය. මාස කිහිපයකට පෙර සිය දියණියගේ සහ පුතාගේ සුව දුක් බැලීමට ආචාර්ය නලින් එම මැතිණිය සමග විදේශගත විය. එහි සිටියදී සති කිහිපයකට පෙර මොළයේ සිහින් රුධිර නාලයක් පුපුරා අසනීප තත්ත්වයට පත් විය. කෙසේ වෙතත් ඉන් පසුවද ඔහු අඛණ්ඩව දිනපතා ලිපි සැපයීම සිදු කළේය.

එතුමා විදේශගතවූ සෑම විටකම පාහේ දින කිහිපයකට වරක් හෝ මා අමතා රටේ තොටේ විස්තර දැන ගැනීමත්, අසනීප තත්ත්වයක් වේ නම් ඒ ගැන පැවසීමත් පුරුද්දක් ලෙස සිදු කළේය. මියයෑමට දින දෙකකට (2) පෙර දුරකථනයෙන් මා ඇමතූ එතුමා පැවසුවේ තමන්ගේ අත් කකුල්වලට වෙනදාට වඩා ශීතලක් දැනෙන බවත් රුධිර පීඩනය නිරතුරුව විචල්‍ය වන බවත්ය. මේ දිනවල ආනාපාන සතිය වඩන බවද එතුමා මට පැවසීය. තවද ලංකාවේ ප්‍රවෘත්ති බැලීම නවතා ඇති බවත් ඒවා බැලූ විට ‘ප්‍රෙෂර්’ වැඩි වන බවත් සිනහ සෙමින් පැවසීය. විස්තර විචාල මා, අප්‍රමාදීව රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පැවසීමි. නලින් ද සිල්වා මැතිතුමන්ගේ අභාවය පිළිබඳ මා මුලින්ම දැනගත්තේ එංගලන්තයේ වෙසෙන එතුමාගේ සහෝදරයකු වන වසන්ත ද සිල්වා මහතාගෙනි. එසැනින් ආචාර්ය නලින් පසුපස සෙවනැල්ලක් මෙන් දශක පහක් රැඳී සිටි තමරා ද සිල්වා මැතිනිය ඇමතූ මා විස්තර දැනගතිමි.

ආචාර්ය නලින් යුගයක් බිහිකළ, යුගයක් එකලු කළ දාර්ශනිකයෙකි; ප්‍රඥාවන්තයෙකි; සම්‍යක්දෘෂ්ටික චින්තකයෙකි; කථිකයෙකි; ලේඛකයෙකි; සටන්කරුවෙකි; වයසට නොගිය ලෙන්ගතු මිනිසෙකි. අප ශිෂ්ඨාචාරය තුළ සංස්කෘතිය තුළ පැවිදි දාර්ශනිකයන් ගැන සඳහන් වුවද, ගිහි දාර්ශනිකයන් ගැන සඳහනක් නැත. සිවු සාලිස් (44) වසක් අඛණ්ඩව, අවිවේකීයව සිදුකළ දාර්ශනික යුග මෙහෙවර පිළිබඳ සමස්තයක් ලෙස බැලීමෙන් ආචාර්ය නලින් ද සිල්වා ‘සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය’ බිහිකළ අග්‍රගන්‍යම ගිහි දාර්ශනිකයා යැයි පැවසීම හැර වෙනත් ගෞරවයක් එතුමාට ලබාදිය නොහැකිය.

බෝධිසත්ව ගුණෝපේත ආචාර්ය නලින් ද සිල්වා ආදරණීය ගුරු පියාණන් සසර කෙළවර ප්‍රාර්ථනා කළ බෝධියකින් අමාමහ නිවනට පත් වේවා!

වෛද්‍ය චන්න ජයසුමන
පාර්ලිමේන්තු මන්ත්‍රී

ආචාර්ය නලින් ද සිල්වා රචිත කෘති :

  • මගේ ලෝකය
  • ජාතිය සංස්කෘතිය සහ චින්තනය
  • අපෝහකයේ රූපිකය
  • මාක්ස්වාදයේ දරිද්‍රතාවය
  • ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා
  • An Introduction to Tamil Racism in Sri Lanka
  • නිදහසේ පහන් ටැඹ
  • නිදහස දිනාගැනීම
  • ජාතියේ ඉරණම
  • සිංහල අවුරුද්ද
  • විද්‍යා කතාන්දර
  • මැතිවරණය හා හාමුදුරුවෝ
  • පනස් හයේ දරුවෝ
  • අපේ ප්‍රවාද 1-2-3
  • පරිසරය හා බටහිර ආකල්ප
  • බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ

+

++++++++

නලින් ද සිල්වා(1944 – 2024)

(05.05.2024 – divaina.lk කතුවැකිය)

(අකල් මරණයක් යනු කුමක්ද?)

සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූවද ‘මේ ශතවර්ෂයේ පහළ වූ විශිෂ්ටතම සිංහල බෞද්ධ දාර්ශනිකයා’ වූද මහාචාර්ය නලින් ද සිල්වාගේ මරණය ‘අකල් මරණයකි’. ඔහු මියයන්නේ 80 වැනි වියේදීය. එවැනි මහලු වයසකදී කෙනකුගේ මරණය සිදුවීම අකල් මරණයක් ලෙස ගණන් ගනු නොලැබේ. එහෙත් නලින් ද සිල්වා ගතින් මහලු වුවද ඔහුගේ මොළය තරුණ විය. Paradigms හෙවත් ‘අටුවන් බැසගත් ස්ථාපිතයන්’ට පහරදුන් ඔහු නවීන විද්‍යාව දෙකට කඩා ඒ තුළින් උකහා ගත් විඤ්ඤාණවාදය ලෙළවමින් බටහිර උගතුන් සහ මතවාද සංත්‍රාසයට පත් කළේය. ‘තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා’ යනු බටහිර විද්‍යාව ඉහළින්ම උගෙන මහාචාර්යවරයකු වූ කෙනෙකි. විද්‍යාව පසුකරගෙන ගොස් විඤ්ඤාණවාදයට එළඹීමේදී අප්‍රමාණ ලෙස සමාජයෙන් පහර කෑ නමුදු 80 හැවිරිදි වියේදීත් ඔහු නොසැලෙමින් තවදුරටත් ස්වකීය මතවාද තහවුරු කිරීමෙහි නියුතු විය.

‘නාථ දෙවියන්’ සම්බන්ධයෙන් ඔහු වෙතින් කෙරුණු ඇතැම් ප්‍රකාශ සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. නලින් ද සිල්වා භෞතික විද්‍යාඥයකු වුවද අධ්‍යාත්මික වශයෙන් වෙනම තලයකට ප්‍රවිෂ්ට වී සිටි කෙනෙකි. තමා ‘නාථ දෙවියන්’ සමග සංඥා හුවමාරු කරගන්නා බව හෙතෙම වරෙක කීවේය. මෙය බටහිර භෞතික විද්‍යා මතවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ අදහසකි. මහාචාර්ය ද සිල්වා ගණිතය සහ භෞතික විද්‍යාව ඉගෙනගත් විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික මතවාදයන්ට මේ කතාව සම්පූර්ණයෙන්ම පටහැණිය.

උතුරු මැද පළාතේ වකුගඩු රෝග පැතිර යන විට එයට හේතුව එම ප්‍රදේශවාසීන් අනුභව කරන සහල්වල ‘ආසනික්’ තිබීම යැයි මහාචාර්ය ද සිල්වා කීවේය. මේ බව සෙවීම සඳහා කළ පර්යේෂණ මොනවාදැයි විමසන ලද කල්හි මහාචාර්ය ද සිල්වා කියා සිටියේ ‘නාථ දෙවියන්’ විසින් තමන්ට ඒ බව දන්වන ලද බවය. කව්රුත් මේ කතාව පිළිගත්තේ නැත. ඒත් උතුරුමැද පළාතේ ජනයාගේ වකුගඩු රෝග ගැන විද්‍යාත්මක පරීක්ෂණ කිරීමේදී හෙළිවූයේ ඔවුන්ගේ ශරීරවල ආසනික් විශාල වශයෙන් තිබූ බවය. මහලු වියේදී මරණයට පත්වුවද නලින් ද සිල්වාගේ මරණය අකල් මරණයක් බව අප කියන්නේ මේ නිසාය. ඔහු අවසාන මොහොත දක්වාම සිය මතවාද පැතිරවීමට සහ ඒවා වෙනුවෙන් පෙනී සිටීමට කාලය කැපකළ කෙනෙකි.

පානදුරේ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ නලින් ද සිල්වා පසුව ‘කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත්, කොළඹ රාජකීය විද්‍යාලයටත්’ ඇතුළු විය. ඔහු සිය තෘතීයික අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයටත් ‘එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයටත්’ පිවිසුණි. සාමාන්‍යයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට පිවිසෙන තරුණයන් ආපසු එළියට එන්නේ කිතු සමය විසින් හික්මවන ලද මතවාද සහිතවය. එහෙත් නලින් ද සිල්වා එළියට එන්නේ බෞද්ධ දර්ශනවාදියකු සහ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසය.

කිසියම් පුද්ගලයකු විසින් දකින දෙය තීරණය වන්නේ එම පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂව බව ඔහු විශ්වාස කළේය. නලින් ද සිල්වා උග්‍ර ‘ජාතිකවාදියෙකි’. එහෙත් ඔහු අසවල් ජාතිය සංහාරය කරමු යැයි කියූ ජාතිවාදියෙක් නොවේ. උපාලි පුවත්පත් සමාගමේ විදුසර පුවත්පතට ඔහු විසින් ලිපි දහස් ගණනක් ලියන ලද අතර එමගින් ඔහු ජාතිකවාදී විද්‍යා ලේඛකයෙක් බවට පත්විය. එතැන් සිට නලින් ද සිල්වා සිය සම්පූර්ණ ජීවිතයම වැය කළේ ජාතික වාදය ප්‍රවර්ධනය කරනු පිණිසය. නලින් ද සිල්වා සෑම විද්‍යාත්මක මතවාදයකටම ‘බෞද්ධ සමීකරණයක්’ ආදේශ කළේය.

මෙහිදී ‘ඉන්දියාවේ විසූ සිරිනිවාස රාමනුජන්’ (1887 – 1920) අපට සිහිපත් වෙයි. යුරෝපීයයන් පිළිගැනීමට අකැමැති වුවද රාමනුජන් යනු මධ්‍යකාලීන යුගයෙන් පසු ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ගණිතඥයා ය. ඔහු ගණිත සමීකරණ ලක්ෂ ගණනින් ලියූ අතර ඒවාට විසඳුම් ද ලබාගත්තේය. රාමනුජන් ද විඤ්ඤාණවාදියෙකි. ඉතා දුෂ්කර සමීකරණ විසඳීමෙන් පසු ඔහු කියා සිටියේ ඒවා විසඳන ලද්දේ තමන් විසින් නොව තමන්ගේ චිත්ත සන්තානයට ආවේශ වූ දෙවියන් වහන්සේ විසින් බවය.

සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් ගැන නලින් ද සිල්වා විශ්වාස කළේය. මිනිසුන් කරන සද්කාර්යයන් පිටුපස සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ අප්‍රමාණ සහයෝගය ඇති බව ඔහු සිය ලියවිලිවල සඳහන් කළේය. නලින් ද සිල්වාගේ ප්‍රමුඛ ගුරුවරයා වූයේ ඔස්ට්‍රියානු දර්ශනවාදියකු වූ Paul Karl Feyeradend ය. විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ‘එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේත්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත්’ පර්යේෂණ රැසක් කළ ‘පෝල් කාල් ෆෙයරාබෙන්ඩ්’ තම දැනුමේ හොඳම හරිය මහාචාර්ය නලින් ද සිල්වා වෙත ප්‍රදානය කළ බව පෙනේ.

මහාචාර්ය ද සිල්වාගේ ජීවිතයේ අමිහිරිම අත්දැකීම වූයේ විශ්වවිද්‍යාලයේ කළ රස්සාව නැති වීමය. මේ වන විට ඔහු සිය ජාතික චින්තන මතවාදය පතුරුවමින් සිටියේය. ඔහුගේ මතවාදය සහ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ මතවාද ඉතා දැඩි ලෙස ගැටුණේ ය. ජී.එල්. පීරිස් ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ය.

2008 දී ‘කැලණිය විශ්වවිද්‍යාලයේ විමංසක පර්ෂදයේ’ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ නලින් ද සිල්වා විදේශීය ඇඳුම් වෙනුවට දේශීය ඇඳුම් ඇඳීමට ශිෂ්‍යයන්ගේ මනස හුරුකළ පුද්ගලයා හැටියට ඉතිහාසයට එකතු වේ. නවීන විද්‍යාවට කොපමණ බැන්න ද ඔහු ‘ජාත්‍යන්තර ගගන විද්‍යා සංගමයේ’ සාමාජිකයෙක් විය. ඔහු මේවාට ඇතුළු වුණේ නවීන විද්‍යාව තවදුරටත් ඉගෙනීමට නොව නවීන විද්‍යාවේ වැරදි සොයා ඒවා ජනතාවට ඉදිරිපත් කරනු පිණිසය.

බටහිරට ගැති ස්වදේශික තුප්පහියන් පිරිසක් මේ රටේ වෙසෙති. ඔවුන් කවදාවත් නලින් ද සිල්වාට, ඔහුගේ මතවාදයන්ට කැමති වුණේ නැත. එහෙත් නලින් ද සිල්වාගේ ‘චින්තන පර්ෂදය’ ඇසුරෙහි වැඩුණු ජාතික චින්තන මතවාදීන් ඔහුගේ ඉගැන්වීම් ඉදිරියටම ගෙන යන බව අපගේ විශ්වාසය ය ෴

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *