කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු

කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු


කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු

(04.05.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අප්‍රේල් 25 වනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළි පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පස්වන (5) සැමරුම් දේව මෙහෙයේදී කාදිනල් හිමිපාණන් තමන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සාවද්‍ය බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත්තේ තමන් සිදුකළ ප්‍රකාශ සත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ගෝඨාභය රාජපක්ෂ පත්කළ ජනාධිපති කොමිසම් වාර්තාව තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන හැර වෙනත් සංවිධාන තහනම් කිරීමක් සඳහන් කර නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇතැයි කාදිනල් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් සත්‍ය වන්නේ මේ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන ආකාරයට ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ පළමුවෙනි (1) වෙලුම, එනම් නිර්දේශ ඇතුළත් වෙලුම් තුළ ඔහු විසින් තහනම් කළ යුතු සංවිධාන ලෙස වෙනත් මුස්ලිම් නොවන සංවිධානද තහනම් කර තිබීමයි.

එමෙන්ම ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් පමණක් නොව වෙනත් සංවිධාන ද තහනම් කළ යුතු බවට ජනාධිපති කොමිසම් සභා නිර්දේශවල ඇති නියෝගය ක්‍රියාත්මක කිරීමද තමන්ට ප්‍රශ්නයක් නොවන බව හිටපු ජනාධිපතිවරයා සැබවින්ම තමා සමග ප්‍රකාශ කළ බවත්, යළිත් සඳහන් කරන්නට කැමති බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.

එවැනි කරුණක් හිටපු ජනාධිපතිවරයා තමාට නොකීවේ නම් එවැනි චෝදනාවක් ගෙතීම හෘද සාක්ෂියට අනුව කළ නොහැකි දෙයක් බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යට ගැසීමේ පිළිවෙත, අද පවතින රජය ද ඊට ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙන යන බවට පැහැදිළි බවද අගරදගුරු හිමිපාණන් කියා සිටියා.

එසේ සිදුවුවහොත් අහිංසක මිනිස් ජීවිත 273 ක් බිල්ලට දුන් මෙන්ම 500 ක් පමණ විවිධ අයුරින් ආබාධිත තත්වයන්ට ගොදුරු කළ පාස්කු ප්‍රහාරය මේ රටේ පාලකයින්ට අමතක වී යනු ඇති බවයි උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

එබැවින් මෙම විවේචනය ගැන ස්වාධීන, විනිවිද පෙණෙන සත්‍යවාදී විමර්ශනයක් අවශ්‍ය බවත්, එවැන්නක් ලැබෙනතුරු තමන් අවධියෙන් සිටින බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

+


බිරිඳගේ ගෙළ කැපූ සැමියාට පොලිසිය වෙඩි තබයි

(04.05.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව – මොල්ලිගොඩ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට දී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු විසින් බිරිඳට සහ දරුවන්ට පහර දෙන බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර, ඒ අනුව අද (04) දහවල් වාද්දුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මොල්ලිගොඩ ප්‍රදේශයට පැමිණ තිබුණා.

එහිදී මෙම පුද්ගලයා පොලිසිය බලා සිටියදී බිරිඳට වීදුරු කැබැල්ලකින් ගෙල පෙදෙසට පහර දී ඇති අතර එම අවස්ථාවේදීයි පොලිසිය ඔහුට වෙඩි තබා ඇත්තේ.

ඒ අනුව ඔහු සහ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

+


‘ලංකාවේ මල් විකුණන මල්ලි’ සොයා හිරු ගිය ගමන

(04.05.2024 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් දිනා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය හේතුවෙන් පමණක්ම නොවේ.

මෙරට කඳුතර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් මේ දිනවල චීනයේ ප්‍රචලිතව ඇති වීඩියෝවක් ඒ පිළිබඳව වෙනත් මානයක් ලොවට කියාපානවා.

‘ලංකාවේ මල් විකුණන මල්ලි’ නමින් වීඩියෝවක් චීනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

මෙම වීඩියෝව මේ වන විට චීනයේ සියලුම සමාජ මාධ්‍ය ආවරණය කරමින් නැරඹුම්වාර කෝටි 13 ක් ඉක්මවා තිබෙනවා.

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව, ජීවිතය ජය ගැනීමට දරන උත්සහය මෙන්ම කෘතවේදීභාවයත් හේතුවෙන්.

‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක්’ චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ මේ වීඩියෝවේ සිටින තරුණයා සොයා ගියා.

කොත්මලේ ජීවත් වන ‘දිලිප්’ පවුලේ තුන්වැනියායි.

මව් සෙනෙහස කුඩා කාලයේදීම දිලිප්ට අහිමි වන්නේ පවුලේ බර ඔහු කරමත තබමින්.

ඒ අනුව පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා.

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

ළඟදීම දිලිප්ව බැලීමටම චීන විශේෂ සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බවත් එහි ගිය අපට දැන ගන්නට ලැබුණා.

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන ‘දිලිප් මදුශංක’ගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.

රටට ඩොලරයක් හෝ උපයා දීමට වෙහෙසෙන මෙවැනි තරුණයන්ගේ ජීවන අරගලයට ශ්‍රී ලාංකික අපද අතහිත දෙමින් ඇගයීමට ලක්කල යුතු නොවේද?

+


සරසවි සිසුන්ට අසැබි දසුන් පෙන්වූ පරිගණක තාක්ෂණ ශිල්පියකු අත්අඩංගුවට

(04.05.2024 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රූමත් සිසුවියන් විශ්වවිද්‍යාලයට ගමන් ගන්නා මාර්ගයන්හි සැඟවී සිටිමින් අශෝභන ක්‍රියාවල යෙදුණු පරිගණක තාක්ෂණ ශිල්පියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන බද්දේගම පදිංචි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක පරිගණක තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කරන අයෙකු බවයි සඳහන් වන්නේ.

මොහු සේවයට යන සෑම දිනකම උදෑසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාබද කැලෑබද පෙදෙසක රැඳී සිටිමින් අසැබි ක්‍රියාවල යෙදී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ නමුත් මෙම සිදුවීම්වලට මුහුණ දුන් ඇතැම් සිසුවියන් අවස්ථා කිහිපයකදී අනතුරුවලට ලක්ව ඇති බවද සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලිවලට අනුව අදාළ පුද්ගලයා එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් සිසුවියන් විසින් සැකකරුගේ අශෝභන ක්‍රියාකාරකම් වීඩියෝ ගත කර තිබූ අතර, එම වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමත් සමඟ සැකකරු කළ වැරැද්ද පොලිසිය හමුවේ පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය VFS Global වෙත ලබා දීමට එරෙහිව පාර්ශව රැසකින් විරෝධය

(04.05.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජය සිය වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය VFS Global වෙත ලබා දීමට එරෙහිව පාර්ශව රැසක් සිය විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සංචාරකයන්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමක ඇති අවස්ථාවන්හි දී වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් ලබා ගත හැකි බවයි.

වීසා වලට අය කරන ගාස්තුවෙන් 25% කට වඩා ප්‍රමාණයක් මේ වන විට VFS Global ආයතනය විසින් ලබා ගන්නා බවයි ‘ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය’ සඳහන් කරන්නේ.

එමගින් ශ්‍රී ලංකා රජයට හෝ සංචාරකයන්ට කිසිදු වාසියක් අත් නොවන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරන්නේ VFS Global ආයතනය හේතුවෙන් e-visa සැකසීමේ ක්‍රියාවලියේ දී යළිත් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති වන බවයි.

නැවත පැවති ආකරයටම, රජයේ වෙබ් අඩවියක මෙම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය නැවත ස්ථාපිත කරන මෙන් සංචාරක පාර්ශවකරුවන් රැසක් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇති බව වාර්තා වෙනවා.

+


කුලියාපිටියේ දී අතුරුදන් වූ තරුණයා පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය මාතලෙන් සොයා ගැනේ

(04.05.2024 – 17:34 +0530 – hirunews.lk/sinhala)

දැනට අතුරුදන් වී ඇති බවට පැවසෙන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයා පැහැරගැනීමට යොදා ගත් බවට සැකකෙරෙන වෑන් රථය අද (04) මාතලේ විල්ගමුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එය රැගෙන ආ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

තම පෙම්වතියගේ නිවසට යන බව පැවසූ මෙම තරුණ ව්‍යාපාරිකයා පසුගිය 22 වනදා සිට අතුරුදන් වී ඇති බවටයි ඔහුගේ ඥාතීන් පොලිසිය පැමිණිලි කර තිබුණේ.

මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු (2) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පෙම්වතිය ඇතුළු ඇයගේ පවුලේ ඥාතීන් නිවස අතහැර පළාගොස් සිටිනවා.

+

සැක සහිත වෑන් රථයක් හමුවෙයි

(04.05.2024 – 21:04 +0530 – sinhala.adaderana.lk)

මාතලේ, විල්ගමුව නගරයේ ගොවිජන සේවා කාර්යාලය අසල දින කිහිපයක් තිස්සේ සැක කටයුතු ලෙස නවතා තිබෙන ‘වෑන් රථයක්’ පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබේ.

එම වෑන් රථය පසුගියදා කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේදී අතුරුදන්වූ 31 හැවිරිදි තරුණයා පැහැරගෙන ගිය වෑන්රථය බවට පොලීසිය සැක පළ කරයි ෴

++++++++++++

+


කරදගොල්ලට අස්වැසිල්ලක්

(04.05.2024 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – කරඳගොල්ල නායයාමේ අවදානම පිළිබද ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ සිදුකළ පරීක්ෂණවල අවසන් වාර්තාව ලබන සතියේ දී තමන් වෙත ලැබෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසනවා.

මෙම නායයාමේ අවදානම සහ ‘උමා ඔය ව්‍යාපෘතිය’ අතර සම්බන්ධයක් ඇති බවට දැනට සිදුකර ඇති පර්යේෂණවලට අනුව තහවුරු වී නොමැති බවයි ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ ප්‍රකාශ කළේ.

එම සංවිධානයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස ගෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මීට පෙර අවස්ථා ගණනාවකදී නායයාමට ලක්වූ ස්ථාන කිහිපයක් යළි සුළු වශයෙන් සක්‍රීය වීම මෙහිදී සිදුව ඇති බවයි.

ඇල්ල – කරඳගොල්ල නායයාම පසුගිය 25 වැනිදා අලු‍යම් කාලයේ ආරම්භ වූ අතර ‘හිරු ප්‍රවෘත්ති’ මගින් අප එය පලමු වරට අනාවරණය කළා.

කරඳගොල්ල ප්‍රදේශවාසීන් දිගින් දිගටම චෝදනා කළේ මෙම නායයාමේ අවදානම සහ උමා ඔය ව්‍යාපෘතියේ සම්බන්ධයක් ඇති බවටයි.

එවන් පසුබිමක ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ පසුගිය 01 වැනිදා මෙම ස්ථානයේ විද්‍යාත්මක පරීක්ෂයක් ආරම්භ කළා. ඒ, මෙම නායයාමේ අවදානම සහ උමා ඔය ව්‍යාපෘතිය අතර යම් සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳව අනාවරණ කර ගැනීම සඳහායි.

පවතින තත්වය හමුවේ ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ ජනතාව බිය නොවිය යුතු බවයි, ‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ’ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කළේ.

+++++++++++++

+


සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (04) හෝ හෙට (05)

(04.05.2024 – 20:41 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2022) විභාගවල නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (04) හෝ හෙට (05) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටිනවා.

එමන් ම සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ෴

2022 වර්ෂයට අදාළව සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.

එම ප්‍රතිඵල https://www.doenets.lk/ හෝ http://www.results.exams.gov.lk/home.htm ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

2023 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භවීමට නියමිත අතර ඊට අයැඳුම්කරුවන් 452,979 ක් සුදුසුකම් ලබා තිබෙනවා ෴


විපක්ෂ නායකවරයාගෙන් තවත් හෙළිදරව්වක්

(04.05.2024 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්, බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් ‘ප්‍රජා උපදේශක කමිටු’ පත් කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ පළාත් පාලන බල ප්‍රදේශ 341 ට රුපියල් මිලියන 3410 ක් වැය කෙරෙන අදාළ වැඩසටහනට එරෙහිව නීත්‍යනුකූලව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වළ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීමේ වැඩ සටහනට එක්වෙමින්.

මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කෙරුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *