පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම්

පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම්


පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම්

(03.05.2024 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුවේ පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් වන බවට ‘පැෆ්රල් සංවිධානය’ චෝදනා කරනවා.

‘ප්‍රජා උපදේශක කමිටු’ නමින් එම කටයුතු කිරීමට අදාළ චක්‍රලේඛයක්ද ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ‘ප්‍රජා උපදේශක කමිටු’ පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සෑම පළාත් පාලන බල ප්‍රදේශයක් සඳහාම වසරක (1) කාල සීමාවක් සඳහා ‘ප්‍රජා උපදේශක කමිටුවක්’ පත් කළ යුතුයි.

එම කමිටු පත් කිරීම අදාළ පළාතේ ආණ්ඩුකාරවරයා විසින් කළ යුතු අතර කමිටුවට පත් කරන පුද්ගලයින්ගේ නාමයෝජනා සඳහා අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වනවා.

‘ප්‍රජා උපදේශක කමිටු’ රැස්වීම් පැවැත්වීම සඳහා අවශ්‍ය කාර්යාල පහසුකම් ලබාදීමට සියලුම නාගරික කොමසාරිස්වරුන්, නගර සභා හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කටයුතු කළ යුතු අතර, කමිටු රැස්වීම් වාර්තාව මාසිකව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්.

‘ප්‍රජා උපදේශක කමිටු’ විසින් අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ හඳුනාගනු ලබන හදිසි හා අත්‍යවශ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ප්‍රතිපාදන වෙන්කරනු ලබනවා.

‘උරුමය ඉඩම් හිමිකාරීත්වය වැඩසටහන, නාගරික නිවාස හිමිකාරීත්ව වැඩසටහන, කඳුකර දශකය සංවර්ධන වැඩසටහන, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හා සහල් බෙදා දීමේ වැඩසටහන’ ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන් රැසක් මෙම කමිටු හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

මේ අතර ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කෙරෙන මෙම කමිටු ක්‍රියාවලිය වහාම නැවැත්වීමට මැදිහත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා ද මැතිවරණ ඉලක්ක කරගනිමින් රජයේ මුදල් වැය කිරීමට අවස්ථාව සැලසෙන බව ‘ජාතික සංවිධාන එකමුතුව’ පෙන්වා දෙනවා.

+


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය සමාව

(03.05.2024 – 15:07 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර (44) රාජකීය නියෝගයක් මගින් සමාව ලබා දී ඇති බව අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

2024 අප්‍රේල් රාමසාන් මාසය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනා (44) අරාබි එමීර් රාජ්‍ය රජය විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට යොමු කිරිමට නියමිතයි.

මේ අතර, අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මෙම ශ්‍රී ලාංකිකයින්ට සමාව දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සහ එහි විදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශවලට සිය ප්‍රසාදය පළ කර තිබෙනවා ෴


කොත්තු සහ රයිස් මිල පහළට

(03.05.2024 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල අඩුවීම නිසා ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට ‘සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය’ තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු.20 කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම ‘සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු.10 කින් අඩු කර ඇති බවයි ෴


ලංකාවේ දී ‘තරග පවාදීම’ට තැත් කළ ඉන්දීය ජාතිකයාට අධිකරණයේ පෙනී ඉන්නැයි නියෝග

(03.05.2024 – 15:57 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පල්ලෙකැලේදී අවසන් වූ Legend Trophy 2024 ක්‍රිකට් තරගාවලියේදී ‘තරග පාවාදීමේ’ සිද්ධියකට අදාළව බලපෑම් සිදු කළේ යැයි සැකකරුවකු වශයෙන් නම් කර සිටින ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරයකු වන ‘යෝගී පටෙල්’ නමැත්තාට මේ මස 14 වනදා මාතලේ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළා.

මෙම පැමිණිල්ල අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ක්‍රීඩා දූෂණ විමර්ශන අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාර ඉන්දීය ජාතිකයාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බව සඳහන් කළා.

එම නඩුව ලබන 14 වනදා මාතලේ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එදින එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම විමර්ශන අංශ නිලධාරීන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුට මාතලේ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළා.

මෑතකදී පල්ලෙකැලේදී අවසන් වූ අදාල ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක උපුල් තරංගට තරග පාවාදීම සම්බන්ධයෙන් බලපෑමක් සිදු කළේ යැයි සැකපිට මෙම ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ෴


රුපියල් මිලියන 10 ක් කප්පම් ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැරයන්වරයෙකු රිමාන්ඩ්

(03.05.2024 – 16:25 +0530 – hirunews.lk/sinhala)

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරින් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියක (1,00,00,000) අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව, ‘පොලිස් වංචා විමර්ශන අංශයේ’, තවත් සැරයන්වරයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා’ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙර කාන්තාවක් (1) ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

එසේම සිද්ධියට අදාළව ‘වංචා විමර්ශන අංශයේ’ තවත් සැරයන්වරයෙකු (1) ද ලබන 15 වනදා දක්වා ඊයේ (02) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴


වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාරයක්

(03.05.2024 – 16:56 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට අද (03) පස්වරුවේ පොලිසිය ජල ප්‍රහාරක් එල්ල කළා.

ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි.

‘නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

+


මෛත්‍රී පැය දෙකක් (2) CIDයට කට උත්තර දෙයි

(03.05.2024 – 17:41 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකක (2) ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ පසුගිය දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමටයි.

අද (03) පෙරවරු 10 ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර ඔහු දහවල් 12:20 ට පමණ ඉන් පිටව හිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


මහපාර මැද අළු වූ ත්‍රිරෝද රථය

(03.05.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala)

නෝටන්බ්‍රිජ් සිට නුවරඑලිය දක්වා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් නානුඔය උඩ රදැල්ල ප්‍රදේශයේ දී අද (03) පස්වරුවේ ගිනිගෙන විනාශ වි ඇති බව නානුඔය පොලිසිය පැවසුවා.

ගිනි ගැනිමට ලක් වූ ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු (4) ගමන් කර ඇති අතර, එකවරම ත්‍රිරෝද රථයේ පිටුපසින් ගින්න හට ගැනීමත් සමග එහි ගමන් ගත් සිව්දෙනා (4) ත්‍රිරෝද රථයෙන් බැසගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පසුව එම ත්‍රිරෝද රථය ගිනිගෙන විනාශ වී ඇති බවයි.

පොලීසිය සැකකරන්නේ ත්‍රිරෝද රථය අධික ලෙස රත්වීමත් සමග එහි ඉන්ධන කාන්දුවකින් ගින්න හටගන්න ඇති බවටයි.


‘ෆොක්ස් හිල්’ අනතුරෙන් දිවි අහිමිවූවන්ට රුපියල් ලක්ෂ 10 ක් ගෙවයි – තුවාල ලැබූ අයටත් වන්දියක්

(03.05.2024 – 18:59 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති ‘ෆොක්ස් හිල්’ මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදුවූ අනතුරින් දිවි අහිමි වූවන්ට හා තුවාල ලැබූවන්ට වන්දි මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවිය අහිමි වූ හත් දෙනා (7) හට එක් අයකුට රුපියල් මිලියනය (1) බැගින් ලබාදීමට තීරණය කර ඇති අතර තුවාල ලැබූ අයට රුපියල් 250,000 බැගින්ද ලබාදීමට තීරණය කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ ෴


“අවා‍රේ සිරිපා කරුණාව තහනම්” – ශ්‍රී පාදස්ථානාධිපති

(03.05.2024 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (මැයි) 24 වනදායින් අවසන් විමට නියමිතයි.

ඉන්පසු සිරිපා කරුණාවට අවසර හිමිවන්නේ, විදේශිකයන්ට පමණක් වන බවත් දේශිය සංචාරකයන් හෝ වෙනත් කිසිඳු පුද්ගලයකුට අවසර හිමිනොවන බවත් ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රි පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශිය සංචාරකයන් පුදබිමට සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය වෙත සංචාරය කිරිමට අවසර ලබා නොදීමට තීරණය කළ බවයි ෴


සිය දරුවා ඇපයට තබා ගත් නරුම පියා

(03.05.2024 – 22:31 +0530 – hirunews.lk/sinhala)

මව්පියන්ට මෙලොව සිටින වටිනාම සම්පත තම දරුවන්.

දරුවාගේ භාරකාරත්වය මෙන්ම ආරක්ෂාව පිළිබඳවත් අවසාන වගකීම දරන්නේ මව්පියන්.

එහෙත් සිය දරුවා ඇපයට තබාගනිමින් විදෙස්ගත මවගෙන් මුදල් ඉල්ලීමට තරම් පහතට ඇද වැටුණු, පිය පදවියටත් නිගරු කළ පුද්ගලයෙකු පිළිබඳව මේ පුවත වාර්තා වුණේ බලන්ගොඩ ප්‍රදේශයෙන්.

මේ, බලන්ගොඩ පෙට්ටිගල වතුයායයි.

එම වතුයායේ මේ නිවසේ ජීවත්වූ 21 හැවිරිදි මදුෂිකා මීට මාස හයකට (6) පමණ පෙර විදේශගත වන්නේ තම එකම සිව් හැවිරිදි (4) දැරියගේ අනාගතය වෙනුවෙන් මුදලක් ඉතිරි කරගන්න හිතාගෙන.

ඇය සැමියාට සිය දැරියගේ ආරක්ෂාව භාරකර රටට සමුදෙන නමුත් ඇයගේ බලාපොරොත්තු කඩවීමට ගත වුයේ වැඩි කලක් නොවේ.

මෙලෙස දැරියට ඉතා අමානුෂික ලෙස ශාරීරික හිරිහැර කරන පියා ඒවා වීඩියෝ කර බිරිඳට හා සමාජ මාධ්‍යයට මුදා හැරීමට කටයුතු කරනවා.

මෙම සිද්ධිය පිළිබඳව අසල්වාසීන් විසින් පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිසිය පියා අත්අඩංගුවට ගන්න කටයුතු කළා.

ඔහු පොලිසියට පවසා තිබෙන්නේ විදේශගත වූ බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීමේ අරමුණින් දැරියට හිරිහැර කළ බවයි.

පියා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

දැරිය මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ බලන්ගොඩ මුලික රෝහලේයි.

දරුවා ඇපයට තබාගනිමින් මවගෙන් මුදල් ඉල්ලීමට තරම් පහතට ඇද වැටුණු පිය පදවියටත් නිගරු කරන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව උපරිම මට්ටමින් නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *