බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු දෙක (2) නිවෙස් දෙකකින් (2) හමුවෙයි

බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු දෙක (2) නිවෙස් දෙකකින් (2) හමුවෙයි


බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු දෙක (2) නිවෙස් දෙකකින් (2) හමුවෙයි

(03.05.2024 – 10:59 +0530 – hirunews.lk/sinhala)

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක (2) තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු දෙකක් (2) නෙඩුන්කේණී පොලිසිය විසින් (02) සවස සොයා ගෙන තිබෙනවා.

ප්‍රධාන නිවසේ පදිංචිව සිටි තිදරු පියෙකු වන 47 හැවිරිදි වේදනායගම් ලෝගනාදන් නැමැත්තා කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර බිරිද වන 37 හැවිරිදි ලෝගනාදන් පරමේශ්වරී නැමැත්තියගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ ප්‍රධාන නිවසට මදක් දුරින් පිහිටි වෙනත් නිවසක් තුළ තිබියදී බවයි සඳහන් වන්නේ.

මේ දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිවීම නිසා කලක සිට ඔවුන් දෙදෙනා (2) වෙන් වෙන් වශයෙන් ජීවත් වූ බව අසල්වාසීන් නෙඩුන්කේණී පොලිසියට සඳහන් කර තිබෙනවා.

මියගොස් සිටින ස්වාමි පුරුෂයාගේ බෙල්ල ඇතුලු ස්ථාන ගණනාවක කැපුම් තුවාල දක්නට ලබීමටත් බිරිදගේ මෘත ශරීරයෙන් කිසියම් වස වර්ගයක ගදක් හමා යාමත් නිසා පොලිසිය සැක කරනු ලබන්නේ බිරිද විසින් ස්වාමියාව කපා කොටා ඝාතනය කර ඇය වස පානය කරන්නට ඇති බවයි.

නෙඩුන්කේණී පොලිසිය විසින් ඔවුන් දෙදෙනාගේ (2) මළ සිරුරු පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති අතර පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


ටිපර් රථයකට යටවූ පොලිස් නිලධාරියා

(03.05.2024 – 10:46 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව රම්බෙයිකුලම් ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකුව යටකර ගෙන ගිය ටිපර් රථයක් හා එහි රියදුරුව වවුනියාව පොලීසිය ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජකාරි කටයුත්තක් සදහා යමින් සිටියදී අදාළ පොලිස් නිලධාරියා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් පැමිණි ටිපර් රථය පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදියේ පිටුපස ගැටීමත් සමග පොලිස් නිලධාරියා යතුරු පැදියෙන් වීසි වී ගොස් මහපාරට ඇද වැටී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරියා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති බවයි ෴


ජනතාව වෙනුවෙන් කළ මැයි රැළිවල වියදම රුපියල් කෝටි 200 ක්

(03.05.2024 – 12:05 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ මැයි දින රැළි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට (200) ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි වාර්තා වෙනවා.

දේශපාලන පක්ෂ නායකයෝ පවසා ඇත්තේ උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැළි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බවයි.

දේශපාලන පක්ෂවලට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ මැයි රැළිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් සඳහා බවයි වාර්තා වන්නේ.

සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වලටයි ෴


සහල් බෙදාදීමේ වැඩසටහනට ප්‍රතිපාදන මහ භාණ්ඩාගාරයෙන් ලැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරු කියයි

(03.05.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

සහල් බෙදාදීමේ වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහ භාණ්ඩාගාරයෙන් කිසිදු ගැටලුවකින් තොරව ලැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරු පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

එහිදී හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බෙදා දුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව ඔවුන් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ජාතික වැඩසටහන පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

සෙසු දිස්ත්‍රික්ක ලේකම්වරු සූම් තාක්ෂණය ඔස්සේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වුණා.

දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුළ හඳුනාගත් අඩුආදායම්ලාභී පවුල් සඳහා අප්‍රේල් සහ මැයි මාසය සඳහා සහල් කිලෝ 10 බැගින් අදාළ වැඩසටහන මගින් ප්‍රදානය කෙරෙනවා.

මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 26.6 ක්.

+


ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය වෙයි

(03.05.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වනවිට සියලු සැළසුම් සකස් කර තිබෙනවා.

ඒ යටතේ මීටර 850 ක් සහ මීටර 150 ක දිගින් යුතු දියකඩන දෙකක් (2) ඉදිකිරීමට නියමිත අතර, පතුල මීටර 12.05 කින් ගැඹුරු කිරීම හා මගී පර්යන්තයක් ඉදිකිරීමද සිදුවනු ඇති.

ඊට අදාළ ගැටලු නිරාකරණය කරගැනීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මෙම සංවර්ධන ව්‍යාපෘතියට දායකත්වය ලබාදීමට කැමති දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන ලෙසයි.

ගාලු වරායේ සමස්ත සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඩොලර් මිලියන 200 ක් වැය කරනු ලබනවා.

+


පැෆරල් සංවිධානයෙන් චෝදනාවක්

(03.05.2024 – 14:00 +0530 – hirunews.lk/sinhala)

‘පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම’ මැතිවරණය ඉලක්කර ගෙන ආණ්ඩුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බව පැෆරල් සංවිධානය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡවක දී.

පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ ‘උරුමය ඉඩම් හිමිකාරීත්ව වැඩසටහන’, ‘නාගරික හිමිකාරීත්ව වැඩසටහන’, ‘කඳුකර දශකය සංවර්ධන වැඩසටහන’, ‘කෘෂිකර්ම නවීකරණ වැඩසටහන’, ‘සහල් බෙදාදීමේ වැඩසටහන’ ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ යටතේ සැලසුම් කර ඇති බවයි.

+


රුපියල් කෝටි නවයකට (09) අධික වත්කම් අයථා ලෙස ඉපයූ ධීවරයෙක් අත්අඩංගුවට..

(03.05.2024 – 18:20 +0530 – lankacnews.com)

ගෙවී ගිය වසර කිහිපය තුලදී උතුරු පලාතේ විවිධ පුද්ගලයින් විසින් නීතිවිරෝධීව වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සෙවීම සඳහා පොලිස්පති වරයාගේ නියෝගයන් පරිදි ‘නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය’ මගින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

මේ අනුව තලෙයි මන්නාරම ප්‍රදේශයේදී සැකකරුවෙකු විසින් 2019 වසරේ සිට නීතිවිරෝධීව උපයා තිබූ රුපියල් කෝටි 09 කට අධික වටිනකමින් යුතු වත්කම් තාවකාලිකව තහනම් කොට සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

අදාල සැකකරු විසින් 2019 වසරේ සිට නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරමින් උපයා ඇති වත්කම් සම්බන්ධයෙන් ලැබුනු තොරතුරකට අනුව ‘නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ’ නිලධාරීන් පිරිසක් හා තලෙයිමන්නාරම් පොලීසිය සැකකරුගේ නිවසට ගොස් පරික්ෂණ සිදුකරන ලදි.

එහිදී අදාල සැකකරු විසින් උපය ඇති වත්කම් නීත්‍යානූකූලව හෙලි කිරීමට අපොහොසත් වීම මත සැකකරු සතුව තිබූ රුපියල් කෝටියකට (01) අධික වටිනාකමින් යුතු සුඛෝපභෝගී කාර් රථයක් (01), රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුතු තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක්, රුපියල් කෝටි 05 කට අධික වටිනාකමින් යුතු මන්නාරම සින්නකඩේ ප්‍රදේශයේ පිහිටි නිවසක් (01) සමග කඩකාමර 05 ක්, දේපල පනතේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව තාවකාලිකව තහනම් කොට සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ධීවර රැකියාව කරන අයෙකු වන අතර ඔහු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද ‘නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය’ විසින් වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධූෂංඛ

+++++++++

+


අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගයට ලක් කරන අයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග

(03.05.2024 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ‘වී.එෆ්.එස්. ග්ලෝබල්’ සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බවට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවිමේදි විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු අයදුම්පත් දෙකකින් (2) වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත, විදේශිකයන් රටට ඇතුළු වීමේ දි විසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පැවරූ බවද සඳහන්.

රටවල් 151 ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් වෙනවා.

නමුත් පසුගිය දිනක ඔවුන්ගේ විසා නිකුත් කිරීම ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත් කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන්නාය කියන කාරණය අසත්‍ය කාරණයක් වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නොමැති බවද එහි සඳහන්.

විසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරාඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි.

++++++++++

+


අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේ බිහිසුණු අනතුරක් : පාසල් සිසුන් ඇතුළු 33 ක් රෝහලේ

(03.05.2024 – 14:56 +0530 – hirunews.lk/sinhala)

අම්පාර නගරයේ සිසුසැරිය බස්රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් තුවාල ලැබූ 33 දෙනෙකු රෝහල්ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ලංගම බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ දී අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අප කළ විමසීමකදී රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

අනතුර පිළිබඳ සැලවීමත් සමග දෙමාපියන් දරුවන් සොයා කලබලයෙන් දිව ආ බවයි වාර්තා වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *