කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ

කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ


කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ

(02.05.2024 – 21:12 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදුකළ බව පැවසෙන ‘ඉන්දීය පෞද්ගලික සමාගමක්’ සිය රට තුළ ක්‍රියාත්මක සමාගමක් නොවන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

ඔවුන් සඳහන් කරන්නේ එම සමාගමේ කිසිදු කාර්යාලයක් හෝ සාමාජිකයින් සම්බන්ධයෙන් සදහනක් නොමැති බවයි.

ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී අදාළ ඉන්දීය සමාගම මැදිහත්වීම් නිසා ඊයේ (01) උණුසුම තත්වයක් හට ගෙන තිබුණා.

පසුව ඔවුන් එම කටයුතු වලින් ඉවත් කිරීමට සිදුවූ අතර, ආගමන විගමන නිලධාරින් විසින් එම වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදුකරන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අප ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළේ 2012 වසරේදීයි.

එහිදී සාර්ක් රටවල්වල සිට පැමිණෙන සංචාරකයින්ගෙන් අමෙරිකානු ඩොලර් 20 ක් සහ වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයින්ගෙන් ඩොලර් 50 ක් වීසා ගාස්තු ලෙස ගුවන්තොටුපොළේදී අයකරනු ලැබුවා.

කෙසේ නමුත් වසර ගණනාවක් එම ක්‍රියාවලිය නිසි පරිදි යාවත්කාලීන නොවූ පසුබිමක එය යාවත්කාලීන කිරීමේ අරමුණින් ‘ඉන්දීය පෞද්ගලික සමාගමක්’ සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමකට එළඹ තිබුනේ මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින්.

ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 17 වැනිදා සිට ‘ඉන්දීය පෞද්ගලික සමාගමක්’ විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු මෙහෙයවීම ආරම්භ කළා.

ඔවුන් සංචාරකයෙකුට සිය සේවාව සැපයීම වෙනුවෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 18 ත් 25 ත් අතර මුදලක් අයකිරීමට කටයුතු කර තිබුණා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු රටවල් 07 ක් වීසා ගාස්තු වලින් නිදහස් කර තිබුණත් එම රටවල සිට පැමිණෙන සංචාරකයින්ගෙන්ද මෙම ඉන්දීය සමාගම සේවා සැපයීම වෙනුවෙන් ඩොලර් 22 ක මුදලක් අයකරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක ඊයේ (01) රාත්‍රියේ මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට එම ඉන්දියානු සමාගම හරහා වීසා ලබාගැනීමට ගිය අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

++++++++

++++++++

++++++++

+++++++++

+


කවදාවත් නොදැකපු මගෙ ස්විස් අම්මයි තාත්තයි අවුරුදු දාහතේදි මට හම්බවුණා|හිතේ දුක සිංදු විදිහට ලිව්වා (01.05.2024)

+


තැන තැන මැරී වැටෙන මිනිසුන් බේරා ගත් නිසා කරාපිටියේ උදාර ඩොක්ටර් රන් සම්මානයෙන් පිදුම් ලබයි (23.04.2024)

+


සුව නොවන ලෙඩ පසුපස ඉන්නේ අමනුෂ්‍යයෝ – පූජ්‍ය කොච්චිකඩේ සීලක්ඛන්ද හිමි (25.04.2024)

+


පරිපාලන නිලධාරීන් අදත් (03) වර්ජනයේ

(03.05.2024 – 08:06 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ 2000 කට අධික විධායක නිලධාරීන් පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමයේ ලේකම් සම්පත් දේශප්‍රිය පැවසුවේ.

වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වුණා.

මේ අතර, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත රජයේ විධායක නිලධාරීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දක්වා පැමිණ විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර, වැටුප් හා දීමනා ගැටලු‍වක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල‍ අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව ආරම්භ කර ඇති වර්ජනය අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.

වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතුවලට බලපෑම් එල්ලවී තිබෙනවා ෴


රුපියල් කෝටි පහකට (5) අධික මත්කුඩු සමග සැකකරුවෙකු පාමංකඩදී අත්අඩංගුවට

(03.05.2024 – 08:27 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාමංකඩ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු සන්තකයේ තිබී ‘කොකේන්’ කිලෝ දෙකකට (2) වැඩි ප්‍රමාණයක් සහ ‘හෂීස්’, ‘කුෂ්’ ඇතුලු තවත් මත්කුඩු තොගයක් සොයාගෙන තිබෙනවා ෴


අනීතිකව අත්අඩංගුවට ගත් බවට දමිතාගෙන් පැමිණිල්ලක්

(03.05.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි ‘දමිතා අබේරත්න’ විසින් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට’ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත සඳහන් කළේ, සමගි ජන බලවේගයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම මෙලෙස තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවයි.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වැනිදා ඇප මත මුදාහරිනු ලැබුවා ෴


‘පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව’ හෙටත් (04) වැඩ

(03.05.2024 – 09:27 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ‘පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව’ හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

‘පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ’ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල, සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක්, හෙට (04) පෙරවරු 08:30 සිට පස්වරු 01:00 දක්වා විවෘතව තැබෙන බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ, නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ‘පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු’ නිල වෙබ් අඩවියට ( https://drp.gov.lk/ ) පිවිස බාගත කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


ලිට්‍රෝ ගෑස් මිල පහළට

(03.05.2024 – 10:05 +0530 – hirunews.lk/sinhala)

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175 කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3,940 ක්.

එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 70 කින්. එහි නව මිල රුපියල් 1,582 ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 740 ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32 කින්.

ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් සැළකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අද (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදු කෙරෙන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ.

+

LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 275 කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 3,840 ක් ලෙසයි.

මේ අතර 5kg සිලින්ඩරය රුපියල් 110 කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 1,542 ක් බවයි එම සමාගම තීරණය කර ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *