තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය AstraZeneca කොවිඩ් එන්නත සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලයි

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය AstraZeneca කොවිඩ් එන්නත සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලයි


තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය AstraZeneca කොවිඩ් එන්නත සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලයි

(02.05.2024 – 18:13 +0530 – hirunews.lk/sinhala)

AstraZeneca කොවිඩ් එන්නත සම්බන්ධයෙන් මතු වී ඇති ආන්දෝලනාත්මක කතාබහ හමුවේ එම එන්නත ලංකාවට ගෙන්වීමේ දී තත්ත්ව පරීක්ෂාවක් සිදුකළේ ද නැද්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ‘තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’ ‘මානව හිමිකම් කොමිසමෙන්’ ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම පහතින් දැක්වෙයි :

“කොවිඩ් වසංගතය පැවැති කාලයේ දී ලබා දුන් එන්නත්වලින් පසු හෘදයාබාධ සහ එකතැන්වීම් ආදිය වැඩිවූ බවට ශ්‍රී ලංකාවේ කතාබහක් පැවැතිය ද එය ඒ දිනවල යටපත් වී ගිය අතර AstraZeneca එන්නතෙන් පසු දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බවට එම සමාගම පිළිගත් බව කියමින් දෙස් විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පැවැති සමයේ රජය විසින් එන්නත්කරණය අනිවාර්ය කර තිබුණු අතර එන්නත් නොමැතිව පොදු ස්ථානවලට පැමිණීමට ඉඩ නොදෙන බවට ද නිවේදනය කළේය. රජයේ බලපෑම හමුවේ බොහෝ දෙනෙක් එන්නත්කරණය සඳහා යොමු වූහ.

විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සමයේ දී සෞඛ්‍ය බලධාරීන් වෙනුවට හමුදාවේ කිහිප දෙනකුට වසංගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල මුල්තැන ලබාදීම ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු කතා බහත් ඇති විය.

AstraZeneca සහ අනිකුත් කොවිඩ්වලට එරෙහි එන්නත් ලංකාවට ගෙන එද්දි නිසි පර්යේෂණයක් සිදුවී ඇත්ද යන්න ගැන මේ වන විට බරපතල සැකයක් ඇතිවී තිබේ.

මෙම එන්නත්වලින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට පෙනී යන බැවින් මෙම සමස්ත ක්‍රියාදාමය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමු.”


“උරුමයෙන් අපි තව ඉඩම් ඔප්පු 6,000 ක් බෙදල දෙනවා” රාජ්‍ය ඇමති ලොහාන්

(02.05.2024 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ඔප්පු හිමිකම නොමැති ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක උරුමය වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

මේ සතිය අවසානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 6000 කට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම, මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග කොටුවෙයි

(02.05.2024 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කටුනායක – සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ‘හෙරොයින්’ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගේ (2) තොරතුරු මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ දිවුලපිටිය දේවාල පරිශ්‍රයේදියී.

52 හැවිරිදි ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නියෝජනය කළ හිටපු උප සභාපතිවරයා දීර්ඝ කාලයක සිට මෙලෙස මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරත වී ඇති අතර ඔහු අද (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

+


ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

(02.05.2024 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණා.

1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා.

ඔහු 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් වූ අතර 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ‘සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව’ පිළිබඳ සිය ආචාර්ය උපාධියද හිමිකරගෙන තිබෙනවා.

+


විධායක නිලධාරීන් ලෙඩ වීම නිසා රාජ්‍ය ආයතන රැසක වැඩ ඇණහිටී

(02.05.2024 – 20:36 +0530 – hirunews.lk/sinhala)

‘රජයේ විධායක නිලධාරීන්’ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමක් සිදු නොකළහොත් එළඹෙන සතියේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ‘රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුවේ’ සභාපති එච්.ඒ.එල්. උදයසිරි පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත්කර ඇති කැබිනට් අනු කාරක සභාව එම ගැටලු පිළිබදව අද (02) සාකච්ඡා කළ අතර, ලබන සතියේ විධායක නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආරාධනා කර ඇති බවයි.

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (02) සහ හෙට (03) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කළා.

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

මේ හේතුවෙන් රජයේ ආයතනවලට සේවාවන් ලබාගැනීමට පැමිණි ජනතාව පත්වුණේ දැඩි දුෂ්කරතාවකටයි.

අධ්‍යාපන පරිපාලන සේවයේ 2000 කට අධික විධායක නිලධාරීන් පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි ‘ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමයේ’ ලේකම් සම්පත් දේශප්‍රිය පැවසුවේ.

වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වුණා.

මේ අතර, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත රජයේ විධායක නිලධාරීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දක්වා පැමිණ විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් අඛණ්ඩ වර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

++++++++++

+


මාලඹේ ‘බූරුනිරෝෂා’ අත්අඩංගුවට

(02.05.2024 – 21:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ පහළොවක් (15) පමණ වටිනා ‘හෙරොයින්’ සමඟ ‘මාලඹේ බුරු නිරෝෂා’ නමින් ප්‍රසිද්ධියට පත් කාන්තාවක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදි ‘හෙරොයින්’ සමඟ ඇය අත්අඩංගුවට ගෙන තිබු අතර, පසුව හෝකන්දර බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ තිබි තවත් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

+


හෝමාගම ගැටුමකට මැදි වූ 12 දෙනෙකු අත්අඩංගුවට

(02.05.2024 – 21:50 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් එම ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ සාදයක් අතරතුර එහි සේවකයින් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

ගැටුම හේතුවෙන් හෝටලයේ සේවකයෙකු තුවාල ලබා ඇති අතර දේපළ රැසකට අලාභ හානි සිදු වුණා.

ගැටුමට සම්බන්ධ සිසුවියක් (1) සහ සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් එම ප්‍රදේශයේම හෝටලයක අවුරුදු සාදයක් පවත්වා තිබුණේ පසුගිය 30 වැනිදායි.

එහිදී සාදට සහභාගී වූ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

ගැටුම දුරදිග යාමත් සමඟ හෝටල් සේවකයින් ද ඊට මැදිහත් වී ගැටුම නැවැත්වීමට උත්සහ ගත්ත ද එම උත්සහය සාර්ථක වූයේ නැහැ.

එහිදී හෝටල් සේවකයෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරුව හෝටලයේ ගේට්ටු වසා දමූ සේවකයින් සිද්ධිය පිළිබඳ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුවියක් (1) ඇතුලුව සිසුන් 12 දෙනෙක් හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 3000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණා.

මේ අතර ගැටුම පාලනය කිරිම ගොස් තුවාල සිදු වූ හෝටල් සේවකයා මේ වන විටත් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

+


ක්‍රිකට් හදන හැටි අර්ජුන කියයි

(02.05.2024 – 22:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයක් අභියසදී කණ්ඩායම තේරීම ප්‍රමාද නොකළ යුතු බවත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂ බවත් ඔවුන්ට නිසිලෙස පුහුණුව සඳහා කාලයක් ලබාදිය යුතු බව හිටපු කැබිනට් අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වන්දනාමාන කර ගැනීමට පැමිණි අවස්ථාවේ දී.

තමන් ඊයේ (01) තලවාකැලේ දිගම්බරම්ගේ වේදිකාවට නැගීම පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ එම වේදිකාවටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණි බවත් එතුමා දූෂණයට වංචා වට එරෙහිව කටයුතු කිරීම අගය කරන බවයි .

තමන් ඉදිරියේදී කාට ද සහාය දක්වන්නේ කියා විමසා සිටීමේදී සඳහන් කළේ පුද්ගලයකු නොව රට ගැන හිතන හොඳ පිරිසක් සිටින කණ්ඩායමක් ඇති කිරීම අරමුණු කරගෙන කටයුතු කරන අතර, පක්ෂ පාට බේදයකින් තොර රට ගැන හිතන රටට ආදරය කරන පිරිසකට මෙම රට භාර දිය යුතුව ඇති බවයි.

ජනාධිපතිතුමා වටේට හොරු තියාගෙන වේදිකාවේ කරන ප්‍රකාශ වැදගත් නොවන බවයි ඉදිරියට එන මැතිවරණවලදී හොදින් සිතා බලා තීරණය ගත්තේ නැති නම් රට අගාධයට ඇද දැමීමට කටයුතු කිරීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


මාස 2 ක බිළිදෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

(02.05.2024 – 23:00 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම කල්පිටිය කන්දකුඩාව ප්‍රදේශයේ නිවසක පිටුපස ළිඳක තිබී වයස මාස 2 ක කුඩා දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

දරුවාගේ මව විසින් එම දරුවා ළිඳට දමා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ අනුව දරුවාගේ මව සහ පියා පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *