ඊයේ (01) කටුනායක ගුවන් තොටුපළේ දී උණුසුම් තත්ත්වයක්

ඊයේ (01) කටුනායක ගුවන් තොටුපළේ දී උණුසුම් තත්ත්වයක්


ඊයේ (01) කටුනායක ගුවන් තොටුපළේ දී උණුසුම් තත්ත්වයක්

(02.05.2024 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ‘ඉන්දීය පෞද්ගලික සමාගම’කට පැවරීම හේතුවෙන් ඊයේ (01) පස්වරුවේ ගුවන් තොටුපළ තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට පවරා තිබූ අතර, එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දිගු පෝලිම් ඇතිවීමෙන් විදේශීය සංචාරකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වීසා අයැදුම් කිරීම සහ ඒවා ලබාදීම විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකර තිබුණා.

ඔවුන් ඒ සඳහා ඉන්දියාව, චීනය වැනි සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර, සාක් රටවල සංචාරකයින් සඳහා දින 30 ක කාලයකට ඩොලර් 20 ක් සහ අනෙකුත් රටවල සංචාරකයන් සඳහා අමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කරනු ලැබුවා.

ඒ අනුව, ඊයේ (01) සිට වීසා නිකුත් කිරීම භාරගත් ‘ඉන්දීය පෞද්ගලික සමාගම’ මගින් සාක් රටවල සංචාරකයින්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඩොලර් විසි දෙකක් (22) සහ අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඩොලර් විස්සක (20) මුදලක් ද අය කරගෙන තිබෙනවා.

එවන් පසුබිමක ඊයේ (01) පස්වරුවේ පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් දසදෙනෙකු (10) පමණ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

ඊයේ (01) රාත්‍රී 08:30 පමණ තෙක් එහි දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඒ අතරතුරයි විදෙස් සංචාරකයින් ප්‍රකෝප වී උණුසුම් අයුරින් හැසිරීමට පටන් ගත්තේ.

පසුව ‘ඉන්දීය පෞද්ගලික සමාගමේ’ නිලධාරීන් රාත්‍රී 11:30 වනවිට වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුරුව ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන්ට එම අවස්ථාවේ සිට පැරණි ගාස්තු ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම ආරම්භ කරන ලෙස දැනුම් දුන් බවයි.

+


කරඳගොල්ලේ නායයෑමේ අවදානම ගැන තවදුරටත් පරීක්ෂණ

(02.05.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ අවදානම මතුව ඇති ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරික්ෂණ අදත් (02) සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය නායයාමේ අවදානම මතුව ඇති කරඳගොල්ල ප්‍රදේශයේ විද‍්‍යාත්මක පරික්ෂණ කටයුතු ආරම්භ කළේ ඊයේ (01) දිනයේදී යි.

ඇල්ල කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමේ අවදානම පිළිබඳව හිරු ප්‍රවෘත්ති පසුගිය 26 වැනිදා වාර්තා කළා.

එම ක්ෂේත්‍ර පරික්ෂණ අදත් (02) සිදුකරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එම ප්‍රදේශයේ පැවැති අවදානම කළමණාකරනය කිරිමට අවශය පියවර ගනිමින් සිටින බව ද ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

මෙම නායයෑම් සඳහා උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමක් ඇත්ද යන්න සොයාබලා කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිනවා.

+


“රුසියානු යුක්‍රේන යුද්ධය ගිය ලාංකික හමුදාවෙන් වැඩි පිරිසක් මියගිහින්” – පා.ම. ගාමිණී වලේබොඩ

(02.05.2024 – 14:03 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා කුලී හමුදාවට යවන මිනිස් ජාවාරම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විසින් ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් අද (02) දින මාධ්‍ය වෙත හෙළි කරනු ලැබුවා.

මෙලෙස රුසියාවට යවන ලද 40 ක පිරිසෙන් වැඩි පිරිසක් මේ වනවිටත් මියගොස් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

මෙහිදී මන්ත්‍රීවරයා හඬපටයක් හා රහසේ රූගතකල යුධ පෙරමුනේ වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

එහි දී අදහස් දැක් වූ මන්ත්‍රීවරයා :

“හමුදාවේ පොලීසියේ විශ්‍රාමගිය අය රුසියාවේ කුලී හමුදාව වෙත සපයනවා. චතුරංග, ජනරාල් රණවක ඇතුළු කිහිපදෙනෙක්ගේ නම් කියමින් රුපියල් ලක්ෂ 20 පඩියක් ලබාදෙනවා කියලා ආගමන එකට අල්ලස් දීලා රුසියාවට පන්නනවා. පසුපෙල සේවා වලට කියලා ඉදිරිපෙළ වෙඩි තබාගන්න එකට යවනවා. මේ තියෙන්නේ ‘වැග්නර් කුලී හමුදා’ වලට විකුණපු අපේ නිලධාරියෙක්ගේ රහස් හ‌ඬ පටයක්. බොහොම අමාරුවෙන් එහෙන් පැනලා ආපු කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් රුසියානු තානාපති කාර්‍යාලයට සහ මානව හිමිකම් එකෙන් ඉල්ලනවා මේක කරන්න දෙන්න එපා කියලා. අපි ජනතාවගෙන් ඉල්ලනවා : මේකට අහුවෙන්න එපා; කවුරුහරි රුසියාවේ යවනවා කිව්වොත් අහුවෙන්න එපා!”

+


ප්‍රධාන මාර්ගය අබලන් වීමෙන් දුක් විඳින විලේහේන ගම්වාසීන්

(02.05.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින පිරිසක් පිළිබඳ අකුරැස්ස යාකබැද්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටළුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි.

වරිපනම් බදු ගෙවන පවුල් 1000 කට පමණ සෘජු ප්‍රතිලාභ සැලසෙන මෙම මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අබලන් වී පාගමනින් හෝ යා නොහැකි තත්ත්වයකට පත්වීමෙන් ගම්වාසීන් විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

මාර්ගය අබලන්වීම හේතුවෙන් අමු තේ දළු ප්‍රවාහනය, රබර් පොල් ගම්මිරිස් කුරුදු ආදී භෝග රැසක් වගා කරන බොහෝ පිරිසකට මෙන්ම ගමේ ආර්ථිකයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීමෙන් හදිසි රෝගී තත්ත්වයකදී මෙන්ම ගැබිණි මව්වරුන්ගේ ජීවිතද දැඩි අවධානමකට ලක්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ප්‍රධාන මාර්ගයට මෙවැනි ඉරණමක් අත්ව ඇති පසුබිමක ගම්මානයේ අතුරු මාර්ගයක් සකස් කිරීමට යැයි පවසා රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් වැය කොට ඇති බවටයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව මෙම තත්ත්වය වහාම අවබෝධ කරගෙන අතුරු මාර්ගයට වෙන්කරගෙන ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 20 ක මුදලින් ප්‍රධාන මාර්ගයේ කොටසක් හෝ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

+


ගුටි බැට හුවමාරු වූ මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට නියෝගයක්

(02.05.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala)

මැණික්හින්න රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඉකුත් 28 වැනිදා පැමිණි රෝගියකුට සහ පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම රෝහලේ වෛද්‍යවරයාව අද (02) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කොට තිබෙනවා.

එහිදී දිසා විනිසුරු දේවිකා සී. ජයවර්ධන නියෝග කර ඇත්තේ සැකකරුට රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පුද්ගල ඇප දෙකක් (2) මත මුදාහරින ලෙසයි.

එම සැකකාර වෛද්‍යවරයාට මැයි මස 08 වන දින යලිත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද විනිසුරුවරිය එහිදී නියෝග කර තිබෙනවා ෴


බැංකු ණය ගෙවන්න බැරුව අසරණ වූ ජනතාවට සහනයක්

(02.05.2024 – 15:03 +0530 – hirunews.lk/sinhala)

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය ලැබී තිබෙනවා.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහාවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවුනා ෴


පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131 ක ආදායමක්

(02.05.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මෙම 2024 වසරේ මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131 ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

‘පොල් සංවර්ධන අධිකාරිය’ සඳහන් කළේ උද්‍යාන වගාව සඳහා කොහුබත් මෙට්‍රික් ටොන් 38,065 ක් අපනයනය කරමින් රුපියල් මිලියන 5,725 ක් උපයාගෙන ඇති බවයි.

එය පසුගිය 2023 වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී සියයට 29 ක වර්ධනයක්. පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය මගින් රුපියල් මිලියන 4,430 ක් සහ පොල් කිරි අපනයනය මගින් රුපියල් මිලියන 3,122 ක් උපයාගෙන තිබෙනවා.

මීට අමතරව පිටි කළ පොල්කිරි මෙට්‍රික් ටොන් 1,153 ක් අපනයනය කරමින් රුපියල් මිලියන 1,587 ක උපයාගෙන ඇති අතර, එය පසුගිය 2023 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 93 ක වර්ධනයක් බවයි පොල් සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

එමෙන්ම පොල් ක්‍රීම්, පොල්තෙල් ද අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 1,929 ක් ද උපයාගෙන තිබෙනවා ෴


තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

(02.05.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala)

තවත් තහනම් පිරමීඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

  • Beecoin App / Sunbird Foundation,
  • Isimaga International (Pvt) Ltd,
  • Fast Win (Pvt) Ltd,
  • Ledger Block,
  • Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd,
  • Qnet / Questnet,
  • Ride to Three Freedom (Pvt) Ltd,
  • Genesis Business School / Era Miracle (Pvt) Ltd,
  • Windex Trading

යන ආයතන මෙසේ තහනම් පිරමීඩ ව්‍යාපාර ලෙස නම් කර ඇති බව සඳහන්.

තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, මූල්‍යනය, කළමනා කරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයෙකු සිදු කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.


‘තිළිණි ප්‍රියමාලි’ට එරෙහි නඩුවට නීතිපති උපදෙස් පතයි

(02.05.2024 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් බව කියන ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිණි ‘තිළිණි ප්‍රියමාලී’ ඇතුළු සිව්දෙනාට (4) එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 19 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අමෙරිකානු ඩොලර් 60,000 ක් සහ සිංගප්පූරු ඩොලර් ලක්ෂයක (100,000) මුදලක් සහ රත්තරං ලබා ගෙන අගරු චෙක් පත් දුන් බවට මාලඹේ පදිංචි ව්‍යාපාරික ‘අබ්දුල් හසන් කමල් හසන්’ නමැති අය සිදුකළ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර තිළිණි ප්‍රියමාලී, ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර, කසුන් පෙරේරා, නල්ලයියා ජයමෝහන් ඇතුළු සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියා ෴


රුපියල් කෝටි ගාණක මුදල් කොල්ල කෑ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයා 15 තෙක් රිමාන්ඩ්

(02.05.2024 – 17:01 +0530 – hirunews.lk/sinhala)

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ යැයි පවසමින් කොල්ලුපිටියේ නිවසක් බලාගන්නා පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ සැරයන්වරයෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මරණීය තර්ජන කර, පුද්ගලයෙකුට පහරදී, මුදල් කොල්ලකෑමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුලු සැකකරුවන් හතරදෙනා (4) ද ලබන 14 දක්වා මේ වනවිට රිමාන්ඩ් කර සිටිනවා.

+


පාසල් නිවාඩුව හෙටින් (03) ආරම්භ වෙයි

(02.05.2024 – 17:41 +0530 – hirunews.lk/sinhala)

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පළමු (1) වාරයේ තුන්වන (3) අදියර ලබන 20 වැනිදායින් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා එනම් මැයි 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත් වෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *