“මගේ කෑමවලට වසදාලා මට ගොඩක් අමාරු උනා” – හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්
“මගේ කෑමවලට වසදාලා මට ගොඩක් අමාරු උනා” – හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්
(01.05.2024 – 20:52 +0530 – hirunews.lk/sinhala)
තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45 කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අම්පාරේ පැවැති මැයි රැළියක් අමතමින්.
මේ අතර තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැළි සංවිධානය කර තිබුණා.
+
ජ’පුර සරසවිය අසලදී ඩුබායි කපිලගේ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි
(02.05.2024 – 06:48 +0530 – hirunews.lk/sinhala)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘එළියා දූරගේ වාසනා සමන්ත ප්‍රනාන්දු’ හෙවත් ‘ඩුබායි කපිල’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 15 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද (02) අලුයම සොයාගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ සිදු කළ වැටලීමක දීයි.
මෙහිදී හෙරොයින් කිලෝ 13 ක්, හෑෂ් කිලෝ 6 ක්, කොකේන් ග්‍රෑම් 500 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 15 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබුණා.
‘ඩුබායි කපිල’, ‘ඉසුරු’ යන නමින්ද හදුන්වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක (1) සහ පිරිමියෙකු (1) ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂකාර්ය බලකාය සදහන් කළේ ෴
වරකාපොළ, මොරගල්හේන ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට
(02.05.2024 – 07:08 +0530 – hirunews.lk/sinhala)
වරකාපොළ, මොරගල්හේන ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ පුද්ගලයෙකු මතට පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ඉවුරක් ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත්තිවාරමක් සකස් කරමින් සිටියදී මෙලෙස එම ස්ථානයේ තිබූ පස් කන්දක කොටසක් ශරීරය මතට කඩා වැටීමෙන් එයට යටවී තිබෙනවා.
එහිදී බරපතළ තුවාල ලැබූ මෙම තැනැත්තා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
වයස අවුරුදු 48 ක් වූ මෙම පුද්ගලයා, එලිපන්ගමුව, තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
රට පුරා වැඩවර්ජන රැල්ලක්
(02.05.2024 – 07:44 +0530 – sinhala.adaderana.lk)
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින (2) තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ‘රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව’ පවසයි.
ඊට සමගාමීව අද (02) දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම සංගමයේ සභාපති කේ.එල්. උදයසිරි මහතා පැවසුවේය.
මේ අතර වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (02) දහවල් 12:00 සිට අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වන බව ‘විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය’ පවසයි.
එහි මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා පැවසුවේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවය ෴
‘PHI’ ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් අය කිරීමේ ජාවාරමක්
(02.05.2024 – 08:37 +0530 – hirunews.lk/sinhala)
මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් අය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිසියට දැනුවත් කරන ලෙස ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය’ ඉල්ලීමක් කරනවා.
එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ මේ වන විට තම සාමාජිකයන්ගේ නමින් ව්‍යාපාරිකයන්ට කතා කර මුදල් අය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.
එහිදී ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්’ බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින්ට කිසිඳු අවස්ථාවක මුදල් ලබානොදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකළා ෴
“ඖෂධ වංචාවේ නියම වැරදිකාරයො ඇතුලෙ ඉන්න අය නොවෙන්නත් පුළුවන්” වෛද්‍ය චමල් සංජීව
(02.05.2024 – 10:41 +0530 – hirunews.lk/sinhala)
බාල ඖෂධ ලබා දෙමින් හෝ ඖෂධ ලෙස හැඟෙන විවිධ අපද්‍රව්‍ය ලබා දෙමින් මහජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි ගණනක් අවභාවිතා කිරිම ඉතා බරපතල තත්ත්වයක් වන බැවින් සැබවින්ම බාල ඖෂධ වංචාවල මහ මොළකරුවන් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින දේශපාලකයින් හෝ නිලධාරීන් නොව තවදුරටත් නිදැල්ලේ සිටින ඇතැම් සැපයුම්කරුවන් හෝ රාජ්‍ය නිලධාරීන් විය හැකි බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව’ පැවසුවා.
පසුගිය කාල සීමාව මුළුල්ලේ මෙරට ඖෂධ සැපයුම් පද්ධතියට ලේඛනගත වූ විවිධ සමාගම් ව්‍යාජ නම් වලින් ඇතුළත් වෙමින් ප්‍රසම්පාදන ක්‍රියාවලට ඇතුළත් වූ බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි සමාගම් ‘ඖෂධ නියාමන අධිකාරියේ’ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩලය සමග එක්ව මෙම ගනුදෙනු සිදු කරන්නට ඇතැයි බරපතල සැකයක් නිර්මාණය වන බවද වෛද්‍ය සංජීව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වකීය උකුසු ඇස හරහා විමර්ශනය කළ යුතු බවයි ෴
අපේ මුහුදේ හොරෙන් මසුන් අල්ලන්න හැදූ ඉන්දීය ධීවරයින්ට දරුණු ප්‍රහාරයක්
(02.05.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala)
උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීම පිණිස ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු (2) තුවාල ලබා අති අතර ඔවුන් දෙදෙනා (2) නාගපට්ටිනම් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් දෙදෙනා (2) අතර සිටින මුරුගන් නැමති ඉන්දීය ධීවරයාගේ හිසට බරපතල ලෙස ප්‍රහාර එල්ලවීම නිසා ඔහුගේ තත්තවය බරපතළ බව රාමේස්වරන් ධීවර සංගමයේ නායකයින් පැවසුවා.
ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුවේ තිබූ පණිවුඩ හුවමාරු යන්ත්‍රය හා ධීවරයින්ට අයත් මුදල් ජංගම දුරකතන හා තවත් උපකරණ කීපයක් මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී යාත්‍රාව තුළ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු (5) සිට ඇති අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ නාගපට්ටිනම් වෙරළට නාවික සැතපුම් 15 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේදී ෴
‘ඔන්මැක්ස්’ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න; අධිකරණයෙන් නියෝගයක්
(02.05.2024 – 11:33 +0530 – hirunews.lk/sinhala)
‘ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩ ආයෝජන ක්රමයේ’ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) අදාල සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළා.
මෙම පැමිණිල්ල අද (02) කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදා හැර සිටින ‘ඔන් මැක්ස්’සමාගමේ අධ්යක්ෂවරු හතර දෙනා (4) ද අධිකරණයේ පෙනී සිටියා.
මෙහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345 පමණ ලැබී තිබෙන බව සඳහන් කළා.
ඊට අමතරව මෙම සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත්, ඔවුන්ගෙන් හය දෙනෙකු (6) විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයින් හය දෙනා (6) විදේශගතවීම වළක්වාලමින් නියෝගයක්ද නිකුත් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර අධ්යක්ෂවරයකුගේ භාරයේ තිබී ‘ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන’ සොයාගෙන තිබෙන බවත්, ඒවා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන රජයේ සැක කටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කලා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු අමතා අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි විමසුවා.
ඊට පිළිතුරු දුන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ සඳහන් කර සිටියේ තම සේවාදායකයින්ට අයත් බැංකු ගිණුම්, නිශ්චල හා චංචල දේපළ සියල්ල අධිකරණය විසින් තහනමට ලක් කොට ඇති නිසා එම මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.
අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස හයක් (6) තුළ සියලු තැන්පතු මුදල් ආපසු ගෙවීමට හැකියාව තිබෙන බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්නා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයට දැනුම් දුන්නේ අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ විධිමත් සැලැස්මක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එම මුදල් ආපසු ගෙවීමේ සැලැස්ම අධ්‍යයනය කොට එය ක්‍රියාත්මක කළ හැකි මට්ටමක පවතින්නේ නම් මහ බකුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා තිබෙන බැංකු ගිණුම් හා දේපළ සම්බන්ධ තහනම ඉවත් කිරීමට තිබෙන හැකියාව සොයා බලන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
මෙහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තැන්පත්කරුවන්ගෙන් එල්ලවී තිබෙන තර්ජන හේතුවෙන් තම සේවාදායකයින්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් කළා.
පසුගිය නඩු වාරයකදී අධිකරණය ඉදිරිපිට සැකකරුවන්ට පහර දීමට ඇතැම් තැන්පත්කරුවන් උත්සාහ කළ බව සඳහන් කළ ඔවුන්ගේ නීතිඥවරු මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
තවත් අවස්ථාවක අධිකරණය ඉදිරිපිටදී ම විශාල පිරිසක් තම සේවා දායකයින්ව පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකරුවන් වාර්තා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 28 වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින අදාල මුදල් ආපසු ගෙවීමේ වැඩ පිළිවෙල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
+
පොලිස් වීරයන් දෙදෙනෙක් (2) දියවැලකට හසුවූ මව සහ දියණිය බේරාගනිති
(02.05.2024 – 11:53 +0530 – hirunews.lk/sinhala)
පානදුර වෙරළේ දිය නෑමට ගිය මවක සහ දියණියක දියවැලකට හසු වී මුහුදේ ගසාගෙන යමින් සිටිය දී බේරා ගැනීමට ‘ජීවිතාරක්ෂක ඒකකයේ’ නිලධාරීන් දෙදෙනෙකු (2) සමත් වී තිබෙනවා.
පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු (2) විසින් මෙම මව සහ දියණිය බේරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අවුරුදු 38 ක්වන මවක් සහ ඇගේ අවුරුදු 06 ක දියණියයි.
ඔවුන් දෙදෙනාට (2) මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත්කළ බවයි වාර්තා වෙන්නේ ෴
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මැයි අවසානයේ
(02.05.2024 – 12:30 +0530 – hirunews.lk/sinhala)
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වසරේ ජනවාරි මාසයේ පැවති 2023 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සිසුහු 346,976 දෙනෙක් පෙනී සිට තිබෙනවා.
ඔවුන් අතර පාසල් අයදුම්කරුවන් 281,445 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 ක් සිටි බවයි වාර්තා වෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴