උණුසුම් වූ ‘හිරු ටීවී බලය’ වැඩසටහන ගැන පැහැදිලි කිරීමක්

උණුසුම් වූ ‘හිරු ටීවී බලය’ වැඩසටහන ගැන පැහැදිලි කිරීමක්


උණුසුම් වූ ‘හිරු ටීවී බලය’ වැඩසටහන ගැන පැහැදිලි කිරීමක්

(30.04.2024 – 23:11 +0530 – hirunews.lk/sinhala)

තම පියා ඝාතනය කිරීම ගැන, පියාගේ ඝාතකයින් තමා ඉදිරිපිටදීම ප්‍රකාශ කරන විට දරුවෙකු ලෙස තමා ආවේගශීලී වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසනවා.

පසුගිය සතියේ විකාශය වූ ‘හිරු ටීවී බලය’ වැඩසටහනේදී ඇති වූ සිද්ධිය පිළිබඳව අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු පැහැදිළි කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා

‘හිරු ටීවී බලය’ දේශපාලන සංවාදයට පසුගිය සතියේ එක් වූ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ නියෝජිතයින් දෙදෙනා (2) සහ ‘ජාතික ජන බලවේගයේ’ නියෝජිතයා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ හේතුවෙන් ‘ජනතා විමුක්ති පෙරමුණ’ නියෝජනය කරමින් වැඩසටහනට සහභාගී වූ නලීන් හේවගේ වැඩසටහන අතරතුර ඉන් ඉවත්ව ගිය අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩී. වීරසිංහ සහ ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරුන් අද (30) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

+


‘ශ්‍රීලංකන්’ මිලට ගන්න හදන ශ්‍රී ලාංකික කාන්තාව (01.05.2024)

Exclusive interview with the President of ‘Treasure Republic Guardians Ltd’ (TRG), Ms. Nayoma De Silva

+

+


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(01.05.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම අනිද්දා (03) සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

වර්ෂාව හේතුවෙන් සිසුවෙකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අපහසුතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව ‘117’ ක්ෂණික දුරකතන අංකය අමතා දැනුම් දිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 459,979 ක් පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 3527 කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා ෴


ක්‍රිකට් පිත්තකින් සිසුවෙකු කල පහරදීමකින් තවත් සිසුවෙක් ජීවිතක්ෂයට

(01.05.2024 – 08:02 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු (2) අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිසුවෙකු ක්‍රිකට් පිත්තකින් තවත් සිසුවෙකුට පහර දීමෙන් පහර කෑ සිසුවා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පහර දීම සිදුකළ සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ මෙම පහර දීම සිදුකර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දී ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමේන් බවයි ෴


‘මොළේ උණ’ රෝගයෙන් යාපනයේ දෙවන (2) මරණයද වාර්තා වෙයි

(01.05.2024 – 08:02 +0530 – hirunews.lk/sinhala)

‘ජැපනිස් එන්සෙපලයිටීස්’ හෙවත් ‘මොළේ උණ’ රෝගය හේතුවෙන් යාපනයේදී දෙවන (2) රෝගියාද ඊයේ (30) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජයචන්ද්‍රන් සස්මිකා නමැති පස් (5) හැවිරිදි දැරියක්.

උණ රෝගයෙන් පෙළෙමින් සිටි ඇයට ප්‍රතිකාර, අවස්ථා කීපයකදී ලබා දුන්න ද සුව නොවීම නිසා යාපනයේ අච්චුවේලී රෝහලේ දැරියව නතර කිරීමට ගෙන යමින් සිටියදී අතරමගදී මෙසේ ඇය මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී අදාළ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති අතර ඇයගේ මරණයට හේතුව ‘මොළේ උණ’ රෝගය බවට අනාවරණ වී තිබෙනවා.

පසුගිය සතියේදී යාපනය ශීක්ෂණ රෝහලට උණ රෝගය නිසා ඇතුළත් කළ රෝගියෙකු මියගිය අතර එම රෝගියා මියයාමට හේතුවද ‘මොළේ උණ’ රෝගය නිසා බවටයි තොරතුරු වාර්තා වුයේ.

කෙසේ වෙතත් ‘මොළේ උණ’ රෝගීන් උතුරු පළාතෙන් මෙවර හමු වී ඇත්තේ වසර ගණනාවකට පසුවයි.

පළමු (1) රෝගියා හමු වී රෝගියා මියයාමත් සමගම ‘මොළේ උණ’ රෝගය පැතිර යාම වැළැක්වීම සම්බන්ධයෙන් උතුරේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීමට සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙසේ යාපනයේ දෙවන (2) ‘මොළේ උණ’ රෝගියා ද මියගොස් ඇති බවයි සඳහන් වන්නේ ෴


පෙම්වතිය හමුවීමට ගොස් අතුරුදන් වූ තරුණයා ගැන තවමත් තොරතුරක් නැහැ

(01.05.2024 – 09:11 +0530 – hirunews.lk/sinhala)

සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගොස් අතුරුදන් වී සිටින තරුණයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව කුලියාපිටිය පොලිසිය සඳහන් කරනවා.

අදාළ සිදුවීමෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 08 යන වයස්වල පසුවන සහෝදරිය සහ සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත්, නැගණියගේ සැමියාත් පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම මෙසේ අතුරුදන්ව සිටින තරුණයාගේ අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගිය බවටද ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණයාව සිය දියණිය මාර්ගයෙන් පියා විසින් සිය නිවසට ගෙන්වාගනු ලැබ ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනා‍රණය වී ඇත්තේ.

එහිදී තරුණියගේ පියා විසින් ඔහුට හිතවත් දෙදෙනෙකු (2) ද නිවසට ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම (2) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නමුත් පොලිසිය ඔවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම තරුණයාගේ ජීවිතයට කිසිදු හානියක් නොකළ බවයි.

කෙසේ වෙතත්, ඔහුව මෝටර් රථයක දමාගෙන දේශපාලනඥයකුගේ නිවසට රැගෙන ගිය බවට ඔවුන් දෙදෙනා (2) පොලිසිය හමුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර මෙම පුද්ගලයින් දෙදෙනා (2) පවසනුයේ සත්‍යයක් දැයි යන්න ගැන වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ නමුත් මේ වනවිට අදාළ දේශපාලනඥයා හා ඔහුගේ පවුලේ පිරිස් ද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

+

පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මහජන සහාය පතයි

(01.05.2024 – 08:43 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය, වෙරළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන වෑන් රථයක් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා මහජන සහාය පතා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන්නේ ‘කුලියාපිටිය පොලිස් විමර්ශන අංශය’ විසින්.

වෑන් රථය හා සැකකරුවන් ගැන යම් තොරතුරක් වෙතොත් පොලිසියට දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

දැනුම්දීය යුතු දුරකථන අංක වන්නේ :
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිය – 071 859 1260
ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය – 077 352 8325

+

කුලියාපිටියේ තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

(01.05.2024 – 16:40 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ පැහැර ගැනීම සඳහා ආධාර අනුබල දුන් වැලිමඩ – කැප්පෙටිපොළ පදිංචි 42 හැවිරිදි සහ 24 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එමෙන්ම තරුණයා පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතියගේ 69 හැවිරිදි මව සහ 72 හැවිරිදි පියාද ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ තරුණයා තවදුරටත් අතුරුදහන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

සිය පෙම්වතියගේ ආරාධනයෙන් පසුගිය 22 වනදා ඇගේ නිවසට ගොස් සිටියදී මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කුලියාපිටිය – වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ආහාර අලෙවිසැලැක් පවත්වාගෙන යන තරුණයෙක් ෴

+


සිමෙන්ති මිල පහළට

(01.05.2024 – 09:58 +0530 – hirunews.lk/sinhala)

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 50 කින් අඩු කෙරෙන අතර එහි නව මිල 2,400 ක් වනු ඇති.

පිරිවැය අඩු වීමේ ප්‍රතිලාභය සෘජුවම පාරිභෝගියන්ට ලබා දෙමින් දේශීය ඉදිකිරීම් කර්මාන්තය නංවාලීම මෙම මිල සංශෝධනයේ අරමුණ බවද සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ෴


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 70% කින් ඉහළට

(01.05.2024 – 10:53 +0530 – hirunews.lk/sinhala)

තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් ඉහළ නංවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

මේ වන විට තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් වනවා.

එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 දිනට පෙර දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ සඳහන්.

+

++++++++++

වතු කම්කරුවන්ට රු. 1700 ක් දෙන්න බෑ.. උසාවි යනවා.. – වතු සමාගම්

(01.05.2024 – 19:10 +0530 – lankacnews.com)

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු. 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

රංජිත් රාජපක්ෂ

++++++++++++

+


සරසවි සිසු සාදය දුරදිග ගොස් පිරිසක් පොලිස් කූඩුවට

(01.05.2024 – 13:46 +0530 – hirunews.lk/sinhala)

සරසවි සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹට නුදුරු හෝටලයක පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් කාන්තාවක් (1) ඇතුළු දොළොස් දෙනෙකු (12) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ එක් (1) පුද්ගලයෙකු රෝහල් ගතකර ඇත.

එම සරසවියේ දැනට අධ්‍යාපනය ලබන සිසුන් හා ආදි සිසුන් පිරිසක් හෝමාගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ (30) පස්වරුවේ සාදයක් පවත්වා තිබෙන බව පොලිසිය සඳහන් කළා.

එහිදී සිසුන් අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

අනතුරුව, එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමග සාදය සඳහා සහභාගී වූවන් සහ හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *