‘ඇස්ට්‍රාසෙනිකා එන්නත’ මගින් ‘රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීම’ සිදුවියහැකි බව සමාගම පිළිගනී

‘ඇස්ට්‍රාසෙනිකා එන්නත’ මගින් ‘රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීම’ සිදුවියහැකි බව සමාගම පිළිගනී


‘ඇස්ට්‍රාසෙනිකා එන්නත’ මගින් ‘රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීම’ සිදුවියහැකි බව සමාගම පිළිගනී

(30.04.2024 – 12:19 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය ඖෂධ දැවැන්තයෙකු වන ‘ඇස්ට්‍රාසෙනිකා’ (AstraZeneca) විසින් නිෂ්පාදිත ‘කොවිඩ් එන්නත’ හරහා දුර්ලභ අතුරු ආබාධ ඇති කළ හැකි බවට එම ආයතනය පිළිගෙන ඇති බව එක්සත් රාජධානියේ ද ටෙලිග්‍රාෆ් (The Telegraph) පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව අදාළ පුවත් වාර්තාව අනාවරණය කරන්නේ, අදාළ සමාගම විසින් නිෂ්පාදිත ‘කොවිශීල්ඩ්’ (Covishield) නැමැති එන්නත මගින් දුර්ලභ ගණයේ රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩු වීමට හේතු විය හැකි බව එන්නත් නිෂ්පාදකයා විසින් පිළිගෙන ඇති බව අධිකරණ ලේඛනවල සඳහන් වන බවයි.

කොඩිඩ් වසංගතය අතරතුර ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් (Oxford) විශ්වවිද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද කොවිශීල්ඩ් එන්නත, ඉන්දියාවේ සීරම් (Serum) ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද අතර මෙරට දී ද භාවිත කෙරුණා.

එන්නත භාවිතයෙන් පසු ඇති වූ බව කියන අතුරු විපාක සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ මහාධිකරණයේ නඩු 51 ක් ගොනු කර ඇති අතර වින්දිතයින් විසින් පවුම් මිලියන 100 ක් දක්වා වන්දි ඉල්ලා ඇති බවත් ද ටෙලිග්‍රාෆ් වාර්තා කරනවා.

කෙසේ නමුත් අදාළ සමාගමට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති අතර එක්සත් රාජධානියේ රජය තවමත් මෙම කාරණයට මැදිහත් වී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම නඩුවලට අදාළව පළමු පැමිණිලිකරු වන ජේමි ස්කොට් චෝදනා කර ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ දී තමා අදාළ එන්නත ලබාගෙන ඇති අතර රුධිර කැටිගැසීමකට මුහුණ දුන් බවත් පසුව මොළයේ ආබාධයක් ඇති වූ බවයි.

මෙය ඔහුට ඔහුගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් වී ඇති බවත්, ඔහු ප්‍රතිකාර ගන්නා අවස්ථාවේ දී රෝහල විසින් ඔහු මිය යන බව ඔහුගේ බිරිඳට තුන් වතාවක් ප්‍රකාශ ක‍ර ඇති බවත් අදාළ පුවත් වාර්තාව සඳහන් කරනවා.

කෙසේ නමුත් අදාළ පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් සිය කොවිෂීල්ඩ් එන්නත මගින් ඉතා දුර්ලභ අවස්ථාවන්හි දී මතු විය හැකි ‘TTS’ හෙවත් ‘රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා සංඛ්‍යව අඩුවීම’ (Thrombosis with Thrombocytopenia Syndrome) හා සම්බන්ධ සංකූලතාව ඉකුත් පෙබරවාරි මාසයේ එක් අධිකරණ ලේඛනයක දී පිළිගෙන ඇති බවයි.

මේ අතර අදාළ පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ඇස්ට්‍රාසෙනෙකා සමාගම පළමු පැමිණිලිකරු වන ජේමි ස්කොට්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂාවක් ඉදිරිපත් කර ඇති අතර, එය වින්දිතයින්ට සහ ශෝකයට පත් ඥාතීන්ට ගෙවීම් කිරීමට හේතු විය හැකි බවයි.

කෙසේ නමුත් එම මාධ්‍ය වාර්තාව සඳහන් කරන්නේ ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නවතම ප්‍රවේශය, එම සමාගම 2023 වසරේ දී දැරූ ස්ථාවරයට පටහැනි වන බවයි ෴


මැයි දින උත්සවවල ‘ඩ්‍රෝන කැමරා’ භාවිතයට අදාලව පොලිස් නිවේදනයක්

(30.04.2024 – 13:07 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) දිනයේ දිවයින පුරා පැවැත්වීමට නියමිත මැයි රැළි, පෙළපාලි සහ සැමරුම් උත්සවවල ඩ්‍රෝන කැමරා භාවිතයට අදාලව පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

දිවයිනපුරා සියළුම මැයිදින උත්සව සඳහා අනවසරයෙන් ඩ්‍රෝන කැමරා මගින් රූගත කිරීම සම්පූර්නයෙන්ම තහනම් වන බවත්, ඒ සඳහා නිසි අවසරයක් පොලීසිය හරහා ලබාගතයුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, අනවසරයෙන් අදාල උත්සව ඩ්‍රෝන කැමරා මගින් රූගත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යාණුකූලව කටයුතු කරන බවද පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


කටුනායක ප්‍රභූ පර්යන්තයේ දී ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වෙයි

(30.04.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළෙහි ප්‍රභූ පර්යන්තයේ රාජකාරියේ නිරිත වූ ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු T 56 වර්ගයේ ගිනි අවියක් අත් වැරදීමකින් අද (30) පත්තු වී තිබෙනවා.

එයින් එම පර්යන්තයේ වහළට හානි සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිතයකට හානි සිදු වී නොමැති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ලංකාවේ ජනගහනයෙන් 10% ක් වකුගඩු රෝගීන්

(30.04.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහනයෙන් 10% ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසනවා.

දියවැඩියාව වැළඳීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩුකර, දිනකට වතුර ලීටර් තුන හමාරක් (3½) පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴


කටුනායක ගුවන්තොටුපොළෙහි රත්තරන් අලෙවිහලක් දාන්න අනුමැතිය

(30.04.2024 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටත් වීමේ කලාපය (සංක්‍රමණ කලාපය) තුළ රත්තරන් අලෙවිහලක් හඳුන්වා දීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව, ඊට ජාත්‍යන්තර තරඟකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමය කරමින් ලංසු කැඳවීම පිණිස ‘වාරය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය’ නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ මෙම පහසුකම් නොමැති බැවින් මෙය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ‘සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම’ විසින් ඉදිරිපත් කර තිබෙනවා ෴


ජනපතිට හා ව්‍යස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

(30.04.2024 – 16:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.

එමෙන්ම, අගවිනිසුරු තනතුර හැර සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරු සඳහා නාමයෝජනා නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අතුරු නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා ෴


PHI රොෂාන්ගේ ඝාතකයන් සොයා රතන හිමි CID ට

(30.04.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

බහුජාතික සමාගම් විසින් ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය මෙරට ජනතාවගේ පරිභෝජනයට ලබාදීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් සිදුකළ ‘මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර’ගේ ඝාතනයට තවම සාධාරණය ඉටුනොවීමත්, එසේම ඔහු සමඟ සටන් කළ ‘ආයුර්වේ ප්‍රජා සෞඛ්‍ය නිළධාරී වෛද්‍ය සේනක සිසිත ගමගේ’ යන අය හදිසියේ මියයාම සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන සැකය පිළිබඳවත් සොයා බලා කඩිනමින් මෙහි ඇත්ත අනාවරණය කරන ලෙස බලකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලිපියක් භාර දී තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වනතෙක් සටන් කරන බවත් විශේෂයෙන් වස විස ජනතාවට කවන බහුජාතික සමාගම් වලට එරෙහිව කටයුතු කරන බවත් එම ලිපිය ලබාදීමෙන් පසුව රතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා ෴


“එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ” කාදිනල් හිමිගෙන් නිවේදනයක්

(30.04.2024 – 18:40 +0530 – hirunews.lk/sinhala)

පාස්කු දින එල්ල වූ ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරෙන අයුරු පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශයන් සම්පූර්නයෙන්ම අසත්‍ය බවත් තමා කිසිවිටෙකත් කිසිඳු දේශපාලන පක්ෂයකට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කරන්නැයි කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් එම නිවේදන‍යේ සඳහන් වෙනවා.

ඉදිරි මැතිවරණයේ දී මානව හිමිකම් කඩකර ඇති හෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන්නැයි තමා ප්‍රකාශ කළ බවද කාදිනල් හිමියන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා ෴


මිහින්තලේ රක්ෂිත ඉඩම් හොර රහසේ විකිණෙනවාද?

(30.04.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

රජය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති මිහින්තලේ රක්ෂිතයේ අක්කර 18 ක පමණ භූමියක් ව්‍යාපාරිකයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ව්‍යාජ බලපත්‍ර හතරක් (4) සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය’ විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා සෙනවිරත්න, අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් හට ලබාදුන් නියෝගයකට අනුවයි.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කළ බව කියන බලපත්‍ර හතරක් (4) අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇති බවයි අඩවි වන නිලධාරිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම අදාළ බලපත්‍රවල නිත්‍යානුකූලභාවය පිළිබදව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතව විමසීමක් කළ බවද ඔහු පවසා තිබුණා.

කෙසේ වෙතත්, අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ බලපත්‍ර සම්බන්ධයෙන් කිසිදු සටහනක් හෝ ලේඛණයක් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව නොමැති බවයි මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ.‍

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ජූනි මස 26 වනදා කැඳවීමට නියමිතයි ෴


‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ අනියම් බිරිඳ පොලිස් අත්අඩංගුවට

(30.04.2024 – 21:04 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මෙ’ හෙවත් ‘මන්දිනු පද්මසිරි’ගේ අනියම් බිරිඳ මීගමුව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘කෙහෙල්බද්දර පද්මෙ’ නැමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමත් සමග දිවයිනට පැමිණ සිටි ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

‘බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්’ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ විමර්ශනයකදී ‘කෙහෙල්බද්දර පද්මෙ’ නොහොත් ‘මන්දිනු පද්මසිරි’ යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ අනියම් බිරිඳ මේ මස 26 වැනිදා ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව සැකකාරිය පදිංචිව සිටි රද්දොළුගම ප්‍රදේශයේ නිවස පරික්ෂා කළ ‘මීගමුව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ’ නිලධාරීන් එම අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරෝයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 400 ක් සමගයි.

ලංකාවෙන් ලැබුණු ‘රතු නිවේදනයක්’ අනුව ‘කෙහෙල්බද්දර පද්මෙ’ මෙම මස 25 වැනි දින ඩුබායි රාජයේදී අත්අඩංගුවට ගත් බවට කරුණු සැලවීමත් සමග ඇය මේ මස 26 වැනිදා දිවයිනට පැමිණ තිබෙනවා.

‘පද්මසිරි’ නැමැති පුද්ගලයා සමග ඇය ඩුබායි රාජ්‍යයේ එකට ජීවත් වී ඇති බවත් ඇය මීට වසර කිහිපයකට පෙර ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වී ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රද්දොළුගම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ‘ඔස්මන්’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුනේද ‘කෙහෙල්බද්දර පත්මේ’ සහ ඔහුගේ ගෝලයකු බවට පසුගියදා අනාවරණ කර ගැනුණා.

+


ඉන්ධන මිල අඩු වෙයි

(30.04.2024 – 21:25 +0530 – hirunews.lk/sinhala)

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.

එමෙන්ම ‘ලංකා අයි.ඕ.සී.’ සමාගමත් ‘සිපෙට්කෝ’ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කරනු ලැබුවා.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *