රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (09) පෙරවරුවේ සිට පැය 48 ක වැඩවර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (09) පෙරවරුවේ සිට පැය 48 ක වැඩවර්ජනයක්


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (09) පෙරවරුවේ සිට පැය 48 ක වැඩවර්ජනයක්

(08.04.2026 – 19:23 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (09) පෙ.ව. 8 සිට පැය 48 ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාං‍ශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමය පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘GMOA’ නිකුත්කළ නිවේදනය :

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්කිරීමේ උත්සාහයන් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට (09) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව අත්හිටුවිය යුතු බවයි.

එහෙත් මේ වන විට අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙය, යම් ගැටලුවක් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳගැනීමේ ක්‍රියාවලියේ මූලික ප්‍රතිපත්තීන් පවා උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම විශ්වාසය මත පදනම්ව ගැටළුවක් සාකච්ඡාවෙන් විසඳාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උත්සහ කරන පසුබිමක, එම විශ්වාසය අමු අමුවේ කඩකරමින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත නොහැකි සහ අතිශය සදාචාර විරෝධී ක්‍රියාවකි.

සෞඛ්‍ය අමාත්‍යවරයා රට තුළ නොමැති අවස්ථාවක මෙය සිදුවීම කිසිසේත්ම සුළුවෙන් බැහැර කළ නොහැක.

මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව, හෙට දින එනම් 09.04.2026 වන බ්‍රහස්පතින්දා දින උදෑසන 08 සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

මෙම ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුව විසඳීමට හෙට (09) දින උදෑසන 08 දක්වා කාලය ඇති අතර, එසේ නොවන්නේ නම් වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් සම්පූර්ණයෙන් භාරගත යුතුය.

+++

+++

නවක වෛද්‍ය නිලධාරීන් 436 කට පත්වීම් : හෙට (09) සිට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දීමක්

(08.04.2026 – hirunews.lk)

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයැදුම් කරන ලද නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙක් සඳහා ඔවුන්ගේ නව සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අද (08) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පත්වීම් ලැබූ වෛද්‍ය නිලධාරීන් හෙට (09) දින සිට 11 වන දින දක්වා කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හෝ අදාළ සෞඛ්‍ය ආයතන වෙත සේවයට වාර්තා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා.

දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් මෙම අනුයුක්ත කිරීම් සිදු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එහිදී වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් ඉතා විනිවිදභාවයකින් යුතු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා ෴


ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දෝෂ රැසක් : විශේෂ විගණන වාර්තාවෙන් හෙළිවේ

(08.04.2026 – hirunews.lk)

නොරොච්චෝලේ බලාගාරයට 2025 – 2026 කාල පරිච්ඡේදය සදහා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ ඉන්දියාවේ ට්‍රයිඩෙන්ට් සමාගමට අදාල කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ නියමිත ප්‍රසම්පාදන මූලධර්මයන් උල්ලංඝනය කරමින් බව විගණකාධිපතිවරයා අනාවරණය කර තිබෙනවා.

ඒ, ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මඟින්.

කෝප් කමිටුව විසින් කළ දැනුම් දීමකට අනුව විගණකාධිපතිවරයා විසින් මෙම විමර්ශනය සිදු කළ අතර එම වාර්තාව කතානායකවරයා විසින් ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එමඟින් හෙළිකර ඇත්තේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ ඉන්දියානු ට්‍රයිඩෙන්ට් චෙම්පර් සමාගම, ලන්සු කැඳවූ පසුගිය වසරේ අගෝස්තු 18 දිනය වනවිට නියමිත පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු බවයි.

ඒ අනුව, ගල් අඟුරු සැපයීම සඳහා හැකියාව ඇති ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ නොහැකි වූ අනෙකුත් සැපයුම්කරුවන් හට මෙම අවස්ථාව ලබා නොදීමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක තිබිය යුතු සාධාරණත්වය නමැති මූලධර්මය කඩකර ඇති බවට විගණනයේදී නිරීක්‍ෂණය වී තිබෙනවා.

එසේම, මිලදී ගත් ගල් අඟුරු බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වන්නේ ද යන්න පැටවුම් සහ ගොඩබිම් වරායේදී ස්වාධීන පරීක්‍ෂකවරයෙකු මගින් පරීක්‍ෂාවට ලක්කෙරෙන අතර පැටවුම් වරායේදී එම පරීක්‍ෂාව සිදුකිරීම සඳහා විකුණුම්කරු පත්කරන ලද මිට්‍රා එස්.කේ. සවුත් ඇෆ්රිකා සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතීන්වලට යටත්ව ගල් අඟුරු සාම්පල පරීක්‍ෂා කිරීම් සඳහා ප්‍රවණතාවක් නොතිබූ බව විගණනයේදී හෙළිවී තිබෙනවා.

ඉන් අනතුරුව, ඒ වෙනුවෙන් පරීක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමේ බලපත්‍රය පී.ටී. මිට්‍රා එස්.කේ. ඇනලිසා ටෙස්ටමා සැමරින්ඩා නමැති ඉන්දුනිසියානු සමාගමකට පවරා ඇති අතර එම සමාගමේ බලපත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 29 වනදා කල් ඉකුත්වී ඇති අතර එය පසුගිය මාසය අවසානය වන විටත් අලුත් කර නොතිබූ බවයි විගණන වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ.

එමෙන්ම, මෙමඟින් හෙළිකර ඇති තවත් විශේෂිත කරුණක් වන්නේ, ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් ට්‍රයිඩෙන්ට් සමාගම එක්ව කෙටුම්පත් ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමට පෙර අත්සන් තබා ඇති බවයි.

මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාවය පසුගිය වසරේ නොවැම්බර් 20 වන දින ලැබී ඇති නමුත් ඊට පෙර දිනයේදී ලංකා ගල් අඟුරු සමාගම සැපයුම්කරු සමඟ ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබූ බව විගණනයේදී හෙළි කරගෙන තිබෙනවා.

එසේම, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවල ගුණාත්මකභාවය නිවැරදි කරගැනීමට තිබූ අවස්ථා ද ගල් අඟුරු සමාගම මඟහැර ඇති බව විගණකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

පසුගිය මස 11 වැනිදා වනවිට ගබඩා කර තිබූ ගල් අඟුරු නැව් තොග 12 ක් පූර්ණ ධාරිතා මට්ටමට ළඟාවී නොමැති බවට පාර්ලිමේන්තු අනු කමිටු තුළ මෙන්ම සමාජයේ ද අභියෝගයට ලක්ව තිබෙන බවයි පවසන්නේ.

ඒ අනුව, ගැණුම්කරුට හා විකුණුම්කරුට පිළිගත හැකි තවත් ස්වාධීන පරීක්‍ෂකවරයෙකු පත්කිරීමට අවස්ථාව පවතින විට එය භාවිත කිරීමට ගල් අඟුරු සමාගම අපොහොසත් වී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබෙන බව දක්වා තිබෙනවා.

එසේම, සෑම නැව්ගත කිරීම් පහකට (5), ආසන්න වශයෙන් එක්වරක් පදනම මත ගැණුම්කරුගේ බලයලත් නියෝජිතයින් දෙදෙනෙකුට (2) පැටවීමේ වරායේදී විශ්ලේෂණ ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීමට විකුණුම්කරු එකඟවී තිබියදීත් එවැනි පරීක්‍ෂාවක් කර අදාල සැපයුම්වල ගුණාත්මකභාවය නිවැරදි කරගැනීමට ද ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති බවයි විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත්තේ.

එසේම, නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් නැව් පැමිණීම නිසා පසුගිය මස 18 වනදා ක්‍ෂණික ප්‍රසම්පාදනයකින් ගල් අඟුරු මිලදී ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළා.

එහිදී තෝරාගත් ටරන්ජොට් රිසෝර්ස් සමාගම ද සැපයුම්කරු ලියාපදිංචිය සඳහා සලකා බලන ලද මාස 36 ක කාලය තුළ සපයා තිබූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ පහළොස් දහස් නවසීයක (11,15,900) ප්‍රමාණයෙහිම දළ තාපජනන අගය කිලෝ කැලරි 5900 ක ප්‍රතික්ෂේපිත මට්ටමට ද පහළ අගයක් ගෙන තිබූ බව විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අධි පරිභෝජනය මත රුපියල් බිලියන 2.2 ක ඇස්තමේන්තු අලාභයක් සිදුවී ඇති බවට විගණකාධිපතිවරයා මෙම විශේෂිත විගණන වාර්තාවෙන් අනාවරණය කර ඇති අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම නිසා අතිරේකව කිලෝ වොට් පැය හත්කෝටි හැට තුන් ලක්ෂ පනස් හතරදාස් අසු හතක (7,63,54,087) ප්‍රමාණයක් උපයා ගැනීමට සිදුවී ඇති බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *