GMOA එක හැසිරෙන්නේ මෙහෙම නම් ඔවුන්ට දෙන්න හිටපු සාකච්ඡාව දෙන්නේ නෑ : සෞඛ්‍ය ඇමති
GMOA එක හැසිරෙන්නේ මෙහෙම නම් ඔවුන්ට දෙන්න හිටපු සාකච්ඡාව දෙන්නේ නෑ : සෞඛ්‍ය ඇමති
(09.04.2026 – hirunews.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එසේම ඔවුන් මෙසේ හැසිරෙන්නේ නම් අද (09) දින ලබාදුන් සාකච්ඡාව අවලංගු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවා :
“මේක ඉතාම අසාධාරණ වැඩවර්ජනයක්. පදනමක් නෑ. ඒ වෛද්‍යවරු දැන් පත්වීම ලබාගෙන තමන්ගේ සේවා ස්ථානයට යනවා. මං ඒ අයට කියන්න කැමතියි කරුණාකරලා බයවෙන්න එපා කවුරුවත්. ඔබ ගිහිල්ලා ඔබගේ සේවයට වාර්තා කරන්න. ඔබට අවශ්‍ය ආරක්ෂාව පොලීසිය පැත්තෙනුත් ඒ වගේම මහජනතාව පැත්තෙනුත් ලැබෙනවා. ඒවට කිසිකෙනෙකුට අත තියන්න බෑ. ඔබ රාජකාරී කරගෙන යන්න. ඔබට අපි සුභ පතනවා ඔබගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන්.
අපි ඔක්කොම එකතුවෙලා මේ රටේ හොඳ සෞඛ්‍ය සේවාවක් හදමු. මේ දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරන වැඩ වර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා කියන ඉල්ලීමත් මම මේ වෙලාවේ කරන්න කැමතියි. කොහොමටත් මේ විදිහට නම් හැසිරෙන්නේ අද ලබා දීපු සාකච්ඡා මං කරන් නෑ.
සාකච්ඡාවක් ලබා දුන්නා ගිය ඉරිදා. පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධ ප්‍රශ්නේ ඉවරයි. එතනින් එහාට වෙන වෙන ගැටළු තියෙනව නම් සාකච්ඡා කරන්න. හැබැයි මේ විදිහට නම් හැසිරෙන්නේ ඒ සාකච්ඡා වැඩක් නෑ. ඒ නිසා ඒ සාකච්ඡාව GMOA එකටත් ලබා දෙන්නේ නැත. මේ වැඩ වර්ජනය අසාධාරණයි. අපි ඒක රජය හැටියට මුහුණ දෙන්න සූදානම්.
මේ පළමු පත්වීම ලබා දීමේදී රජය වරදක් සිදු කරලා තිබෙනවා නම් හොඳම වැඩේ තමයි අධිකරණයට යන එක, වැඩ වර්ජනය කරන්නේ නැතුව. එතකොට අධිකරණයට ගියාට පස්සේදී අධිකරණයෙන් දෙපැත්තේ නඩුව අහලා අධිකරණ නියෝගයක් ලබා දේවි. මේක නෙමෙයි ජනතාව ගොදුරු කරගන්න එපා. ඒක තමයි අපි ඉල්ලා හිටින්නේ. බොහොම ස්තූතියි ප්‍රශ්නේ ඉදිරිපත් කළාට.”
+++
අපි දොස්තරලා ! එකෙකුටවත් බෑ අපිව ගොනාට අන්දවන්න – අඛණ්ඩ වැඩවර්ජනයකට දොස්තරලා ලෑස්තිවෙයි (09.04.2026)
+++
මේ වර්ජනයට අපේ කිසිම සහයක් නැහැ | ලෙඩ්ඩු වෙනුවෙන් අපි නියමිත විදිහට වැඩ (09.04.2026)
+
ජවිපෙ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට එරෙහිව අල්ලස් කොමිසමට යනවා : නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර
(09.04.2026 – hirunews.lk)
ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා.
ඊයේ (08) දින තමා ඇතුළු තම පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙක් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ගොස් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවීමට ගිය බවත් එහිදී පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් තම ගමනට බාධා එල්ල කළ බවද ඔහු විසින් පෙන්වා දෙනු ලබනවා.
එම කාර්යාලයේ නියෝජිතයෙකු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඒ අවස්ථාවේදී පක්ෂ කාර්යාලයේ නොමැති බව සඳහන් කළ බවද සුගීෂ්වර බණ්ඩාර කියා සිටිනවා.
ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු නොමැති අවස්ථාවක අඩුම ගණනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද නොමැති අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසකගේ ආරක්ෂාව ලබාදුන්නේ කුමන පදනමකින්ද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද සුගීෂ්වර බණ්ඩාර පවසනවා.
මේ නිසා කිසිදු පදනමකින් තොරව පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ ආරක්ෂාව ලබාගෙන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බවත් මෙම කරුණු ගොනුකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවද ඔහු කියා සිටිනවා.
පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයින් පිරිසකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හමුවී ලිපියක් බාර දීමටද නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව සුගීශ්වර බණ්ඩාර කියා සිටිනවා.
ටිල්වින් සිල්වා මහතා නොමැති බව පැවසූ ඔහුගේ නියෝජිතයා එම ලිපිය බාරගත් බවද ඔහු සඳහන් කළා.
තම පක්ෂයේ නියෝජිතයින් සාමකාමීව පැමිණ ටිල්වින් සිල්වා මහතා හමුවී එම ලිපිය බාරදීමට උත්සාහ කළ අවස්ථාවේදී මේ ආකාරයෙන් දැඩි රැකවල් යොදා තම ගමනට බාධා කළේ ඇයිදැයි කියා තමා පොලිසියෙන් විමසන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.
රාජ්‍ය බලය යොදා ගනිමින් කිසිම හේතුවක් නොමැතිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ ආරක්ෂාව ලබාදීමට මැදිහත් වූයේ කවුද කියා ආණ්ඩුව විසින් රටට හෙළි කළයුතු බවද සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
උතුරු දුම්රිය අද (09) සිට ගමන් අරඹයි
(09.04.2026 – 08:10 +0530 – sinhala.adaderana.lk)
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද (09) සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද (09) සිටත්, යාල්දේවී දුම්රිය හෙට (10) දින සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පසුගියදා දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 හානී වී තිබු අතර එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීම්වලින් පසු පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කටයුතු සිදුවුව ද ජනවාරි 19 දින සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබීය.
කෙසේවෙතත් හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 ස්ථීර ප්‍රතිසංස්කරණ කිරීමෙන් අද (09) දින සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴
+++
+
පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම් කරමින් පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්
(09.04.2026 – 06:55 +0530 – sinhala.adaderana.lk)
තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම ද සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
එසේම බාහිර පාර්ශ්වයන් හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් යුතුව සිය පොලිස් ස්ථානවල සිංහල අලුත් අවුරුදු සාද පැවැත්වීම ද නොකළ යුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන්.
පොලිස් ස්ථානවල සිදුකරන අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් 250 ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.
අදාළ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම ද අධීක්ෂණ නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට මාරුවීම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩුවලට අනුව මෙම ස්ථාන මාරුවිම් ලබා දී තිබේ ෴
76 වසරකට මේ වගේ මරිමොල් තක්කඩි ආණ්ඩුවක් තිබ්බේ නෑ – කුමාර මහ වසලයෙක්, මෝඩ පාලකයෙක් – ලැජ්ජයි (09.04.2026)
+
හේනේ වැඩකරපු අම්මටයි තාත්තටයි වැස්සෙන් බේරෙන්න කුඩයක් දීලා ගෙදර එන්න ආ දුව අකුණකට බිලිවෙලා (09.04.2026)
+
හිටි හැටියේ පත්තු වෙච්චි ගින්නෙන් රන්න බටඅත කර්මාන්ත පුරයේකොහු කර්මාන්ත ශාලාව විනාසයි (09.04.2026)
+
පාඨලීගේ දුරකථනය පොලිස් භාරයට ගනියි – කැස්බෑව උසාවියට කට්ටියම ආපු හැටි මෙන්න (09.04.2026)
+
හම්බන්තොටදී ලංගම බසයක් වීල් ලෝඩරයක (Wheel Loader) ගැටෙයි : 10 ක් රෝහලට
(09.04.2026 – hirunews.lk)
හම්බන්තොට වරාය නගරය ඉදිරිපිට හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් වීල් ලෝඩරයක (Wheel Loader) හැපී අද (09) අලුයම 01:30 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බස් රථයේ ගමන් කළ 10 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
එසේම තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව හම්බන්තොට වරාය පොලිසිය සඳහන් කරනවා.
බස් රථය මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ වීල් ලෝඩරය (Wheel Loader) වරාය දෙසට මාර්ගය හරහා ගමන් කර ඇති අතර, එහිදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වරාය පොලිසිය සිදුකරනවා.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴