තම ‘ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ’ රථයටම යට වී ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට

තම ‘ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ’ රථයටම යට වී ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට


තම ‘ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ’ රථයටම යට වී ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට

(30.04.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala)

තම රථයටම යට වී ජීවිතක්ෂයට පත් වූ ව්‍යාපාරිකයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ බියගම සියඹලාපේ ගලහිටියාව ප්‍රදේශයෙන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 57 ක පුද්ගලයෙක්.

ඔහු තමාට අයත් ‘ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ’ වර්ගයේ ජිප් රථය ඔහුම පදවාගෙන පැමිණ නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවත්වා රථය පණගන්වා තිබියදී අත් තිරිංග යොදා රථයෙන් බැස ඉදිරියට ගොස් තිබෙනවා.

ඔහු ඉදිරියට යද්දී ඔහු පිටුපසින් රථය පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි දී ව්‍යාපාරිකයා එම රථයට යට වී තිබෙනවා.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා බියගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර එහි දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


‘සීඅයිඩී නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ගත් 04 ක් අත්අඩංගුවට

(30.04.2024 – 08:03 +0530 – hirunews.lk/sinhala)

‘සීඅයිඩී නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂාකර රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් (1,20,00,000) හා ඩොලර් තුන්දහස් පන්සියයක (3,500) මුදලක් ලබාගත් සිව් දෙනෙකු (4) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම නිවසේ සේවය කරන ඉන්දියන් ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය ද රැගෙන ගොස් පසුව පැමිණිලිකරුගේ දුරකථනයට ඇමතුමක් ලබා දී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට රුපියල් කෝටි 04 ක් අල්ලස් වශයෙන් ඉල්ලා අදාළ මුදල රුපියල් කෝටි තුන හමාරක් (3½) දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක් වශයෙන් අල්ලස් ලබා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) සහ සැකකාරියක් (1) ඊයේ (29) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ’ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිස අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ලබාගත් සිද්ධියට කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් කාන්තාවක් (1) ඇතුළු හතරදෙනා (4) ලබන මැයි 14 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව’ විසින් ෴


135 වැනි ‘ජාත්‍යන්තර කම්කරු දිනය’ හෙවත් ‘මැයි දිනය’ හෙටයි (01)

(30.04.2024 – 08:51 +0530 – hirunews.lk/sinhala)

මෙවර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මැයි රැළි සහ පෙළපාලි 40 ක් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

හෙට (01) දිනයේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර හෙට (01) පෙරවරු 11 න් පසු කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.

හෙටට (01) යෙදෙන ‘ජාත්‍යන්තර කම්කරු දිනය’ හෙවත් ‘මැයි දිනය’ නිමිත්තෙන් ‘එක්සත් ජාතික පක්ෂයේ’ මැයි රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ‘මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය’ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේයි.

‘එක්සත් ජාතික පක්ෂ’ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියේ තේමාව ‘යළි නොවැටෙන අභිමානවත් රටක්’ යන්නයි.

‘සමගි ජන බලවේගය’ ප්‍රමුඛ ‘සමගි ජන සන්ධානයේ’ මැයි දින රැළිය ‘කොළඹ පහළ චැතැම් වීදියේදී’ පැවැත්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ‘සමගි ජන බලවේගයේ’ මැයි රැළියේ තේමාව ‘සමගි රටක් – අනගි හෙටක්’ යන්නයි.

එමෙන්ම වතුකරයේ මැයි රැලි දෙකක් (2) සංවිධාන කිරීමටත් ‘සමගි ජන සන්ධානය’ පියවර ගෙන තිබෙනවා.

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ මැයි දින රැළිය ‘දිනන රටක් – එක ගමනක්’ යන තේමාවෙන් මෙවර පැවැත්වෙන්නේ ‘බොරැල්ල කැම්බල් පිටියේ’දී යී.

‘රට හදන විසඳුමට – ජන බලය එක පෙළට’ යන තේමාවෙන් ‘ජාතික ජන බලවේගයේ’ කොළඹ රැළිය ‘විහාරමහාදේවී උද්‍යානය’ අසල සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මාවතේදී පැවැත්වෙන අතර යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදී ද එම පක්ෂය මැයි රැළි සංවිධාන කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ මැයි රැළිය ‘රට රකින ජන පවුර’ යන තේමාව යටතේ ‘ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී’ පැවැත්වීමට නියමිතයි.

‘මැයි දිනය’ නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පමණක් පොලිස් නිලධාරීන් 6,000 කට අධික පිරිසක් යොදවන බවයි ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

+

+


‘ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධනය’ට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

(30.04.2024 – 09:25 +0530 – hirunews.lk/sinhala)

‘ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය’ අදට (30) ට යෙදී තිබෙනවා.

එයට සමගාමීව ඊයේ (29) දිනයේදී ‘දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සියලුම ක්‍ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන’ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට කැපවීම සමග පෙළ ගැසෙමින්, ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක් නොවන බව සහතික කිරීම සඳහා නීතිමය ආරක්ෂාවක් එයින් සැලසෙනවා.

‘UNCRC 19 වැනි වගන්තිය’ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව ආරක්ෂාව ඉල්ලා සිටින අතර ‘ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව’, සාමාන්‍ය විවරණ අංක 8 හි අවධාරණය කරන්නේ ශාරීරික දඬුවම් සියලු සැකසුම් තුළ තහනම් කළ යුතු බවයි.

‘ශාරීරික හිංසන’ ළමා අපයෝජන අතරින් ඉහළින්ම වාර්තාවන අතර, සෑම වසරකම ලොව පුරා ළමුන් බිලියන 1.3 කට වඩා ‘කායික හිංසනය’ට ලක්ව තිබෙනවා.

2017 වසරේදී දකුණු ආසියාතික රටවල් අතරින් ‘දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට මූලිකත්වය ගත් පළමු රාජ්‍යය’ ලෙස ශ්‍රී ලංකාවට ගෞරවය හිමිවනවා ෴


අද (30) එළවලු මිල මෙන්න

(30.04.2024 – 10:22 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) එළවලු කිලෝවක මිල ගණන් (රුපියල්) පිළිබඳ තොරතුරු නිකුත් වී තිබෙනවා.

කැරට් – 150, බෝංචි – 200, බීට් – 180, වට්ටක්කා – 130
අමු මිරිස් – 80, මාලු මිරිස් – 300, තක්කාලි – 60,
මෑකරල් – 80, දඹල – 150, වම්බටු – 160,
බණ්ඩක්කා – 150, පතෝල – 120.


බන්ධනාගාරගත කිරීමට එරෙහිව කෙහෙළිය දැමූ පෙත්සමට අදාල නියෝගය ප්‍රකාශ කිරීම කල් දැමේ

(30.04.2024 – 10:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ පෙත්සම ගොනු කර තිබුණා.

එම පෙත්සමට අදාළ නියෝගය අද (30) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දා දක්වා කල් තබන බවයි අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ප්‍රකාශ කර ඇත්තේ ෴


“විදුලි සංඥා පුවරු අසල සිටින යාචකයින්ට මුදල් දෙන්න එපා”

(30.04.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ද ඇතුළුව ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ආකාරයෙන් සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

රථවාහන පරිපාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ ඊට අදාළව පසුගිය සතිය තුළ කළ මෙහෙයුමකින් යාචකයින් 94 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල මෙන්ම ආලෝක සංඥා ආසන්නයේ රථවාහන ධාවනයට බාධාවන ලෙස සිඟමනේ යෙදෙන යාචකයින් සුලබව දැකගැනීමට හැකියාව ලැබෙනවා.

මේ හේතුවෙන් වාහනවල රැඳී සිටින පිරිස් දැඩි අපහසුතාවට ද පත්වනවා.

එවැනි පසුබිමකයි රියැදුරන් හෝ වාහනයේ ගමන් ගන්නන් විසින් යාචකයින්ට මුදල් ලබාදීමට කටයුතු කළහොත් ඔවුනට ද දඩ මුදලක් නියම කිරීමට පොලිසිය තීරණය කර තිබෙන්නේ.

සිඟමන් දුන්නොත් දඩයක් ලැබෙන හැටි – සල්ලි දුන්නේ නැතිනම් කාසි අරන් වාහනය හුරනවා (30.04.2024)

+


ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(30.04.2024 – 11:36 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකහමාරකට (2½) අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මඩකලපුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) මඩකලපුව පොලිස් වසමේ, ‘පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය’ ඉදිරිපිට දී මෙම වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 11 ක් සමග රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


වවුනියා පාස්පෝට් පෝළිමේ ඉන්න අයට කේරළ ගංජා විකුණා හසුවේ

(30.04.2024 – 11:57 +0530 – hirunews.lk/sinhala)

වවුනියාවේ පාස්පෝට් කාර්යාලයේ පෝලිම්වල සිටින පිරිසට කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු වවුනියාව පොලීසිය විසින් 29 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා ගංජා අලෙවි ක‍රමින් සිටියදී ඔහුව කොටු කරගැනීමට සමත්වුනා.

පසුව ඔහුගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී පාස්පෝට් කාර්යාලය අසල ස්ථානයක ඔහු විසින් සඟවා තිබූ කේරළ ගංජා පැකට් කිහිපයක් හා කිලෝ ග්‍රෑම් එකක (1) කේරළ ගංජා පාර්සලයක් සොයා ගැනීමට පොලිසියට හැකි වූ බව අප වාර්තාකරු පවසනවා.

පාස්පෝට් ලබා ගැනීමට පැමිණ රාත්‍රියේ සිට පෝලිම් වල සිටින පිරිසට ඉතා පහසුවෙන් කේරළ ගංජා අලෙවි කිරීමට හැකි නිසා එම සැකකරු මෙම ස්ථානය තෝරාගෙන ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

සැකකරු හා කේරළ ගංජා තොගය වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *