මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට

මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට


මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට

(29.04.2024 – 21:55 +0530 – hirunews.lk/sinhala)

මැණික්හින්න රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය පැවසුවේ.

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේදී මෙම ගැටුම හටගෙන තිබුණේ රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු ඇතුළු පිරිසක් සහ එම රෝහලේ කාර්ය මණ්ඩලය අතරයි.

අදාළ රෝගියා ජලය යැයි සිතා පෙට්‍රල් පිරවූ බෝතලයකින් මුහුණ සේදීම නිසා ඇසෙහි ඇතිවූ වේදනාවක් හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙනවා.

එම පිරිස රෝහලට පැමිණෙන විටත් රෝහලේ කාර්ය මණ්ඩලය බීමතින් සිට ඇති අතර ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා ද බීමතින් සිට තිබෙනවා.

වෛද්‍යවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ රෝහලේ පැවැති අවුරුදු උත්වයකදී මෙලෙස මත්වතුර පානය කර තිබෙනවා.

එම අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසට පහර දෙන අයුරු අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබුණා.

පහරදීමෙන් තුවාල ලැබූ 6 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් මැණික්හින්න රෝහලට ඇතුළත් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ සටහන් කරගත් බවයි මැණික්හින්න පොලිසිය පැවසුවේ.

++++++++++

+

මැණික්හින්න දොස්තරගේ ඩෝප්සද්දේ | අවුරුදු උත්සවේ අස්සේ රෝගියෙක් ගෙනා නිසා දොස්තරටයි සේවකයින්ටයි මළපැනලා (29.04.2024)

+


ඉහල දැමු EPF පොලිය ගැන ගෙවිඳු කියයි

(29.04.2024 – 23:08 +0530 – hirunews.lk/sinhala)

‘සේවක අර්ථසාධක අරමුදල’ සඳහා ගෙවන පොළිය 13% දක්වා ඉහළ දැමීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවේ ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසනවා.

ඔහු චෝදනා කරන්නේ වැඩ කරන ජනතාවට 9% ක පොලියක් ගෙවූ පසුබිමක මහ බැංකු සේවකයින්ට 29% ඉක්මවූ පොලියක් ගෙවීම නින්දිත ක්‍රියාවක් බවයි.

පැවති ආර්ථික අර්බුදය හමුවේ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේදී ‘සේවක අර්ථ සාධක අරමුදලේ’ පොලී අනුපාතය 9% දක්වා පහත දැමුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලවයි.

කෙසේවෙතත් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින මොහොතක ‘සේවක අර්ථ සාධක අරමුදලේ’ පොළී අනුපාතය 13% දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත්තා.

+


රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර ගැන මුදල් කාරක සභාව වාර්තාවක් ඉල්ලයි

(29.04.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නැති බැවින් හා ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පෙනී යන බැවින් ඒ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් (2) තුළ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට පසුගිය දා උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධව මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් (2) තුළ වාර්තාවක් ලබා දිය යුතු බවයි.

එසේම මෙම විශ්ලේෂණය ලැබෙන තුරු ඊට අදාළ බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බව ද එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා උපදෙස් දී තිබෙනවා.

මේ අනුව මෙම ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වූ අරමුණ වන විදේශ ප්‍රේෂණ සැලකිය යුතු මට්ටමෙන් ලැබී තිබේ ද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න සොයා බලා මෙම විශ්ලේෂණාත්මක වාර්තාව සකස් කරන ලෙස ද දැනුම් දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අයුරින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ වාර්තාව කැඳවා ඇත්තේ, විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීම සදහා පළ කරන ලද අංක 2368/24 දරන ගැසට්පත්‍රය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා වූ අවස්ථාවේදීයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමය ක්‍රියාත්මක වූ අතර අමෙරිකානු ඩොලර් 20,000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති ශ්‍රමිකයන්ට රුපියල් මිලියන 12 දක්වා සුඛෝපභොගී මෝටර් රථ ‘බදු සහනය’ (?) ලබා දී තිබුණා.

ඊට අදාළව 2023 පෙබරවාරි 10 ගැසට් පත්‍රයෙන් මුල් වරට ක්‍රියාත්මක වූ මෙම යෝජනා ක්‍රමයේ කාලය 2023 මැයි 31 දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් දිගු කිරීමක් සිදු කර ඇති අතර නැවත 2024.01.24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දිගු කිරීමට කටයුතු කෙරුණා ෴


මාස 4 ට ලාංකිකයින් 2,000 ක් කොරියාවට

(30.04.2024 – 07:10 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ පළමු මාස 04 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 2,000 කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම කාර්යංශය පෙන්වා දෙන්නේ, පුද්ගලයින් 2,064 දෙනෙකු ගත වූ මාස 04 තුළ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.

ඒ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1708 දෙනෙකු, ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 05 දෙනෙකු ද දකුණු කොරියාව වෙත ගොස් තිබේ.

ඔවුන්ගෙන් 1,892 දෙනෙකු පළමු (1) වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාල සීමාව තරුණියන් 41 දෙනෙකු ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය ෴


එකම පවුලේ දරු දෙදෙනාට (2) අකුණු සැර වැදිලා

(30.04.2024 – 06:56 +0530 – sinhala.adaderana.lk)

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසයි.

අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් එකම පවුලේ සහෝදර-සහෝදරියන් බව පොලීසිය පවසයි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+++++++++++

+


ඇමති ටිරාන්ට එරෙහිව ‘නීතිඥ සංගමය’ ජනපතිගෙන් කළ ඉල්ලීම

(29.04.2024 – 21:50 +0530 – sinhala.adaderana.lk)

‘මහජන ආරක්ෂක අමාත්‍ය’ ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අපරාධකරුවන් මර්දනය සඳහා ගිනිඅවි භාවිත කිරීමට පසුබට නොවන්නැයි ‘මහජන ආරක්ෂක අමාත්‍ය’ ටිරාන් අලස් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අද (29) එම සංගමය සඳහන් කළේ ඊට අදාළව සිය සංගමයේ මහ සභාවේදී යෝජනාවක්ද සම්මත කරගත් බවය.

‘අපරාධ කල්ලි මර්දනයට ගිනි අවි භාවිත කිරීමට පසුබට නොවන’ ලෙස පසුගියදා ‘මහජන ආරක්ෂක අමාත්‍ය’ ටිරාන් අලස් මහතා පොලිස් නිලධාරීන් අමතමින් සදහන් කළේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකායේ නිලධාරීන් විසිර යාමේ උත්සවයේදීය.

උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොර අත්තනෝමතික දණ්ඩනය දිරිගන්වන ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් ‘මහජන ආරක්ෂක අමාත්‍යවරයා’ට එරෙහි යෝජනාවක් එහි මහ සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබේ.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ පවසන්නේ ටිරාන් අලස් මහතා එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බවය.

නොසැලකිලිමත් ලෙස පුන පුනා කරන ප්‍රකාශ මගින් තවදුරටත් එම අමාත්‍යධූරය දැරීමට නුසුදුසු බව පෙන්නුම් කරන බැවින් ඔහු වහාම ‘මහජන ආරක්ෂක අමාත්‍යධුරයෙන්’ ඉවත් කරන ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එහි දැක්වෙයි.

‘මහජන ආරක්ෂක අමාත්‍ය’ ටිරාන් අලස් මේ වනවිට විදේශගතව සිටින අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතළ මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවය.

ඔහු සඳහන් කරන්නේ ‘බොහෝ ප්‍රසිද්ධ නීතිඥවරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි’ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඊට හේතුවී ඇති බවය.

‘යුක්තිය මෙහෙයුම’ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30)සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය ෴


‘ඩ්‍රෝන යානා’ භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

(29.04.2024 – 21:33 +0530 – sinhala.adaderana.lk)

අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ‘ඩ්‍රෝන යානා’ භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එලෙස ‘ඩ්‍රෝන යානා’ භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතු බවය.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇත ෴


ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා ගාලුපාරේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

(29.04.2024 – 20:40 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් වැලි තැන්පත්ව ඇත.

මේ හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එම ප්‍රදේශයෙන් පරීක්ෂාකාරීව ගමන්කළ යුතුවෙයි.

එසේම ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විටින් විට මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් සැලකිලිමත්ව රිය ධාවනය කළයුතු වෙයි ෴


කරඳගොල්ලට ඉහළින් තවත් නායයන ස්ථානයක් – “දැනට මෙම නායයාමට උමා ඔයෙන් බලපෑමක් නෑ” (29.04.2024)

+


+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *