කන්තලේ, භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ සිවිල් වැසියන්ව මරා දමන තෙක් බලා සිටි OIC ඇතුළු 5 ක් දිවි ඇති තෙක් හිරේ

කන්තලේ, භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ සිවිල් වැසියන්ව මරා දමන තෙක් බලා සිටි OIC ඇතුළු 5 ක් දිවි ඇති තෙක් හිරේ


කන්තලේ, භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ සිවිල් වැසියන්ව මරා දමන තෙක් බලා සිටි OIC ඇතුළු 5 ක් දිවි ඇති තෙක් හිරේ

(29.04.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ, භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු (8) භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට (5) බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (28) නියම කළා.

එහිදී විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසටයි නියෝග කෙරුණේ.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා (1), උප පොලිස් පරික්ෂකවරයෙක් (1) සහ පොලිස් සැරයන්වරු තිදෙනෙකු (3) ටයි.

1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධිවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා ෴


වයස මාස 09 ක් පමණ වූ බිළිඳියගේ ඝාතනයට සැකපිට මව අත්අඩංගුවට

(29.04.2024 – 06:34 +0530 – hirunews.lk/sinhala)

මහබාගේ, හලන්දුරුව ප්‍රදේශයේදී ඊයේ (28) මාස 09 ක් පමණ වූ බිළිඳියක් කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බවට බිළිඳියගේ පියා විසින් මහබාගේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී එම බිළිඳිය පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබූ ළිඳක් තුල තිබී ඇයගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

අනතුරුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මව විසින් බිළිඳිය ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරනය වී ඇති අතර, ඒ අනුව මෙම ඝාතනයට සැකපිට බිළිඳියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර මව අවුරුදු 30 ක් වූ හලන්දුරුව පාර, රාගම ප්‍රදේශයේ පදිංචි අයෙක් ෴


රෝහලේදී දෙපිරිසක් ගැටී 05 දෙනෙකුට තුවාල

(29.04.2024 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මැණික්හින්න රෝහලේ ඊයේ (29) පස්වරුවේ ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 5 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුරදී තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් උත්සවයකට සහභාගි වී තිබීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, එහිදී මෙම පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන අතර, පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

ගැටුම අතරතුරදී පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මැණික්හින්න පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගැටුම සමථයකට පත්කර තුවාලකරුවන් මහනුවර රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

+


ශ්‍රී ලාංකිකයන් දුම්වැටි භාවිතය සඳහා දිනකට රුපියල් කෝටි 52 ක් වියදම් කරයි

(29.04.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala)

දුම්වැටි භාවිතය සඳහා මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 52 ක් වියදම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් මෙරට පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන බවයි සඳහන් වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83% ක් බෝනොවන රෝග නිසා ඇති වන බවත්, මෙරට ද බෝනොවන රෝගවලින් ප්‍රධානතම සාධක අතුරින් දුම්වැටි භාවිතය ප්‍රමුඛ සාධකයක් වී ඇති බවයි.

සිගරට් ෆිල්ටර් පරිසරයට රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහරිම හේතුවෙන් ගොඩබිම සහ සාගර ඇතුළු සියලු පරිසර පද්ධතිවලට මින් ඉතා දැඩි පාරිසරික බලපෑමක් සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ වසරකට සිගරට් ෆිල්ටර බිලියන 2300 ක් පරිසරයට මුදා හැරෙන බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴


නවීන තාක්ෂණයෙන් නිධන් හාරලා

(29.04.2024 – 08:31 +0530 – hirunews.lk/sinhala)

අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් පොළොන්නරුව ශාන්තිපුර, උණගලාවෙහෙර ප්‍රදේශයේ නිවසක් තුල නිධන් හෑරු පුද්ගලයන් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) දින පොළොන්නරුව පොලිස් වසමේ ශාන්තිපුර, උණගලාවෙහෙර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් නිවසක් තුල නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් නිධන් හාරමින් සිටි උණගලාවෙහෙර සහ හැදලවත්ත යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 23 සහ 32 ක් වන තරුණයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සන්තකයේ තිබූ එම ස්කෑන් යන්ත්‍රය, කැණීම් උපකරණ සහ විවිධ වර්ගයේ පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


සාමාන්‍ය පෙළ විභාගය නිසා උපකාරක පන්ති සහ වැඩමුළු පැවැත්වීම හෙට (30) සිට තහනම්

(29.04.2024 – 09:09 +0530 – hirunews.lk/sinhala)

මැයි මස 06 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම, ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම ළඟ තබාගැනීමද තහනම් වනවා.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 06 වනදා සිට 15 වනදා දක්වායි ෴


මෘදුකාංග ඉංජිනේරුවා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග කොටු

(29.04.2024 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් රුපියල් ලක්ෂ පනහකට (50) ආසන්න වටිනාකමින් යුත් ‘හෑෂ් හා කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග මෘදුකාංග ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගත් බව ‘බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය’ පවසනවා.

එහිදී ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90, මුදලින් රුපියල් 100,000 මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් (2), ස්කූටි වර්ගයේ යතුරුපැදියක් (1) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මත්ද්‍රව්‍ය තොගයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවකු බවත්, ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට තවත් පාඨමාලාවක නිරතව සිටි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් රාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම සැකකරු අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිසියට භාරදී තිබෙනවා.

ඉතාලියේ සිට මෙරටට ‘හෑෂ් සහ කුෂ්’ මත්ද්‍රව්‍ය ගෙන්වන මහමොලකරු, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහුව ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


“රනිල් වැඩ්ඩා නිසා තමයි කුණු සහල් බෙදන්නේ” – “නිදහස් පක්ෂය කෝලමක් වෙලා මෛත්‍රීපාල විගඩමක් වෙලා”

+

+


විද්‍යාපීඨ පීඨාධිපතිවරු සහ ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක

(29.04.2024 – 10:26 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ‘සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

ඒ අනුව අද (29) සහ හෙට (30) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට පියවර ගෙන ඇති බවයි එහි ලේකම් ධම්මික මිරිහාන පවසන්නේ.

එහිදී ඔහු සඳහන් කළේ වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් තම වෘත්තීන්ට නොලැබෙන බවත් ඒ හේතුවෙන් වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා මෙලෙස වෘත්තීය ක්‍රියාර්ගයකට එළඹීමට තීරණය කළ බවයි ෴


කලකට පසු ශ්‍රිලනිප මූලස්ථානයේ දොරටු ඇරෙයි

(29.04.2024 – 11:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හටගත් අර්බුද තත්ත්වයක් හේතුවෙන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ලිපිගොනු කිහිපයක් අස්ථානගත වීම හේතුවෙන්, ඩාලි පාරේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලය පොලිසිය විසින් මුද්‍රා තැබීමෙන් අනතුරුව අද (29) පළමුවැනිවරට විවෘත කරනු ලැබුවා.

ඒ පොලිසියේ SOCO අංශ නිලධාරීන්ගේ ස්ථානීය පරීක්‍ෂණයක් සඳහායි.

එහිදී අද (29) පෙරවරුවේ සිට එම පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් මෙන්ම කැරලි මර්දන ඒකකයද යොදවා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ ෴


ආපදා කළමනාකරණයට දුන් ජීප් රථය තම පරිහරණයට ගත් ෆවුසිට නොතීසි

(29.04.2024 – 11:28 +0530 – hirunews.lk/sinhala)

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට (1,000,000) අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර ෆවුසි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද (29) දින අධිකරණයට නොපැමිණි බවයි.

ඒ පිළිබඳ තහවුරු කරන වෛද්‍ය වාර්තාවක්ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව නඩුව නැවත මැයි මස 22 වන දා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

ඔහු ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට (1,000,000) අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *