හොර අරක්කු (කසිප්පු) විස වී තිදෙනෙකු (3) මරුට

හොර අරක්කු (කසිප්පු) විස වී තිදෙනෙකු (3) මරුට


හොර අරක්කු (කසිප්පු) විස වී තිදෙනෙකු (3) මරුට

(28.04.2024 – 15:44 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි මත්පැන් පානය කිරීම හේතුවෙන් වරකාගොඩ, කරන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් 7 දෙනෙකු අසාධ්‍ය වී රෝහල්ගත කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී යතුරු පැදියකින් පැමිණෙන අයෙකු මෙම ප්‍රදේශය ආශ්‍රිතව නීතිවිරෝධී මත්පැන් විකිණීම සිදුකරන බවයි මියගිය පිරිසගේ ඥාතීන් චෝදනා කරන්නේ.

මෙම මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ‘ක්ලාන්ත වීම’ සහ ‘ඇස් පෙනීම දුර්වල වීම’ හේතුවෙන් මොවුන් රෝහලගතකළ බවයි ජීවිතක්ෂයට පත්වූ අයෙකුගේ ඥාතියෙකු සඳහන් කළේ ෴

++++++++++

+


නිසි පරිදි ජලය නොලැබී ගල්නෑව ගොවීන් අසරණයි

(28.04.2024 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වගාව සඳහා මහවැලි ව්‍යාපාරයෙන් ලබාදෙන ජලය ප්‍රමාණත් නොවන බවට ගල්නෑව, හිරිපිටියාව ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් පවසන්නේ කුඹුරු හෙක්ටයාරයක් සඳහා ජලය ලබාදෙන්නේ පැය දෙකක (2) පමණ කාලයක් පමණක් බවයි.

මහවැලි එච් කලාපයට අයත් ගල්නෑව, හිරිපිටියාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.

මෙවර යල කන්නයට අවශ්‍ය ජලය මේ වනවිට නිකුත් කිරීම ආරම්භ වී තිබුණ ද එම ජලය ප්‍රමාණය වගා කටයුතුවලට ප්‍රමාණවත් නොවන බව ගොවීන් පවසනවා.

ඒ හේතුවෙන් ගොවි පවුල් 241 ක් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

ප්‍රදේශයේ ඇතැම් ගොවීන් වී ගොවිතැන අත්හැර අතිරේක භෝග වගා කිරීමට මේ වනවිට බිම් සකස් කර තිබෙනවා.

එම ගොවීන් ද පවසන්නේ වගාවන්ට ප්‍රමාණවත් අයුරින් ජලය නොලැබෙන බවයි.

+


ජල ව්‍යාපෘතිය කොට උඩ; ජලය සොයා ගම්වැසියන් ඉබාගාතේ

(28.04.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ඇතැම් ව්‍යාපෘති අතරමග නවතින්නේ ඒ කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහීම හේතුවෙන්.

මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැය කර ආරම්භ කළ එවැනි ජල ව්‍යාපෘතියක් වසර 4 කට ආසන්න කාලයක් තිස්සේ වැඩ අවසන් නොවීම පිළිබඳවයි මේ පුවත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූරිය වැව ගම්මානයේ පවුල් 400කට ආසන්න සංඛ්‍යාවක් මෙහි ජීවත් වන අතර, කුඹුරු ගොවිතැන ඔවුන් ප්‍රධාන ජිවිකාව වනවා.

ගම්වැසියන්ට සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට ඇති ප්‍රධානතම මාර්ගය සූරිය වැව වුවත්, ප්‍රදේශයේ විශාල පිරිසක් වකුගඩු ආශ්‍රිත රෝගවලටද ගොදුරු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ ගම්වැසියන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන්නේ 2020 වර්ෂයේදීයි.

දින 270ක් තුළ වැඩ නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව ව්‍යාපෘතිය ආරම්භ කෙරුණත් මේ දක්වා එහි වැඩ අවසන් නොවීමෙන් ගම්වැසියන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

රුපියල් 4,48,00,000 අධික මුදලක් වෙන් කරමින් ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේයි.

පවතින තත්ත්වය හමුවේ ජලය සපයා ගැනීම සඳහා ගම්වැසියන්ට තවදුරටත් සූරිය වැව දක්වා යාමට සිදුවන අතර, ප්‍රදේශයේ සැරිසරන වන අලින්ගෙන් ඔවුන්ට එල්ල වන තර්ජන ද සුළුපටු නැහැ.

එමෙන්ම, මෙම ජල යෝජනා ක්‍රමයට ජලය සපයා ගැනීම සඳහා ඉදිකළ ළිඳෙහි වැඩ ද අතරමග නැවතීමෙන් මිනිසුන් මෙන්ම වන අලින් ද ඊට ඇදවැටීමේ අවදානමක් මතුව තිබෙනවා.

+


අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළට

(28.04.2024 – 16:56 +0530 – hirunews.lk/sinhala)

දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යටියන්තොට- කන්දල්ඔය ප්‍රදේශයේදී අද (28) පැවති වැඩසටහනකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලක්ෂ 27 ක්වූ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවන බවයි ෴


කරඳගොල්ලේ නායයෑම ගැන සොයන්න බදුල්ලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙනුත් කණ්ඩායමක්

(28.04.2024 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම මතුව ඇති ස්ථානය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් අද (28) නිරීක්ෂණයට ලක්කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානයේ පවතින අවදානම අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලු‍ පියවර ගනිමින් සිටින බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේ.

ඇල්ල, කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම මතු වුයේ පසුගිය 25 වැනිදා අලු‍යම් කාලයේදීයි. ඒ පිළිබඳව ගොනැගිලි පර්යේෂණ සංවිධානය ද විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

එම පරික්ෂණය මේ සතිය තුළ කිරිමට බලාපොරොත්තු වන බවයි එම සංවිධානයේ භූ විද්‍යා හා නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස සඳහන් කළේ.

+


මාස හතරට (4) ඩෙංගු රෝගීන් 21,000 ක් : වැඩිම කොළඹින්

(28.04.2024 – 17:25 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 4,532 ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 1,936 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බවයි එම ඒකකය සඳහන් කළේ ෴


හිරේ සිටින පුතාට බීඩි ගෙන ගිය මවට බන්ධනාගාර නිලධාරීන් පහර දුන් බවට චෝදනාවක්

(28.04.2024 – 18:11 +0530 – hirunews.lk/sinhala)

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සිය පුතාට බීඩි තොගයක් රැගෙන ගිය මවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහර දුන් බවට චෝදනා කර තිබෙනවා.

තමන්ට පමණක් නොව බන්ධනාගාර ගත කොට සිටින තම පුතාට ද තමා ඉදිරියේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු (2) ඉතා අමානුෂීය ලෙස පහර දුන් බවයි අදාළ කාන්තාව මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කර ඇත්තේ.

මේ පිළිබදව සැලකිල්ල යොමු කළ මහේස්ත්‍රාත්වරයා එම කාන්තාවත් සිරකරුවාත් වහාම යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවද සඳහන්.

මහේස්ත්‍රාත්වරයා අදාළ කාන්තාව හා සිරකරුවාව දැඩි පොලිස් රැකවරණය මත රඳවා ගන්නා ලෙසද පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසුව මවට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා (2) සම්බන්ධයෙන් බන්ධනාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පහර කෑමට ලක් වූ බව කියන මවගේ ඥාතීන් පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ’ යාපනය දිස්ත්‍රික් කාර්යලයට ද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා ෴


රුපියල් මිලියන 80 ක වන්දි ඉල්ලා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (2) ගෙන් ගෝඨාභයට සහ මහින්දට එන්තර වාසි

(28.04.2024 – 19:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකගෙන් රුපියල් මිලියන 80 ක වන්දි ඉල්ලා ව්‍යාපාරිකයින් දෙදෙනෙක් (2) එන්තරවාසි යොමු කර තිබෙනවා.

ඒ, 2020 – 2022 කාලවකවානුව තුළ නිසි මූල්‍ය කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් සිය ව්‍යාපාර බිඳවැටීමට එරෙහිවයි ෴


පාසැල් ගිනිබත් කළ පිරිස්වලට යළි අවස්ථාවක් නොදිය යුතුයි – සජිත් ප්‍රේමදාස

(28.04.2024 – 20:30 +0530 – hirunews.lk/sinhala)

සමාජ සාධාරණත්වයේ නාමයෙන් පාසැල් ගිනිබත් කළ පිරිස්වලට යළි අවස්ථාවක් නොදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදීයී.

සක්වළ වැඩසටහනේ 166 වැනි අදියර යටතේ ගම්පහ අත්තනගල්ල ඌරාපොල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

+


ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ පාතාල නායකයෙකු අත්අඩංගුවට

(28.04.2024 – 21:21 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ අංගොඩ ප්‍රදේශයේ පාතාල නායකයෙකු පසුගියදා ස්ථාපිත කර තිබූ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය මඟින් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


මෑතකදී විවාහ වූවන් අතර දික්කසාද වීම් ඉහළට

(28.04.2024 – 22:34 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික ගැටලු මැද මෙරට තරුණ තරුණියන් අතර දික්කසාද වීම් ඉහළ ගොස් ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මීට අමතරව රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නමුත් වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වී ඇති බවයි.

මේ අතර, පවතින ආර්ථික සහ සමාජයීය ගැටලු හමුවේ තරුණ තරුණියන් දික්කසාද වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවේ අලුත විවාහවන්නන් වසර දෙක – තුනකින් (2-3) දික්කසාද වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

මීට අමතරව ආර්ථික ගැටලු හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම සහ මානසික ගැටලුවල බලපෑමෙන් විවිධ රෝගාබාධවලට ගොදුරුවීම වැනි කරුණු මත රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවේ රටේ වාර්ෂික සාමාන්‍ය මරණ සංඛ්‍යාව 2000 වර්ෂය වනවිට 140,000 ක මට්ටමක පැවති නමුත් එම සංඛ්‍යාව මේ වනවිට 180,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, ආර්ථික අර්බුද මැද රටේ දරු උපත් සංඛ්‍යාව ද අඩුවී ඇතැයි ඇය සඳහන් කළා.

සාමාන්‍යයෙන් 2020 වර්ෂය වනවිට රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 325,000 ක් පමණ වුවත්, එම සංඛ්‍යාව මේ වනවිට 280,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා ෴


මුල්ලේරියාව රත්කළ පුංචි චන්ඩින්ට පොලිසියෙන් පාඩමක්

(28.04.2024 – 23:32 +0530 – hirunews.lk/sinhala)

පෙම් සබඳතාවයක් මුල් කරගනිමින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙකු (2) සහ තරුණියක (1) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට (29) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසැලක නවය (9) ශ්‍රෙණියේ සිසුවියක් සමඟ 10 වන ශ්‍රෙණියේ සිසුවෙක් කලක සිට ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සහ ගෙන තිබු නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

දිගින් දිගටම එම සිසුවා ඇයට ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීම හමුවේ ඇය ඒ පිළිබඳව ඇගේ වැඩිමහල් සොහොයුරෙකුට පවසා තිබෙනවා.

පසුගියදා එම පාසැලේ පැවති ක්‍රීඩා උළෙලට සිසුවියගේ එම සහෝදරයාද පැමිණ තිබු අතර, ඔහු අදාළ සිසුවා හමුවී පවසා ඇත්තේ තම සහෝදරිය තවමත් පාසල් වයසේ පසුවන බැවින් ප්‍රේම සබඳතාවක් ඇතිකර ගැනීම සඳහා ඇයට බලපෑම් නොකරන ලෙසයි.

ඊට උරණ වු සිසුවා දුරකථන ඇමතුමක් ලබාදී සිය මිතුරන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන තිබූ අතර පාසල් භූමියෙන් පිටතදී එම පිරිස සහෝදරයාගේ පාර්ශ්වයට පහරදී තිබුණා.

පොලිසිය පැවසුවේ ඔවුන් සිසුවියගේ සහෝදරයින් දෙදෙනෙකුට (2) සහ එක් සහෝදරයෙකුගේ බිරිඳට (1) එලෙස පහරදී ඇති බවයි.

ඔවුන් පහරදෙන අයුරු ජංගම දුරකථනයක සහ CCTV කැමරාවල සටහන්ව තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබු සහෝදරයින් දෙදෙනා (2) සහ කාන්තාව (1) ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල්ගත කළ එක් (1) පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර හෙට (29) දිනයේදි ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *