ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට


ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට

(27.04.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ අවදානමේ සක්‍රීයතාව මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසනවා.

එලෙස ගලාඑන ජලය ඇල්ල – වැල්ලවාය මාර්ගය ආශ්‍රිතව පොළව අභ්‍යන්තරයෙන් ගලායන ආකාරය මේ වනවිට පැහැදිලිව දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් සහ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.

උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඩයරබා ජලාශයට කිලෝමීටර දෙකහමාරක් (2½) පමණ පහළින් පිහිටි ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම ගැන ‘හිරු ප්‍රවෘත්ති’ ඊයේ (26) අනාවරණයක් කළා.

එහිදී නායයෑමට ලක්ව ඇති එම භූමියේ රොන් මඩ සහ ජලය ගලායන අයුරුද අප පෙන්වා දුන්නා.

කෙසේ නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම නායයෑමේ සක්‍රීය බව දැඩි වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයද අවදානමකට ලක්වන බවයි.

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් පිරිසක් අද (27) කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශවල නායයෑම් අවදානම මතුවී ඇති ස්ථාන නිරීක්ෂණයට ලක්කළා.

කෙසේ නමුත් අද (27) පස්වරුව වනවිට නායයෑමේ අවදානම් මතුව ඇති ස්ථානයේ සිට ගලා එන ජල ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කළේ මේ සම්බන්ධව කඩිනම් පර්යේෂණයක් සිදුකරන ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබාදුන් බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී සඳහන් කළේ පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් කඩිනමින් කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශයේ පර්යේෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිත බවයි.

+++++++++

+++++++++

+


කඩුවෙලින් හමු වූ මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රධාන සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

(27.04.2024 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රධාන සැකකරු දින 7 ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා.

එමෙන් ම තවත් සැකකරුවන් තිදෙනෙකු (3) මැයි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝගකර සිටියේ.

රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙම පුද්ගලයා කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේදි පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබි ‘අයිස්, හෑෂ් සහ හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 30 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි.

බියගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමකින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුනා.

පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි ආනවරණ කරගත් තොරතුරු අනුව මෙම වැටලීම සිදුකළ බවයි.

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ කරන ලද එම වැටලීමෙන් සැකකරු සන්තකයේ තිබි ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 යි ග්‍රෑම් 881 ක්, ‘ඈෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 527 ක් සහ හොරොයින් ග්‍රෑම් 941 ක් සොයාගත්තා.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 7 ක මුදලක් සහ මෝටර් රථයක් ද පොලිසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ පොලිසිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 18,77,46,300 ක් බවට ගණන් බලා ඇති බවයි ෴


දරුවෙක් දියේ ගිලුනොත් මුලින්ම කරන්න ඕන දේ මෙන්න

(27.04.2024 – 20:30 +0530 – sinhala.adaderana.lk)

දියේ ගිලී අනතුරකට ලක්වූ දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් කළ යුතු ප්‍රතිකාර මොනාවද යන්න පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ මහතා කරුණු පැහැදිළි කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ,

“මුලින්ම දරුවාව දියෙන් ගොඩට අරගෙන සමතලා බිමක තියා ගන්න. ඊට පස්සේ දරුවාගේ ස්වසන මාර්ගය විවෘත කරන්න. මුඛයේ යම් අපද්‍රව්‍යක් තිබෙනවා නම් ඒවා ඉවත් කර ගන්න. ඊට පස්සෙත් එයා හුස්ම ගන්නේ නැත්නම් නාසය කට දෙකම ආවරණය වන පරිදි කෘතිම ස්වසනය වාර 5 ක් ලබාදෙන්න.”

“ඒත් එයාගේ ප්‍රතිචාරයක් නැත්නම් දරුවාගේ පපු ප්‍රදේශය තෙරපුම් වාර 15 ක් ලබාදෙන්න. කුඩා දරුවක් නම් ඇඟිලි දෙකෙන් (2) කරන්න පුළුවන්. ලොකු දරුවෙකු නම් අත් දෙකෙන් (2) හෘදය වස්තුව තෙරපන්න පුළුවන්. දරුවාගේ බඩ ප්‍රදේශ තෙරපුවොත් හෝ නැත්නම් දරුවාගේ කකුල් දෙකෙන් ඉස්සුවොත් දරුවාගේ බඩේ තියෙන වතුර එළියට ගිහිල්ලා නැවත් ස්වසන මාර්ගයට ඇතුළු වෙලා නැවත පෙනහලුවලට ගිහිල්ලා තවත් හානි වෙන්න පුළුවන්.”

“තාම එයාගේ ප්‍රතිචාරයක් නැත්නම් නැවත ස්වසන වාර දෙකක් (2) ලබාදීලා නැවතත් තෙරපුම් 15 ක් ලබාදෙන්න. මේ වගේ දිගටම මේක කරගෙන යන්න තමන්ට උදව් ලැබෙනකම් හරි… දරුවාගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙනතෙක්.”

+


දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි

(27.04.2024 – 20:16 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ.

තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි.

මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන නමුත් තංගල්ල, නෙටොල්පිටිය, වැලිපැන්න, ලාලිතපුර ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ තමන්ට සහල් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදුවූ බවය.

ඒ අනුව රුපියල් 20 සිට රුපියල් 150 දක්වා විවිධ ප්‍රමාණයෙන් මුදල් ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ජනතාවට බෙදාදීමට තිබූ සහල් තොගවල ආරක්ෂාවට සිටි පුද්ගලයාට ගෙවීම සඳහා ජනතාවගෙන් මෙලෙස මුදල් එකතු කර ලබාදී ඇති බවට වාර්තා වූ බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර කන්තලේ අඩුආදායම්ලාභී ජනතාවට බෙදාදීමට නිල සෙවන ගොඩනැගිල්ලේ ගබඩා කර තිබූ සහල් තොගයකින් මිටි 20 ක් කිසියම් අයෙකු විසින් සොරකම් කර තිබේ.

අද (27) උදෑසන අදාළ ගොඩනැගිල්ලේ ජනේලය විවෘත කර ඇති අයුරු දුටු ප්‍රදේශවාසියෙකු ඒ බව ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරියට පවසා තිබුණි.

කන්තලේ පොලීසියද පැමිණ අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු සිදුකළේය.

කන්තලේ පොලීසිය සඳහන් කළේ කිසියම් අයෙකු කාමරයේ ප්‍රධාන දොරටුව කඩා ඊට ඇතුළු වී සහල් සොරාගෙන නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වන බවය.

කෙසේවෙතත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඊයේ (26) ලබාදුන් සහල් පරිභෝජනයට නුසුදුසු බවට ජනතාව චෝදනා කරයි.

මෙම සහල් අම්පාර ප්‍රදේශයේ සහල් මෝලක් විසින් ලබාදී තිබු අතර එම මළුවල කල්ඉකුත් වූ දිනය මත තවත් දිනයක් සහිත ලේබලයක් අලවා තිබූ බවද ජනතාව පැවසීය.

කෙසේවෙතත් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් එම කල්ඉකුත්වූ සහල් වෙනුවට පරිභෝජනයට සුදුසු සහල් ලබාදීමට සහල් සැපයුම්කරුවන් කටයුතු කර තිබුණි.

+


පොලිසියේ විනය පටිපාටිය ගැන නිර්දේශ පොලිස්පති‍ දේශබන්දුට

(28.04.2024 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත බාරදී තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබුවා.

එම කමිටුවේ සමාජිකයින් ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන අය පත් කෙරුණු අතර, ඔවුන් විසින් විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව මෙලෙස පොලිස්පතිවරයා වෙත බාර දී තිබෙනවා ෴


යුද්ධ හමුදා පොදු සමා පළමු සතියේදී 7156 ක් සේවයෙන් ඉවතට

(28.04.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින නිලධාරි හා සෙසු නිළයින් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා වූ මසක කාලයක් පොදු සමා කාලයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, පොදු සමා කාල සිමාවේ පලමු (1) සතිය අවසානයේ, එනම් 2024 අප්‍රේල් මස 20 දින සිට අප්‍රේල් මස 27 දින දක්වා කාලය තුල, 2023 දෙසැම්බර් මස 31 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් තාවකාලික අස්කිරීම් කටයුතු සිදුකර ඇති බවයි යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම, නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර දැනට විදේශගතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 13 දෙනෙකු සඳහාද මෙම කාලසීමව තුල යුද්ධ හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා කටයුතු සිදුකර දී ඇති බවයි එම නිවේදනයේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *