ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්

ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්


ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්

(26.04.2024 – lankadeepa.lk)

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (26)පැවසීය.

ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන් මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ ‘කෙටි පඩිවිඩයක්’වත් නොලැබෙන අයුරින් මේ වංචාව සිදුවන බව සඳහන් කළේය.

බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් රුපියල් ලක්ෂ එකොළහක් (11,00,000) වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ‘ඔන්ලයින් ගනුදෙනු පුහුණු කරන ආයතනයක්’ විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන්නේ යැයිද ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.

එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට (50-60) පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් (2-3) ඇතුළතදී දහසකගේ (1000) පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

මෙම වංචාව සම්බන්ධයෙන් මහා බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ මහතා පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වන්නට ධාරිතාවක් නැති බව පැවසීය ෴


‘හරක්කටා’ කියවන්න පොත්පත් ඉල්ලයි

(26.04.2024 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ දැනට රඳවා සිටින තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිරමැදිරියට විදුලි පංකාවක් සපයා දීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙස ඔහුගේ නීතීඥවරයා අද (26) අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, තම සේවාදායකයාට කියවීමට පුවත්පත් හෝ පොත්පත් සපයා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ දැඩි ආරක්ෂාවක් යටතේ අද (26) කොළඹ මහාධිකරණයට රැගෙන ආවා.

ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට (3) එරෙහිව ගොනුකර ඇති නඩුවකට පෙනී සිටිම සඳහායි.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඉකුත් නඩු දිනයේ ‘හරක්කටා’ගේ නීතිඥයින් කරනු ලැබූ ඉල්ලීම් සපුරාලීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

එම ඉල්ලීම් පරිදි ‘හරක්කටා’ නමැත්තාට මෙට්ටයක් සපයා දීමට කටයුතු කර ඇති බව පැවසු රජයේ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ විත්තිකරුට ඥාතීන් හා නීතිඥවරු හමුවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපරිම පියවර ගෙන ඇති බවද රජයේ නීතීඥවරයා සඳහන් කළා .

තම සේවා දායකයාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 20 ක් පමණ පවතින බැවින් ඔහුට බාධාවකින් තොරව නීතිඥවරු හමුවී උපදෙස් ලබාදීමට අවස්ථාව තිබිය යුතු බව විත්තිකාර ‘හරක්කටා’ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

එමෙන්ම, සිය සේවා දායකයා තම ඥාතීන් හමුවී කතාබහ කරන අවස්ථාවේදී ඒවා පටිගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි අවස්ථාවල පොලිස් නිලධාරින් ඒ ආසන්නයේම රැඳී සිටීම නිසා ඔවුන්ට නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ පිළිබඳව අවධානය යොමුකළ විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට යෝජනා කළේ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් රැඳී සිටීම අවශ්‍ය වුවද මෙවැනි හමුවීම් සිදුවන අවස්ථාවේදී ආරක්ෂිත කැමරා ඔස්සේ එම කාර්යය නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන්ට හැකි බවයි.

එවැනි හමුවීම් හඬ රහිතව වීඩියෝ ගතකර අවශ්‍ය නම් නිරීක්ෂණය කිරීමට හැකියාවක් තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලා මීළඟ දිනයේදී අධිකරණය දැනුවත් කරන බවයි.

එමෙන්ම තම සේවා දායකයා රඳවා සිටින ස්ථානය අධික තාපයකින් යුක්ත වාතාශ්‍රය අවම ස්ථානයක් බවත්, ඔහුට විදුලි පංකාවක් සපයා දීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් හරක්කටා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මෙහිදි අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තම සේවා දායකයා ට ‘කියවීම සඳහා පුවත්පත් හෝ පොත්පත්’ සපයා ගැනීමටද අවස්ථාව සලසා දෙන ලෙසයි.

මෙම ඉල්ලීම් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන්නැයි විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට සලකා බලන බවත් දැනුම් දි තිබෙනවා.

නඩුවේ දෙවන (2) විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නඩු විභාගය අවසන් වීමෙන් පසුව අධිකරණ ශාලාව තුළදී තම සේවා දායකයා හමුවී උපදෙස් ලබාදීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරුවරයා පැවසුවේ නඩු විභාගය අවසන් වූ විගස ආරක්ෂක හේතූන් මත ඔවුන් අධිකරණයෙන් රැගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

අවි දරාගත් ආරක්ෂක නිලධාරීන් විශාල වශයෙන් අධිකරණ භූමිය තුළ රැඳී සිටීම එතරම් යහපත් නොවන බවද විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.

+


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති

(26.04.2024 – lankadeepa.lk)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගත යුතුව තිබෙන බව රජය පවසයි.

මේ අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය සකස් කිරීම පිණිස 2023 මාර්තු මාසයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ ඇත.

මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ ෴


රුපියල් කෝටි 30 ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්

(26.04.2024 – lankadeepa.lk)

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් බත්තරමුල්ලේ පිහිටි ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය’ ඉදිරිපිටදී පිරිසක් අද (26) විරෝධතාවක් පැවැත්වූහ.

අදාල විදේශ රැකියා නියෝජිත ආයතනය රුමේනියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල්වල රැකියා දෙන බව පවසමින් පුද්ගලයෙකු ගෙන් රුපියල් ලක්‍ෂ හයේ (6) සිට ලක්‍ෂ 25 දක්වා මුදල් ලබාගනෙ ඇති බවත් එම මුදල් වෙනුවට ඔවුන්ට අගරු චෙක්පත් දී ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

අදාල වංචාව සම්බන්ධයෙන් ‘මහරගම පොලිසිය’ට සහ ‘විදේශ සේවා නියුක්ති කාර්යංශය’ට පැමිණි කළ ද නීතිය ක්‍රියාත්මක නොවන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.


පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ‘කෙත් ඇළ’ට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් (2) ගසාන යයි

(26.04.2024 – lankadeepa.lk)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්.ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින ‘කෙත් ඇළ’ට වැටුණු අවුරුදු දෙකක (2) පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් (2) පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස්, දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර ඉසුරු ජයනාත් බණ්ඩාර නම් දරුවකු බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන ‘කෙත් ඇළ’ට වැටී කිලෝමීටර් දෙකක් (2) පමණ දුරටත් ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයෙක්, දරුවෙකු දියේ ගසාගෙන යන අයුරු දැක පිරිසක් සමග එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.

එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය ෴


‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(27.04.2024 – 07:29 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය 15kg ක්, හෑෂ් 14kg ක් සහ හෙරොයින් 941g ක්, සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 30 ක පුද්ගලයෙක්.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව රුපියල් 700,000 මුදලක් සහ වාහනයක් තිබූ බවයි බියගම පොලිසිය සඳහන් කර සිටින්නේ ෴


පොලීසිය බලාසිටිය දීම කළුතර මැරයෝ යකා නටති

(26.04.2024 – 20:21 +0530 – sinhala.adaderana.lk)

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබේ.

පහරදීම සිදුකර ඇත්තේ කළුතර, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මැර පිරිසකි.

කළුතර, වෙනිවැල්පිටිය, වෙන්දේසි වත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (25) පස්වරුවේ පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් එහි සිටි තරුණයෙකුට පහර දී නිවසේ දේපළවලටත් හානි කර තිබේ.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ, එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘සුද්දා’ සහ ‘රනේ’ නැමැති පුද්ගලයින් දෙදෙනෙකුට (2) සහ ඔවුන්ගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුටය.

එම නිවසේ තරුණයාට පහරදුන් පිරිස පසුව ඒ ආසන්නයේ ඇති තවත් නිවසකට ගොස් එහි සිටි තරුණයින් දෙදෙනෙකුට (2) ද පහරදීමට තැත්කර තිබේ.

නමුත් එම නිවසේ තරුණයින් දෙදෙනා (2) සිය ජීවිත බේරාගැනීමට සමත් වුණේ ඒ අසල ඇති කැලයට පැනයමිනි.

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසියට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර පසුව එහි පැමිණි නිලධාරීන් මැර පිරිස සමග කතාබස් කර පිටව ගිය බවට චෝදනා එල්ල වේ.

සිද්ධියට මුහුණදුන් කාන්තාවක් :

“මුළු ගේම කුඩුපට්ටම් කරලා සර් අපේ. අපේ තාත්තාගේ ෆොටෝ එක පවා කුඩු කරලා. වයසක මහත්තුරු දෙන්නෙක් (2) එවලා තිබුණා දකුණු කළුතර පොලීසියෙන්. පොලීසියට මම සුද්ද සිංහලෙන් කිව්වා. ‘සුද්දා’ ගෙන් කසිප්පු බොනවා. ‘සුද්දා’ අරක්කු දෙනවා. ‘සුද්දා’ ළඟට ට්‍රැෆික් බයික්වල තෙල් ගහගෙන ගිහින් සුද්දා එක්ක තමා ගනුදෙනුව. ඌ බූරු ගහනවා. ජාවාරම් කරනවා. පොලීසිය එක්ක ඌ ඉන්නේ. අපි කොච්චර ‘ඇන්ට්‍රි’ දාලා තියෙනවා ද? දකුණු කළුතර පොලීසියෙන් තාම පියවරක් අරන් නෑ. කොන්ද කෙලින් තියෙන එකෙක් නෑ සර් පොලීසියේ.”

මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයාගේ සුවදුක් විමසීම සඳහා නාගොඩ රෝහලට යමින් සිටි මවටද ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඇයට යතුරු පැදි හිස්වැසුම්වලින් පහර දී ඇත්තේ නාගොඩ මංසන්ධියේදීය.

ඉන් පලා ආ කාන්තාව නාගොඩ රෝහල තුළට ඇතුළු වීමට පෙර, එහි පැමිණි මැර පිරිස ඇයට තියුණු ආයුධවලින් පහර දී තිබු‍ණේ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදීය.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව සහ නිවසේදී පහර කෑ ඇගේ පුත්‍රයාද මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

” ‘සුද්දා’ කියන කෙනා 6, 7 දෙනෙක් එක්ක ඇවිත් අපිට මන්නාවලින් ගැහුවා. ඔළුව බිත්තියේ හැප්පුවා. පොලුවලිනුත් අපේ ආච්චිටත් ගැහුවා. නංගිටත් ගැහුවා.”

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියට චෝදනා එල්ල වන පසුබිමක සිද්ධියේ සැකකරුවෙක් වන ‘රනේ’ නැමැත්තා අද (26) දහවල් එම පොලීසිය මඟින්ම අත්අඩංගුවට ගෙන තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *