කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානිකර ගනී

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානිකර ගනී


කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානිකර ගනී

(25.04.2024 – 12:36 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල – මරලු‍වාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (24) රාත්‍රීයේ අදාළ නිවසේ උඩු මහලේ නිදන කාමරයක් තුළ සිය දිවි හානි කර ගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා කුරුණෑගල – ලක්දාස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ.

සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)


ඇමති ටිරාන්ගෙන් පොලිස් නිලධාරින්ට උපදෙස්

(25.04.2024 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මිනිස් ජීවිත බිලිගන්නා පාතාල සාමාජිකයින් හඹායෑමේදී තම නීත්‍යනුකූල ගිනි අවිය භාවිතා කිරීමට දෙවරක් නොසිතන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේබව සඳහන් කළේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසැලේ පැවති ක්ෂණික විහිදුම් යතුරුපැදි බළකාය විසිරයාමේ අවස්ථාවට එක්වෙමින්.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේස පුහුණුවක් ලද මෙම ක්ෂණික විහිදුම් යතුරුපැදි බළකාය නිර්මාණය වන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවටයි.

පොලිස් යතුරු පැදි ක්ෂණික විහිදුම් කණ්ඩායමට යතුරු පැදිකරුවන් 96 දෙනෙක් එක්ව සිටින අතර යතුරු පැදි 48 ක් ඊට අයත් මෙම යතුරු පැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ ප්‍රදේශවල හදුනාගත් ජාවාරම්කරුවන් පසුපස හඹායෑම සඳහා සක්‍රීය රාජකාරියේ යෙදවීමට නියමිතයි.

මෙරට පළමු (1) පොලිස් යතුරු පැදි කණ්ඩායම විසිරයාමේ පෙළපාලිය අද (25) කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසැලේදී පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව පැවති උත්සව සභාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කර සිටියේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මිනිස් ජීවිත බිලිගන්නා පාතාල කල්ලි පසුපස හඹායාමේදී අවශ්‍ය ඕනෑම මොහොතක රාජකාරී ගිනි අවිය භාවිත කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙකු දෙවරක් නොසිතන ලෙසයි ෴


‘ප්‍රථම ස්ට්‍රෝබරි වගා ආදර්ශ ගම්මානය’ නුවරඑළියේ ස්ථාපිත කෙරේ

(25.04.2024 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට ‘ප්‍රථම ස්ට්‍රෝබරි වගා ආදර්ශ ගම්මානය’ නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ‘ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව’ පියවර ගෙන තිබෙනවා.

නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව යොමු කරවීම මෙහි අරමුණයි.

මේ සඳහා ගොවීන් 40 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ගොවියෙකුට රුපියල් 7,50,000 ක මුදලක් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

වගාව සඳහා අවශ්‍ය ස්ට්‍රෝබරි පැළ මේ මස අවසන් වීමට පෙර ආනයනය කෙරෙන අතර ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් පැළ 300 කට වැඩි ප්‍රමාණයක් වගා කෙරෙන බවයි සඳහන් වන්නේ ෴


මෛත්‍රී මහින්ද ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

(25.04.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

තමන්ට අපහස කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එන්තර වාසියක් යොමු කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයගේ නීතිඥවරයා විසිනුයි මෙම එන්තර වාසිය යොමු කර ඇත්තේ.

පසුගිය 22 වනදා සහ ඊයේ (24) මාධ්‍යට සිදු කළ ප්‍රකාශයක් ඔස්සේ මෙලෙස හිටපු ජනාධිපතිවරයාට අපහස කර ඇති බවද අදාළ එන්තර වාසියේ සඳහන්.

+


‘අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල’ මැයි අග

(25.04.2024 – 15:52 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති ‘අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල’ මැයි මස අග නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව ‘ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව’ නිවේදනය කරනවා.

එමෙන්ම මෙවර ‘අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය’ සඳහා සිදුකරන උපකාර පන්ති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධ‍යෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

‘අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය’ මැයි 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්විමට සැලසුම් වී තිබෙනවා ෴


ලෝක ආහාර වැඩසටහනෙන් දුන් සහල් ප්‍රමිතියෙන් තොර බව ඇමති සුසිල් පිළිගනී

(25.04.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala)

ළමුන්ගේ දිවා ආහාරය සඳහා ලෝක ආහාර වැඩසටහන ලබා දුන් සහල් තොගයක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

නමුත් මෙරට පාසල් ආහාර වැඩසටහන යටතේ පාසල් ළමුන්ට ලබා දුන් ආහාර වේලේ අඩංගු වූ සහල්වල ගැටලුවක් නොමැති බවයි අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

පාසල් ආහාර වැඩසටහන සඳහා බෙදාදුන් සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට පසුගියදා අනාවරණය වුණේ උතුරු පළාතේ පාසල් කිහිපයකින් ලැබුණු පැමිණිල්ලක් මත කළ සාම්පල පරීක්ෂාවකදීයි.

‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ’ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ අදාළ පැමිණිලි පදනම් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වේයන්ගොඩ ගබඩාවක තිබූ සහල් තොගවලින් සාම්පල දහසක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි.

මේ අනුව, පරිභෝජනයට නුසුදුසු එම සහල් තොග පාසැල් වෙත බෙදාහැරීම අත්හිටුවීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණා.

නීරෝගිමත් ක්‍රියාශීලී දරු පරපුරක් යන්න තේමාකර ගනිමින් පළමු (1) ශ්‍රේණියේ සිට පස්වැනි (5) ශ්‍රේණිය දක්වා සියලු පාසැල් දරුවන් සඳහා ප්‍රධාන ආහාරවේලක් ලබාදීමේ ජාතික වැඩසටහන පසුගිය මස 25 වැනිදා ආරම්භ වුණා. ඒ ප්‍රධාන වශයෙන් රජයේ පාසැල් 9,134 ක් ආවරණය වන පරිදියි.

කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය ද ඊට අදලව පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වේයන්ගොඩ පිහිටි ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බවයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂක වාර්තා පදනම් කර ගනිමින් එම නිර්දේශය ලබා දී ඇති බව අදාළ නිවේදනයේ දැක්වුණා ෴


විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371 ක්

(25.04.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ ගත වූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371 ක් සිය විශේෂ විමර්ශන අංශයට ලැබී ඇති බව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පවසනවා.

විදේශ රැකියා ලබා දෙන බවට මුදල් ලබා ගැනීම, සංචාරක වීසා මගින් පුද්ගලයන් රැකියා සඳහා යොමු කිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම යන කරුණු ඔස්සේ මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.

විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් වැටලීම් පුළුල් කර ඇති බවත් ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 286 3118 යන දුරකතන අංකයට තොරතුරු ලබා දිය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා ෴


ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කෙරේ

(25.04.2024 – 18:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක තේරී පත්කර තිබෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තෙරී පත් කිරීම සිදුකර ඇත්තේ.

+


යළිත් මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්තවීමේ අවධානමක්

(25.04.2024 – 19:42 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සහ රැකියා සඳහා විදෙස්ගතවන පිරිස් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් යළිත් මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් පවතිනවා.

පරපෝෂිතයින් විසින් ඇති කරන මාරාන්තික බෝවන රෝගයක් වන මැලේරියාව ආසාදිත ගැහැණු ඇනොෆිලස් මදුරුවන් දෂ්ට කිරීමෙන් මිනිසාට සම්ප්‍රේෂණය වනවා.

මදුරුවා දෂ්ට කිරීමෙන් දින 10 ත් – 15 ත් අතර කාලයකදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, උණ, හිසරදය සහ සෙම්ප්‍රතිශ්‍යාව එම රෝග ලක්ෂණයි.

ළදරුවන්, වයස අවුරුදු 5 ට අඩු දරුවන්, ගර්භනී කාන්තාවන් සහ HIV ඒඩ්ස් ආසාදිතයින්, ප්‍රතිශක්තිකරණය නොවන සංක්‍රමණිකයන්ට මෙම වෛරසය වැළඳීමේ අවදානම ඉහළ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අවසන්වරට මෙරටින් මැලේරියා රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2012 වසරේ දී වන අතර, එම පසුබිම මත 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ද නම් කරනු ලැබුවා.

කෙසේ වුවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ, විදෙස්ගතව යළි මෙරටට පැමිණෙන පිරිසගෙන් යළිත් මෙම රෝගය රට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් මතුව ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව පසුගිය වසරේදී මෙරටින් මැලේරියා රෝගීන් 62 කු වාර්තා වී ඇති අතර, 2024 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 9 ක් බවයි සඳහන් වන්නේ ෴


රත්‍රං කොල්ලයකට සම්බන්ධ සැකකරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි

(25.04.2024 – 21:45 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37 ක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිදු කළ විමර්ශනයේදී මෙම අපරාධයට අදාළව කල්පිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුවන් 05 දෙනෙකු නම් කර ඇති අතර ඔවුන් මේ වන විට පදිංචි ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් 071 859 1763 සහ 071 859 4916 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(25.04.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැදිහත්වීමෙන් කැනඩාව ඇතුළු යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ විදේශ රැකියා ආයතන හිමිකරුවෙකු බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50 ක් පමණ සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *