ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) විවෘත වෙයි

ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) විවෘත වෙයි


ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) විවෘත වෙයි

(24.04.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර අලංකාරය වැඩි කරන එම ‘ITC රත්නදීප’ හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) දින විවෘත කෙරෙනවා.

ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ‘ITC රත්නදීප’ හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියානු ‘ITC සමාගම’ ඉන්දියාවෙන් පිටතදී සිදු කළ විශාලතම ආයෝජනය වනවා.

ගාලු මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.86 ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48 කින් සමන්විත වන අතර එහි උස මීටර් 224 ක්.

එම ගොඩනැගිල්ල ‘සැප් හයි රෙසිඩන්ස්’ ලෙස නම් කර ඇති අතර ‘ITC රත්නදීප’ හෝටල් සංකීර්ණය පිහිටා ඇත්තේ ඊට යාබදව මීටර 140 ක උසින් යුත් ගොඩනැගිල්ලේයි.

එය අධි සුඛෝපබෝගී කාමර 352 කින් සමන්විතයි

මෙහි සුවීශේෂතාව වන්නේ මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55 ක දිගකින් යුත් SKY BRIDGE හෙවත් ‘අහස් පාළම’කින් යා කර තිබීම හේතුවෙන්.

මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළමයි.

මෙම අහස් පාලමේ අති සුඛොපභෝගී පිහිනුම් තටාකයක්ද ඉදිකර තිබෙනවා.

එමෙන්ම එහි සිටින පිරිස් වෙත ආහාර පාන ලබා ගැනීමට AHASA නමින් හැඳින්වෙන ස්ථානයක්ද ස්ථාපිත කර තිබෙන අතර එම ස්ථානයට ගාලු මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වනවා.

‘ITC රත්නදීප’ ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංග වලින් සමන්විත අලංකාර උත්සවශාලා 5 කින්ද සමන්විතයි.

+


කිරිපිටි මිල පහළට

(24.04.2024 – 18:50 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටි මිල හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100-140 අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රුපියල් 250-300 අතර මුදලකින් පහළ දමන බවයි ආනයනකරුවන් සඳහන් කළේ ෴

++++++++

+


ඉරාන සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

(24.04.2024 – 20:50 +0530 – hirunews.lk/sinhala)

ඉරාන ජනපති සහ ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

එහි දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 05 ක් සඳහා අත්සන් තැබීම සිදුවුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සහභාගී වූවා.

මාධ්‍ය, සංචාරක, සිනමා, පුස්තකාල සහ සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල සහයෝගිතාව ආවරණය කරමිනුයි මෙලෙස ගිවිසුම් 05 සඳහා අත්සන් තැබීම සිදුවූයේ ෴

ගාසා තීරයේ සහ පලස්තීනයේ සිදු කෙරෙන ජන සංහාර සහ ළමා ඝාතන ජාත්‍යන්තර සංවිධාන සහ භාරකරුවන් නවත්වන්නේ නැත්තේ මන්දැයි යන්න අද ලොව පුරා සිටින මිනිසුන්ගේ කනස්සල්ලට හේතුවක් බව ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ සංවිධානවල කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරිත්වය අහිමි වී ඇති අතර, ඔවුන් මෙම ජන සංහාරය අවසන් කිරීමට කිසිදු නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගැනීම කණගාටුවට කරුණක් බවයි ඉරාන ජනපතිවරයා එහිදී පවසා සිටියේ.

ඉරාන ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුවේදීයි ෴


ශ්‍රි පාද උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා හමුවෙයි

(24.04.2024 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී සිටි තරුණයා හමු වී තිබෙනවා.

ඒ ඔහු ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් වතුයායක සිටින විටයි.

වතු කම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා නල්ලතන්නිය පොලිසිය වෙත භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එහි දී එම තරුණයා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී එම තරුණයා පවසා සිටියේ මෙවැනි අදහසක් :

“මට මොකුත් මතක නෑ. මම ගල්ගුහාවල ‍රෑ හිටියා. දවස් හයම (6) මොකුත් කෑවේ නෑ. මගේ අතේ ෆෝන් එක තිබ්බෙත් නෑ. කකුල් දෙක තමයි රිදෙන්නේ.”

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී සිටියේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි ‘දිනේෂ් හේමන්ත’ නැමති වයස අවුරුදු 33 ක් වන තරුණයෙක්.

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) සමග පසුගිය (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබෙනවා.

ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක්ද සිදුකරනු ලැබුවා.

ශ්‍රි පාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනිමට ප්‍රථම ‘සිහි විකල්වි සිටි බව’ එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා (2) නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක්ද කර තිබුණා.

++++++++++

+


විභාග නැතුව කොරියන් යන්න පුළුවන් ද ?

(25.04.2024 – 06:29 +0530 – hirunews.lk/sinhala)

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු තරුණයින් පන්සියයකට (500) පුහුණුවක් ලබාදීමට කටයුතු කර ඇති බවට වාර්තා වනවා.

ඒ සඳහා කොළඹ මාකොල ප්‍රදේශයේ පැවැති දින හයක (6) පුහුණුවට තරුණයින් හැට දෙනෙකු (60) ගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවාගෙන ඇති අතර එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් අය කරගෙන ඇති බව ඊට සම්බන්ධ තරුණයින් සඳහන් කර තිබෙනවා.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට රැකියා පනහක් (50) ලැබෙන අතර වතුකරයේ තරුණයින් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දලු කැඩීමට බාධා වන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයින්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම පරිදි පුහුණුවට ගිය සෑම තරුණයෙකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි අදාළ දේශපාලනඥයාට භාර දී මාස දෙකක් (2) ගත වී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම් වූ මුදල්වලටද අවිනිශ්චි තත්ත්වයක් ඇති වී ඇතැයි තරුණයින් සඳහන් කළා.

පුහුණුව සතියකට එක් (1) දිනක් පැවති අතර පුහුණුවට යන සෑම දිනකටම බස් රථයට රුපියල් 1500 කුත් ආහාර පාන සහ වෙනත් වියදම් සමඟ මේ වන විට එක් තරුණයකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට (1,50,000) වැඩි මුදලක්ද වියදම් වී ඇති බවයි ඔවුන් පේනවා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් කොරියානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා කිසිසේත්ම අවස්ථාවක් ලබා නොදෙන බවයි ෴


කිව්.ආර්. කේතය සහිත අලුත් ජාතික හැඳුනුම්පතක්

(25.04.2024 – 07:02 +0530 – hirunews.lk/sinhala)

පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ සඳහා ටෙන්ඩර් විවෘත කර ඇති බවත් දැනට ඇති ජාතික හැඳුනුම්පතේ ඇති ‘බාර් කෝඩ්’ එක ඉවත්කොට ඒ වෙනුවට ‘කිව්.ආර්. කෝඩ්’ සමඟ නව හැඳුනුම්පත ළඟදීම ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කරමිනි.

ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340 ක් ඇති බව කී අමාත්‍යවරයා රජයට මුදල් ප්‍රශ්න ඇතත් රට පුරා වැඩි වැඩියෙන් කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා ෴


23 න් හැවිරිදි තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) ලැබුණු දඬුවම

(25.04.2024 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23න් හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා (2), ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් යළි තරයේ ප්‍රතික්ෂේප කළ මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනෙවිය සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා (2) තවදුරටත් මැයි මස 08 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව තබන ලෙසට ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (24) මැදවච්චිය අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී යි.

මේ අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා (2) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පළමු (1) සාක්ෂිකරු වන ‘දිලීෂ සංගීත්’ සහ දෙවැනි සාක්ෂිකරු වන ‘මලීෂ පියසිරි’ යන දෙදෙනා (2) විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා (2) පහසුවෙන් හඳුනාගනු ලැබුවා.

මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් පොලිස් නිලධාරීන් වීම නිසා විමර්ශනවලට අදාළ පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කර ගැනීමට යම් බාධාවක් මෙන්ම ප්‍රකාශ ලබා දීමට ඇතැමුන් මැලිකමක් දක්වන බවයි.

නිරීක්ෂණ පාර්ශ්වය වෙනුවෙන් ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දැක්වූ කරුණු කෙරෙහි විමර්ශනවලදී අවධානය යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කෙරුණා.

ඉකුත් 07 වැනි දින මෙම පහර දීම සිදු කර ඇති බව කියනුයේ මැදවච්චිය, මන්නාරම පාරේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදීයි.

පහර කෑමට ලක් වූ ‘දිලීෂ සංගීත්’ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජන කර ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා ෴


PHI ඝාතනය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් “මේක පිටුපස කුණු කෑම සමාගමක් ඉන්නවා…” (24.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *